“මධ්‍යම ආසියානු සාහිත්‍යය අපි ආඩම්බර විය යුතු සහ ප්‍රවර්ධනය කළ යුතු දෙයක්” – හමීඩ් ඉස්මායිලොව්

1954 මැයි 05 වෙනි දින බලපෑම නිසා 1992 දී උස්බෙකිස්තානයෙන් පලාා ආ ඔහු වසර විසිහතක් පුරා ගෙවන්නේ පිටුවහල් ජීවිතයකි. ඔහුගේ නිර්මාණ උස්බෙකිස්තානයේ තහනම් කර තිබේ. කාව්‍ය සංග්‍රහ හතරක් සහ නවකතා දහහතරක් ලියා පළ කර ඇති ඔහු උස්බෙක් සහ රුසියානු යන භාෂා ද්විත්වයෙන්ම ලේඛනයේ යෙදෙන ලේඛකයෙකි. චූලානන්ද සමරනායක විසින් ඔහුගේ Dead Lake නම් කෘතිය “මියැදුණු විල” නමින් සිංහලට පරිවර්තනය කර සුභාවි ප්‍රකාහනයක් ලෙස එළි දක්වා ඇත. එය එළිදැක්වූ 2017 වසරේදී හමීඩ් ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ. මෙහි පළවන්නේ ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක කොටසකි. එය මධ්‍යම ආසියාවේ සාහිත්‍ය, ජන ජීවිතය සහ ඔහුගේ ලේඛන කලාව හඳුනාගැනීමට වඩා වැදගත් වන්නකි.
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම සයියුර් බතෙයිවා විසිනි.

ප්‍ර: ඔබ පිටුවහල් වූ ලේඛකයෙක්. ඔබ අගය කරන ලේඛකයා ජේම්ස් ජොයිස්, වරක් ඔහුගේ සාහිත්‍යමය දෙබිඩි චරිතය වූ සටීවන් ඩෙඩලස් හරහා පවසා සිටියේ ලේඛකයෙකුට පිටුවහල් ජීවිතය යන්නෙන් අදහස් කරන්නේ “විශ්වාස නොකරන දෙයට මම තවදුරටත් සේවය කරන්නෙ නැහැ. ඒකට මගේ නිවස, මගේ පීතෘ භූමිය හෝ මගේ පල්ලිය කිව්වත්.” ඒ වෙනුවට “මම පුළුවන් උපරිම නිදහස් ආකාරයෙන් මාව නිරූපණය කරනවා” කියලා. ජොයිස් ගේ පිටුවහල්වීම ස්වේච්ඡාවෙන් කළ දෙයක්. ඒත් ඔබට එහෙම නෙමෙයි. කරිමොව් කියන ඉස්ලාම් රෙජීමය පිටුවහල් වෙන්න ඔබට බලපෑම් කළා. පිටුවහල් ලේඛකයෙක් විදියට ඔබ කොහොමද ඔබේ ස්ථානය දකින්නේ?

පි: ලේඛකයෙක් විදියට, මිනිස්සුන්ගේ ජීවිතවල විස්තරයන්, ඔවුන් කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියන එක නීරීක්ෂණය කිරීමේ හැකියාව අවශ්‍යයි. ඔබව පිටුවහල් කළහම මේ හැකියාව වගේම අපූරු විස්තරයන් රාශියක් ඔබට අහිමි වෙනවා. අනෙක් අතට පිටුවහල් ජීවිතයෙදි ඔබට නිර්මාණාත්මක නිදහස ලබාදෙනවා. ලේඛකයන්ට තවදුරටත් තමන්ගේ ප්‍රධාන භූමියේදී ක්‍රීඩාකළ සම්මුතිවාදී ක්‍රීඩාව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සියල්ල ගැන ලිවීමට සුවිශේෂි සෞන්දර්යාත්මක නීති රීති අනුගමනය කිරීමක් නැහැ. පුද්ගලයෙක් විදියට මම වඩාත් උනන්දු වූ කාරණය නම් එය නව ක්ෂිතිජයන්, ලෝකය දෙස බැලීමේ නව ආකාරයන් විවර කර දීමක් කියන එක. මොකද කිව්වොත් මූලිකවම සමාන අවස්ථාවලදී මිනිස්සු වෙනස් විදියට ගනුදෙනු කරන හැටි ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මධ්‍යම ආසියාවේ බුද්ධිමය ඉතිහාසය ගැන සිතන විට පිටුවහල් ජීවිතයෙන් ලේඛකයන් කිහිපදෙනෙක්ම තමන්ගේ ක්ෂිතිජය පුළුල් කරගෙන , අත්දැකීම් පෝෂණය කරගෙන තියෙන හැටි දකින්න පුළුවන්. අල් ෆරාබි, අවි චෙනා, මෑත කාලීනව මුස්තාෆා ෂෝකී වගේ අය. මටත් පිටුවහල් ජීවිතය අර්ධ වශයෙන් සැඟවී ඉන්නට ලැබුණු ආශිර්වාදයක්.

ප්‍ර: මේ සමස්ථ කාලය පුරාම ඔබේ ප්‍රධාන පාඨකයන් වන උස්බෙකිස්තාන පාඨකයන්ගෙන් ඔබව වළක්වලා තියෙනවා. මම ඔබේ රුසියානු පොත් සොයා බැලුවත් මට ඒවා හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම ඉංග්‍රීසියෙන් තමයි කියෙව්වේ. මේ කාලයෙදී උස්බෙකිස්තාන පාඨකයන්ට වගේම පොදුවේ මධ්‍යම ආසියාවේ පාඨකයන්ට ඔබේ පොත් මිළදී ගන්න තියෙන පහසුව හෝ අසීරුතාවය කොහොමද?

පි: අන්තර්ජාල යුගයේදී සාහිත්‍යයේ බෙදාහැරීම නාටයානුසාරීය විදියට වෙනස් වෙලා තියෙනවා. ප්‍රකාශනය කළ යුත්තේ කුමන් සාහිත්‍යයද නැද්ද යන්න ගැන රාජ්‍ය විසින් දැන් පවා වාරණය කර තිබුණත් ලෝකේ ඕනෑම තැනකින් අපිට අන්තර්ජාලය හරහා පාඨකයො හොයාගන්න පුළුවන්. ඔබ දන්නවා මිනිස්සු බුද්ධිමත්. අන්තර්ජාලයේ ඇති වාරණ මඟහරින්න ඔවුන් දන්නවා. රුසියන් සහ උස්බෙක් භාෂාවලින් පළකරන මගේ පොත් ගණනාවක් මම සමාජ මාධ්‍ය වල පළකරලා තියෙනවා. මිනිස්සු ඒවා කාට කාට හරි යවලා තියෙනවා. සමහර වෙලාවට මේ පොත් වෛරස් වගේ පැතිරෙනවා. වාරණයන් තිබුණත් බොහෝ නව, බලාපොරොත්තු නොවූ පාඨකයන් සොයාගන්න මම සමත් වෙලා තියෙනවා.

ප්‍ර: මධ්‍යම ආසියාව ගැන කතා කළොත් “මධ්‍යම ආසියානු සාහිත්‍යය” කියලා සමහර විට කියන ලේඛන ප්‍රවර්ගයක් පවතිනවද? මෑත කාලීන මානව ඉතිහාසයේ මෙම කලාපයේ ලියැවී ඇති කාව්‍ය හා ගද්‍ය ප්‍රබන්ධ කෘතීන් එලෙස විස්තර කිරීමට ප්‍රමාණවත් තරම් පොදු බවක් තිබේද?

පි: අපේ මධ්‍යම ඉතිහාසය හවුල් ඉතිහාසයක්. අපේ සංචාරක ඉතිහාසය අපූරු වාචික සාහිත්‍ය සම්ප්‍රදායක් බිහිකරලා තියෙනවා. ඒක ප්‍රඥාවේ සහ කතන්දර කීමේ තාක්ෂණයේ නිධානයක්. හිතල බලන්න මනාස් ගැන. මිනිස් ශිෂ්ටාචාරයේ දීර්ඝතම වීර කාව්‍යය, ඒ වගේම Book of Korkut Ata කියන වාචික වීරකතාව. තව Epic of Koroghlu. අපේ නගරවල ඉතිහාසය ද වන අපේ උදාසීන ඉතිහාසය, ගසල් සහ ක්සීදා කියන වඩා සියුම් වෙනස් කාව්‍ය ප්‍රවර්ගයක් බිහිකරලා තියෙනවා. ඉතින් ඔව්, මධ්‍යම ආසියානු සාහිත්‍යය කියලා එකක් තියෙනවා, මොකද ඒක මම පරීශීලනය කරන නිසා. අපේ හවුල් ඉතිහාසයේ ලියවිලිවල මට හමුවන කතන්දරකීමේ න්‍යායන් මම පාවිච්චි කරනවා. අපේ පොදු මධ්‍යම ආසියානු සාහිත්‍යය අපි ආඩම්බර විය යුතු සහ ප්‍රවර්ධනය කළ යුතු දෙයක් කියලා මම හිතනවා.

ප්‍ර: කසකස්තානයේ සෙමිපලාතින්ස්ක්වල න්‍යෂ්ඨික අත්හදාබැලීම් කරපු ස්ථානයට ආසන්න තැනක් සම්බන්ධ කරමින් ඔබ නොවෙලාවක් ලියලා තියෙනවා. එහි මුල් රුසියානු නම වෙන්නේ Wunderkind Yerzhan. ඉංග්‍රීසි පරිවර්තනයේ නම විදියට යොදලා තියෙන්නේ Dead lake කියලා. මෙම කතාව ලියන්න ඔබව පෙළඹුවේ කුමක්ද? ඉංග්‍රීසි පරිවර්තනයේ නම වෙනස් කරන්න ඔබව යොමු කළේ කුමක්ද?

පි: මගේ ජීවිතේ බොහෝ වාර ගණනක් මම කසකස්තානය හරහා ගිහින් තියෙනවා. ටෂ්කෙන්ට් වල ඉඳන් මොස්කව්වලට. ටෂ්කෙන්ට් වල ඉඳන් නොවාසිබර්ක් වලට. ඒ යන අතරේ මම ගොඩක් කතන්දර ඇහිඳ ගත්තා. මේ නොවෙලාව ලියන්න මාව පෙළඹුවේ සෙමිපලාතින්ස්ක්වලදී වරක් මට මුණ ගැසුණු වයස විසිහතක මිනිහෙක් වුණත් වයස අවුරුදු දහයක පිරිමි ළමයෙකුගේ පෙනුමක් තිබුණු කෙනෙක්. අවුරුදු විස්සක් විතර යනකම් මට ඒ ගැන මුකුත් ලියන්න බැරිවුණා. ඒත් දවසක් මගේ ඇතුළෙන් මොකක් හරි දෙයක් සිද්ධ වුණා. මම වේගෙන් කතාව ලියාගෙන ගියා.

ඉංග්‍රීසි පරිවර්තනයේදී නම වෙනස් වීම ගැන කියනව නම් ඒක ප්‍රකාශන සමාගම තීරණය කරපු දෙයක්. රුසියානු හරි මධ්‍යම ආසියානු හරි භාෂාවලින් වැඩකරන විදියට ඉංග්‍රීසි නම වැඩකරන එකක් නැහැ, මොකද මධ්‍යම ආසියාතිකයන් වෙන අපි “Dead lake” කියන එක ඇරල් මුහුදේ ඛේදවාචකය එක්ක සම්බන්ධ කරනවා. වාසනාවට හෝ අවාසනාවට ඉංග්‍රීසියෙන් කියවන පාඨක ලෝකය ඇරල් මුහුදට සිදුවුණ දේ ගැන එතරම් දෙයක් දන්නෙ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි ප්‍රකාශකයාගේ තේරීම ලොකු පටැලැවීමක් වුණේ නැහැ.
(මෙම කෘතිය චූලානන්ද සමරනායක මහතා විසින් “මියැදුණු විල” නමින් සිංහලට පරිවර්තනය කර සුභාවි ප්‍රකාශනයක් ලෙසින් සිංහල පාඨකයාට තිළිණ කර ඇත.)

ප්‍ර: කතාව දරාගන්න බැරි තරම් දුක්බරයි. මේක ප්‍රබන්ධයක් නිසා ඔබට තිබුණා ඉයෙර්ෂාන් ගේ ජීවිතයට සතුට ටිකක් අරගෙන එන්න. කතාව ඒ විදියටම, දුක්බර විදියට තියන්න ඔබ තීරණය කළේ ඇයි?

පි: කතාව දුක්බර වෙන්නේ ඒක සෙමිපලාතින්ස්ක්වල න්‍යෂ්ටික අත්හදාබැලීම් කරපු තැනට ආසන්නව ජීවත් වුණු මිනිස්සුන්ගේ කතාව කියන නිසා. ඔවුන් හරියට සෝවියට් වරු පාවිච්චි කරලා අතෑරලා දාපු “ගිනී පිග්” සත්තුන්ට ගොඩක් සමාන නිසා. න්‍යෂ්ටික අත්හදා බැලීම් වලින් සෙමිපලාතින්ස්ක්වල මිනිස්සුන්ට සිද්ධ වෙච්චි ජානමය වෙනසේ තරම අපි තවමත් දන්නෙ නැහැ. මේ ගැන කිසිම දවසක මහජන පරීක්ෂණයක් තිබ්බද කියලා මම දන්නෙ නැහැ.

කසාක් මිනිස්සු මම හිතන විදියට තාමත් ඉන්නේ සංචාරක මානසිකත්වේ. ඔවුන් හැමදාම දකින්නේ අනාගතය. අලුත් තණබිම්. පරණ තණබිම් ගැන හිතන්න ඔවුන්ට උවමනා නැහැ. මොකද මේ තණබිම් කාලා ඉවර නිසා. ඉතින් සමහර වෙලාවට කසාක් මිනිස්සුන්ට ඒක මතක තියාගන්න උවමනාවක් නැතිව ඇති. ඒත් මට මතකයි. අන්න ඒ නිසයි මේ දුක්බර කතාව ඒ දුක්බර ගතියෙන්ම නැවත කියන්න ඕන.

ප්‍ර: ඔබේ A Poet and Bin-Laden පොත ලියලා තියෙන්නේ Dead Lake වලට වඩා වෙනස්ම ශෛලියකට. එම කෘතිය ප්‍රධාන චරිත දෙකක කතාව සංයුක්ත කරනවා. බෙල්ගි කියන උස්බෙක් කවියෙක් සහ තහීර් නැමැති උස්බෙක් ත්‍රස්තවාදියෙක් සහ තවත් චරිත දුසිම් ගණනක් නිර්මාණය වෙලා තියෙන්නේ ඇසින් දුටු සාක්ෂිවලින් සහ පරිපාලන ලියවිලි වලින්. ඔබ කොහොමද මේ නවකතාවේ ව්‍යූහය සකස් කරගත්තේ සහ ඇයි ඔබ එයට “සත්‍ය නවකතාවක්” කියන උප මාතෘකාව යෙදුවේ?

පි: සාමාන්‍යයෙන් ප්‍රබන්ධය, ප්‍රබන්ධ නොවන දෙයට වඩා සත්‍යයි. කතන්දර කියද්දී ප්‍රබන්ධ නොවන දෙයට වඩා ප්‍රබන්ධ වඩා ප්‍රභල බව මම විශ්වාස කරනවා. කෘතියේ වැදගත්ම තැනදී ප්‍රබන්ධිත චරිතයක් (බෙල්ගි) මම මවනවා. ඒත් ඒ වගේම මට ඕන වෙනවා මාධ්‍යවේදී කතන්දර කියන්නෙකුගේ ශෛලියකින් ලියන්න. ඒ නිසා මුළු කතාවම ඇසින් දුටු සාක්ෂි සහ පරිපාලන ලියවිලි මත පදනම් වුණා වගේ පේනවා.

නවකතාව කොයිතරම් දුරට සාර්ථක වුණාද කියනවනම් උස්බෙකිස්තාන් ආරක්ෂක සේවා මේකෙ ප්‍රධාන චරිතය හඹා යන්න තීරණය කළා. වතාවක් ලන්ඩනයට ආපු උස්බෙක් පර්යේෂකයෙක් කිව්වා, ඔයා දන්නවද මේ පොත ලියපු ලේඛකයාට අත්වැරැද්දක් වෙලා තියෙනවා. නවකතාවේ කියවෙන්නේ තහීර් පළමු වතාවෙදිම බෙල්ගිව මිත්‍රයෙක් විදියට පිළිගත්තා කියලා. ඒත් ඇත්තටම නම් මිත්‍රයෙක් විදියට පිළිගන්න කලින් තහීර් ඔහුට පහර දීලා තියෙනවා. සිද්ධ වුණේ මොකක්ද කියනවනම්, මම නිර්මාණය කරපු ප්‍රබන්ධ චරිතය උස්බෙක් ආරක්ෂක සේවය හඹා ගියා. ඒක තමයි මගේ ඉහළම සාර්ථකත්වය. මගේ ප්‍රබන්ධය සත්‍යයක් බවට පත්වුණා.

ප්‍ර: රුසියානු භාෂාවෙන් මෙම පොත නම් කරල තියෙන්නේ “මරණයට ඇති මාවත, මරණයට වඩා විශාලයි” කියලා. ඒක වඩා දාර්ශනික සහ නාටකීය බවක් ගන්නවා. ඇයි ඉංග්‍රීසි පරිවර්තනයේ නම වෙනස් කළේ.

පි: “ආයෙත් ඒකට හේතුව ප්‍රකාශකයා. ඉංග්‍රීසියෙන් යොදපු පළවෙනි නම කොම්රේඩ් ඉස්ලාම් බව මම එකතු කරන්න ඕන. ඒකත් විශිෂ්ට නමක්. මොකද ඒක බොල්ෂෙවික්වරුන්ගේ සහ ඉස්ලාමිකයන්ගේ උපායශීලිත්වයන් අතර අඛණ්ඩතාවය පෙන්නුම් කරනවා. තරුණ උස්බෙක්වරුන් ඉස්ලාම් අන්තවාදයට සහ කඳුකරයට ආකර්ෂණය කරගත් ප්‍රධාන කාරණාවක් වුණ ඉස්ලාම් කරිමොව් ගැනත් ව්‍යංගයෙන් කියවෙන අපූරු නමක් එය. අන්තිමට ප්‍රකාශකයා බටහිර ලෝකයට ගැලපෙන නමක් තෝරගත්තා.

ප්‍ර: ඔබේ The Railway නම් නවකතාව, සෝවියට් යුගයේ උස්බෙකිස්තානයේ ප්‍රබන්ධ නගරයක් පාදක කරගෙන වෙනස් ශෛලියකින් ලියැවුනු එකක්. පොතේ සිද්ධවෙන බොහෝ සිදුවීම් භයානක ඒවා වුණත් ඒ නවකතාව මාව දැඩි ලෙස හිනාගැස්සුවා. ඒක මට ගොගල්, බබෙල් හා බුල්ගකොෆ් ගේ රුසියානු සම්භාව්‍ය විකට කතා සිහිපත් කළා. මේ නගරයේ සිද්ධ වෙන අති අමානුෂික සිද්ධි ලියන්න මේ වගේ හාස්‍යජනක ශෛලියක් තෝරගන්න ඔබ හිතුවේ ඇයි? චරිතවලින් මොසයික නිර්මාණය කිරීමත් විකට මෝස්තරයේ කොටසක්ද?

පි: මේ නවකතාව මුළුමනින්ම විකට එකක් කියලා මම හිතන්නේ නැහැ. ඒක අතීතය සඳහා වැලපීමක් කියලයි මම හිතන්නේ. අතීතය අතහැර යාමට සිනහව අපිට ඉඩදෙනවා කියා වරක් කාල් මාක්ස් පැවසුවා. මේ නවකතාව මගේ ළමාවිය, තරුණ විය දිහා ආපසු හැරී බැලීමක්. සිනහවෙන්න පුළුවන්. ඒත් ඒ වගේම දුක්බරයි. මේ නවකතාව කටුක සිනහවක් හෝ මිහිරි කඳුළු ගන්වනවද කියලා මම දන්නෙ නැහැ. මම හැදී වැඩුණු උස්බෙක් වටපිටාවේ මෝර්වින්ස්, චුවාෂ්, ජිප්සීස්, යුදෙව්, කොරියන්, ටජිකිස්, කසාක්ස් සහ කිරිගීස් වරු එකට ජීවත් වුණා. ආගමික නිවාඩුවලදී විවිධ විශ්වාසයන් එකට පිළිපැද්දා. උදාහරණෙකට රාමදාන් වලදී එකට සිංදු කිව්වා. මනුෂ්‍යත්වයේ කොටසක් ලෙස මට හැඟුණු මගේ ළමා කාලය සිහින කාලයක් වුණා.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

five × three =