සාමය දිනූ ඉතියෝපියාවේ අබී අහ්මද්

ඉතියෝපියානු අගමැති අබී අහ්මද් (Abiy Ahmed) විසින් 2019 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම එක්තරා ආකාරයකට පුවත් මවන කාරණයක් වි තිබේ. ඔහු විසල් ගෞරවයකට පත්ව තිබේ. නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තරම් වූ ඒ සා විශාල ගෞරවයකට පාත්‍ර වීමට ඔහු කළ මෙහෙවර කුමක්දැයි ලෝකය දැන් අසයි.

අබී අහ්මද්, සිය රට වන ඉතියෝපියාව, අසල්වැසි එරිත්‍රියාව සමග පැටලී තිබූ යුද්ධය සදහටම නවතා දැමුවේය. එයත් ආයුධ බලයෙන් නොවේ. සාමයේ බලයෙනි. ඉතියෝපියාවත් එරිත්‍රියාවත් අතර යුධ සටන් පැවතුණේ 1998-2000 දෙවසර තුළ ය. එය භිහිසුණු යුද්ධයකි. දේශසීමා අරභයා වූ යුද්ධයකි. දෙරටෙහිම මිනිස්සු දස දහස් ගණනක් ඉන් මිය ගියහ. ලක්ෂ ගණනක් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූහ.

යුධ කාලයේදී මේ රටවල් දෙකම අතිශය දුප්පත් විය. යුද්ධය විසින් දෙරටම ආර්ථික වශයෙන් තවදුරටත් අඩපණ කර දැමීය. සංවර්ධනයට විලංගු දැමීය. දෙරටේම සිටියෝ දේශප්‍රේමිත්වයෙන් ඔද වැඩී ගිය යුධ කාමියෝ ය. ඔවුන් කිසිවෙකුට හෝ යුද්ධ ජයක් මිස ඉන් මෙපිට  සාමයක් ගැන සිතන්නට හැකි වුණේ නැත.

වසර 2000 දී යුද්ධය නාමික වශයෙන් අවසන් විය.  එකී සාමය හේතුවෙන් ඇතිකළ ‘යුධ මුක්ත කලාප’ නමට පමණක් විය. ඒවායේ දකින දකින තැන සිටියෝ සොල්දාදුවෝ ය. කොල පැහැති කැමප්ලාජ් ඇදුම් හැදි නිල ඇඳුම්ධාරියෝ ය.

ඒ ව්‍යාජ සාමයෙන් වසර 18කට පසු තත්වය වෙනස් විය. 2018 අප්‍රේල් මාසයේ අබී අහ්මද් ඉතියෝපියාවේ නව අගමැති බවට පත්විය.

ඔහු සටන් බිමට වන්නේ වෙනස් මගකිනි. තමන්ට ඡන්දය දුන් ජනයාගේ විරුද්ධවාදින්වූ එරිත්‍රියානු නායකයන් සමග සිනාමුසු මුහුණින් සහ ප්‍රසන්න සිතින් යුතුව කතා බස් කළේය. ඇදෙමින් පවතින යුද්ධයෙන් කිසිවෙක් නොදිනන බව පැවසුවේය. ඔහුගේ මාවත වූයේ සාමයේ මාවතයි. ඔහු තිර ලෙසම හා විවෘතවම එරිත්‍රියාවට සාමයේ දෑත දිගු කළේය.

ඒ දෑත් දිගුවීම අවසන් වූයේ දශක ගණනක යුද්ධය ස්ථිරවම නිම විය. ඒ සාමය හේතුවෙන් ඉතියෝපියාවෙන් අලුත් මැන්ඩෙලා කෙනෙක් බිහිවෙමින් සිටියේය.

අබී අහ්මද් ඉපදී සිටියේ මුස්ලිම් පියෙකු සහ ක්‍රිස්තියානි මවකට දාව ය. 

අබී පැවතගෙන ආවේ ඉතියෝපියාවේ වාර්ගික ජන කණ්ඩායමක් වන ඔරොමෝවරුන්ගෙනි. ඔරෝමෝවරයෙක් ඉතියෝපියාව පාලනය කරනුයේ එහි ඉතිහාසයේ පළමු වතාවට ය. එසේ තිබියදීත් ඔහුට රට තුළ වර්ගවාදය හෝ ජාතිවාදය ඇවිස්සීමට සැලසුම් කළේ නැත. ඒ ගැන සිතුවේවත් නැත.

ඔහු ජාතිය ඉස්මතු කරමින් ඔහුගේ බලයෙන් අයුතු වාසි ගන්නට තැත් කළ “දේශප්‍රේමියෝ” මේ නැගෙනහිර අප්‍රිකානු දේශය තුළ බහුලව සිටියහ. රට පුරා ඔහුට විරුද්ධව උද්ඝෝෂණ හටගත් සමයක් ද තිබුණේය. නමුත් අබී බොහෝ හොදින් ඒවා පරාජය කළේය.

ඔහුගේ ඉලක්කය වුණේ ‘ජාතිය සුවපත්කිරීම’ නොව ඊට ඉඳුරාම වෙනස් ලෙස ‘රට සුවපත් කිරීම’ යි.

ඔහු දේශපාලන සිරකරුවන් දස දහස් සංඛ්‍යාවක් සිරගෙවල්වලින් මුදා හැරියේය. නිදහසේ සතුට ඔවුන්ට ද හිමි බව ඒත්තු ගැන්වූයේය. පළිගැනීමෙන් වැළකී සිටින ලෙසට සිය ආරක්ෂක අංශවලට හැම විටම අඛණ්ඩව උපදෙස් දුන්නේය.

අවසානයේ වෙනස් ලෙස සිතන්නන්ද මාධ්‍යවේදීන්ද මිනිස් අයිතිවාසිකම් රකින්නන්ද යුග ගණන් රඳවා වධ දුන් අපකීර්තිමත් අඩිස් අබාබා බන්ධනාගාරය සදහටම වසා දැමුවේය.

මේ සමඟම, යුද්ධය අවසන් කිරීමේ ජය පැන් බොන්නට රටේ මහජන මුදල් කාබාසීනියා කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ඔහු තිර ලෙසම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කඩිනම් විධිමත් ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. සිදු කෙරෙමින් තිබුණු සංවර්ධන වැඩකටයුතු සඳහා එකිනෙකාට සිය ඇඟිල්ල දිගු කරනු වෙනුවට ඒ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නට විය.

මේ සියල්ල රට අභ්‍යන්තරයේ සිදුවෙද්දී වසර 41කට පසු ඉතියෝපියානු ගුවන් යානාවක් සෝමාලියාවේ මොඩිෂු ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය. රතු මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ගල්ෆ් අරාබි රටවල්ද, අප්‍රිකානු තුඩුවේ සාමාජිකයන් ද කොන්දේසි විරහිතව ඉතියෝපියාව දෙස විමසිලිමත් වූහ.

මේ සියල්ල අතරේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (Gender Equality) ගැන මහ ඉහළින් කතා කරන බටහිර රටවල් පවා පුදුමයෙන් නිරුත්තර කරන දෙයක්  ඔහු සිදුකළේය.

ඔහු ඉතියෝපියානු කැබිනට් මණ්ඩලය 20 දෙනෙකුට සීමා කළේය. එයින් 50%ක නියෝජනයක් කාන්තාවන් වෙත ලබා දුන්නේය. කළු අප්‍රිකානුවන්ට කාපිරියන් කියන්නට ලොල් බවක් දක්වන බටහිර ලෝකයේ ශිෂ්ඨ යැයි කියන රටවලට පවා මෙවැන්නක් සිතන්නටවත් නොහැකි මොහොතක ඔහු කළ මේ ක්‍රියාව ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ශුෂ්ක ඉතියෝපියානු පොළව මත යතාර්ථයක් කළේය.   එවැන්නක් ගැන තවමත් සිතාගන්නටවත් නොහැකිය.

ඉතියෝපියානු පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට කාන්තාවක වූ සහේල්-වර්ක් සෙව්දේ එහි පාර්ලිමේන්තුවේ සභාපතිනිය බවට පත්වූවාය. රටේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරිය බවට මීසා අෂෙනාෆි පත් කළේය. අගමැති අබී අහ්මද් බලයේ සිටින තාක් කල් ඇයට පාර්ලිමේන්තුව ඉදිරියේ ගර්හාවට ලක්ව දෝෂාභියෝගයකින් ගෙදර යන්නට සිදුනොවීම අනිවාර්යයකි.

මේ සියල්ල අවසානයේ නොබෙල් ත්‍යාග කමිටුව 2019 සාමයේ ගෞරවය ඔහුට පුද දෙමින් කීවේ  සාමය අත්පත් කර ගැනීම, අන්තර්ජාතික සහයෝගිතාවය ලබාගැනීම සහ අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දේශසීමා අරගලය විසඳාගැනීමට කළ තීරණාත්මක මුලපිරීම හේතුවෙන් මේ ගෞරවය පුද දෙන බවයි.

එහෙත් ආසියාවට මෙන්ම අප්‍රිකාවට ද බෙහෙවින් හුරු පුරුදු කෑදරදේශපාලන කුමන්ත්‍රණ විසින් මේ සාමයට ලැදි මිනිසා විනාශ නොවුණහොත්, ඉදිරි පස් වසර තුළ ඉතියෝපියාව ‘අප්‍රිකාවේ සමෘද්ධිමත්ම දේශය’ බවට ගොඩනැගෙනු ඇත. එහෙත් එතෙක් හෝ මේ කිසිවක් ගැන නොහිතමින් තම පාලකයන් ලෙස දුෂිතයන්, ජාතිවාදීන්, ආගම්වාදීන්, යුධවාදීන්, මිනීමරුවන් මෙන්ම අවස්ථාවාදී ඥාති සමුහයක් පත් කරගන්නා අප වැනි රටකට තව දුරටත් සිදුවනු ඇත්තේ ‘ආසියාවේ කඳුළු දුපත’ වනවා හැරෙන්නට වෙන කුමක්ද?

colombotrust.com

Leave A Reply

Your email address will not be published.

fourteen − eight =