බංග්ලාදේශය හා අපි

බංග්ලාදේශය පිටතින් බලන විට පෙනෙන්නේ අපිට වඩා දියුණුවෙන් අඩු රටක් ලෙසිනි.
අපි 1948 නිදහස් රාජ්‍යයක් බවට පත් වද්දී නැගෙනහිර පකිස්ථානය ලෙස සිට ස්වාධීන රාජ්‍යයක් බවට ඔවුන් පත් වූයේ 1972 දී ය. ඒ අනුව ඇත්ත වශයෙන් බංග්ලාදේශයේ වසන්නේද ඔරිජිනල් පකිස්තානුවන්ම ය.

අධික ජනගහණයකින් යුත් බංග්ලාදේශයේ අගනුවර වන ධකාහි පමණක් ලංකාවට වඩා ජනගහණයක් ඇත.
ධකා යනු අතිශයින්ම ජනාකීර්ණ හා මාර්ග තදබදයකින් යුත් පිරිසිදු කමින් අඩු නගරයකි. වායු දූෂණයද අධිකය.මෙම වායු දූෂණය නිසා එකලද අප පාරට බැස්සේ මුඛ ආවරණ සහිතවය. රික්ෂෝ කරුවන් පමණක් එහි දස ලක්ෂයකට වඩා සිට්ති.
මා මුලින්ම ධකා ගියේ 1994 දී ය.

ඒ සාෆ් ක්‍රිකට් තරගාවලියකටය. එහිදී හතුරුසිංහගේ නායකත්වයෙන් යුත් අපේ “ඒ” කණ්ඩායමත්, ඉන්දීය හා පකිස්තානු ” ඒ” කණ්ඩායම් සමග එහිදී තරග වැදුණේ බංග්ලාදේශ ජාතික කණ්ඩායමයි. එම තරගාවලිය ආවරණය කිරීමට ශ්‍රී ලංකාවෙන් එහි ගිය එකම මාධ්‍යවේදියා මා විය.

ක්‍රිකට් හා පාපන්දු ගසන්නට එහි තිබුණු එකම විශාල ක්‍රීඩාංගණය වූයේ බංගබන්දු ක්‍රීඩාංගණයයි.පාපන්දුත් ගසන බැවින් එහි තණතීරු එවක උසස් මට්ටමක නොතිබුණි. පන්දුව දණහිසෙන් උඩට නොපැමිණි බැවින් කණ්ඩායමක් රැස් කළ උපරිම ලකුණු සංඛ්‍යාව වූයේ 150 කි.

ගැටවරයකු ලෙස එයට ගිය සමන් ජයන්ත ලකුණු 30 ක සාමාන්‍යයක් රඳවා ගත්තේය. ඊළඟට වැඩියෙන් ලකුණු රැස් කළ චාමර දුනුසිංහ එම දස්කම නිසා ඊළඟ නවසීලන්ත ටෙස්ට් තරගාවලියට තෝරා ගැණින.
එම සචාරයේ අපේ කණ්ඩායමේ කළමනාකරු වූයේ සිදත් වෙත්තිමුණිය.

ආපසු එන ගමනේදී ඔහු මා සමග සමන් ජයන්ත ගැන පැවසුවේ ඔහු මාස කිහිපයක් තුළ ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරනු ඇත කියාය. එහෙත් සමන් ජයන්තට එම අවස්ථාව ලැබුණේ හරියටම ඉන් දස වසරකට පසු 2004 දී ය.
එකල ධකා ගුවන් තොටුපල පිහිටි තත්ත්වය කෙසේදයත් මා ආපසු එන විට පාන්දර 4 ට ටකා මාරු කරගන්නට තිබූ එකම බැංකුවත් වසා තිබුණි.

ඉන්පසු මා එහි ගියේ 2004 සාෆ් ක්‍රීඩා උළෙලටය..බංගබන්දු ක්‍රීඩාංගණය එහි ප්‍රධාන තරග පැවැත්වූ ක්‍රීඩාංගණය වූ අතර එම තරගාවලියේදී අපට වඩා පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින්නට බංගලියෝ සමත්වූහ.එම තරගාවලිය සංවිධානයෙන්ද ඔවුහු අපට වඩා ඉදිරියෙන් සිටියෝය. පාපන්දුවෙන් කොහොමත් ඔවුන් සිටියේ අපට ඉදිරියෙනි.

මගේ මීළඟ ධකා සංචාරය වුයේ 2016 යොවුන් ක්‍රිකට් ලෝක සූරතාවයි. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල එහිදී අවසන් පූර්ව වටයට පිවිසි අතර අවිශ්ක ප්‍රනාන්දු, ලහිරුකුමාර,වනිදු හසරංග, අසිත ප්‍රනාන්දු ,කමිඳු මෙන්ඩිස් වැනි දැනට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෝ එයට ඇතුළත් වූහ.

Official Curator ගාමිණී සිල්වා

එවර මා එහි ගියේ කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයකු ලෙසය. ඒ ක්‍රිකට් ඉත්තෑවකු නිසා මගේ වියදමින් ය.
ඒ වන විටත් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් උසස් මට්ටමක වූ අතර ජාතික පිල චන්දික හතුරුසිංත්, කාන්තා පිල ජේ.සී. ගමගේත් පුහුණු කරමින් සිටියෝය. රුවන් කල්පගේ පන්දු රැකීමේ පුහුණුකරු විය.ඒ වන විට ධකාහි නව ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කර තිබුණු අතර සිලෙට් හා චිතගොංහිද නවීන පන්නයේ ක්‍රීඩාංගණ ඉදිකර තිබුණි.එම ක්‍රීඩාංගණ වල තණ තීරු සැකසීම භාරව සිටියේ ගාමිණී සිල්වාය. හිටපු පළමු පෙළ ක්‍රීඩකයකු හා විනිසුරුවරයකු වන ගාමිණී වසර දහයකටත් වඩා එහි සිටිමින් අදටත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තණ තීරු සකසන්නා (Official Curator) ලෙස විශිෂ්ට සේවයක් කරයි.

ජේ. සී. ගමගේ, රුවන් කල්පගේ, චන්දික හතුරුසිංහ-2016 බංග්ලාදේශ ක්‍රිකට් වැඩ කාරයෝ එහෙදි හම්බ වුණු වෙලාවක.

දෙදහස දශකයේ මුල් භාගයේ මෙහි සිට එහි ගිය කාල්ටන් බර්නාඩස්, මැල්කම් පෙරේරා හා සෙනරත් අල්විස් කලක් එහි රැඳී සිටිමින් අවුරුදු 13 න් පහළ මට්ටමේ සිට ක්‍රීඩකයන් පුහුණු කරවීමේ නියැළුනු අතර අද එහි නම් දරා සිටින ක්‍රීඩකයන් රැසක් ඔවුන්ගේ නිෂ්පාදන බව බොහෝ දෙනා නොදනිති. කාල්ටන් ඉන්පසු එහි සංවර්ධන නිලධාරියකු ලෙසද තවත් වසර ගණනක් සේවය කළ අතර ඉන්පසු චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරුවකු ලෙස එක් විය.

අහ්‍යාසක ලෙස ගිය මරියෝ වෙල්ලවරායන් අදටත් එහි ජාතික කණ්ඩායමේ අභ්‍යාසක වරයාය.
රංගන හේරත් දඟ පන්දු උපදේශක වරයා ලෙස අලුතින්ම එක් විය.
බංග්ලාදේශය ක්‍රිකට් වලින් ලොවටම අභියෝග කරන මට්ටමකට දැන් පැමිණ ඇත්තේය.
පසුගිය යොවුන් ලෝක සූරතාව ඉන්දීය පිල පරදවමින් ජය ගත්තේද බංගලියෝය. එහි පුහුණුකරු වූයේ තවත් ශ්‍රී ලාංකිකයෙකි.
ඒ නවීඩ් නවාස් ය. මීළග යොවුන් ලෝක සූරතාවටත් බංගලි පිල පුහුණු කරන්නේ ඔහුය.
අපේ ජාතික කණ්ඩායමත් අවසන් වරට එහි ගොස් පැමිණියේ පරාජිතවය.
නොබෝදා ඔවුන් ප්‍රබල ඕස්ට්‍රේලියානු පිලද විස්සයි විස්සෙන් තරග 4-1 කින් පරාජයට පත් කළේය.
මීට කලකට පෙර අපි බංග්ලාදේශයටත් පරදීවි යයි කියූ අනාවැකි ඔවුන් සනාථ කර අවසන්‍ ය. එයට හේතුව අපේ ක්‍රිකට් වල කඩා
වැටීම පමණක් නොව බංගලියන් සැලසුම් හා වෙනත් බොහෝ අංශ වලින් අපට වඩා ඉදිරියෙන් සිටීමය.
ඔවුන් අපට ගැසුවේ අපේම තුරුම්පුවලින් ය.

ඒ තුරුම්පු වලින් වැඩක් ගැනීමට අපට නොහැකි විය. ඒ අප අදින්නේ වැරදි කොළ නිසා විය යුතුය.
අපට ගසා පිටිය මැද ඔවුන් නයින් නටවද්දී අපි ඔවුන්ට සිනාසුනෙමු.සම්ච්චල් කළෙමු.

එහෙත් ඔවුන් අද මෙන්ම හෙටටත් අපට නයින් නටවා පෙන්වනු ඇත. අපි නැවත නැවතත් ඔවුන්ට සිනා සෙමින් සිට්මු.ඒ ඇත්තටම හඬන්නට ඇති ලැජ්ජාව නිසාය.
ආර්ථිකවද ඔවුන් අපට වඩා සිටියේ පහලිනි.
කලක් අප වැනි රටක් බවට පත් වන්නට සිටි සිංගප්පූරුව අද තිබෙන්නේ කොතැනකද?
එසේම අපෙන් ඉගෙන ගෙන අපේ ඇඟළුම් කර්මාන්තයෙන්ද ලෝකය ජය ගත්, කර්මාන්තශාලා ප්‍රමුඛ කොට ගත් විහිදුනු ආර්ථික සංවර්ධන ව්‍යුහයකින් සමන්විත, බංගලියන්ගෙන් අද අපි ඩොලර් මිලියන 200 ක් ණයට ඉල්ලා ගන්නෙමු.
ඉදිරියේ තවත් අපට බොහෝ පසු පසින් සිටි තවත් රටවලින් ණය ගැනීමට සිදු වුවොත් පුදුම වන්නට දෙයක් නැත.තවත් අපට පිටුපසින් සිටින කණ්ඩායම් වලින් අප පැරදුනොත් පුදුම විය යුතු නැත. මෑත කාලයේ අපට ඇෆ්ගනිස්තානුවන් මුණ ගැසුණේ නැත.
ඊළඟට ඔවුන් අප මුණ ගැසෙන දිනයද අපට තීරණාත්මක වනු නොඅනුමානය.
අපෙන් උදුරා ගත් ඇඟළුම් ක්ෂේත්‍ර ආදිපත්‍යයේ බංග්ලාදේශයේ බොහෝ කර්මාන්තශාලා හසුරුවන්නේද ලාංකිකයන් ය.
ඒ අප පසු කර යන රටවල දියුණුවයි..!
එයට ඊර්ෂ්‍යා නොකරමු…! උන් දෙස බලා දැන්වත් අපි හැදෙමු…!

– රන්ජන් පරණවිතාන (fb)

 

රික්ෂෝ පුරය. ගමන ලාභයි. ඒත් මේ මනුස්සයො අපිව දාගෙන පදින පැදිල්ල බලන් ඉන්න දුකයි.

ඕස්ට්රේලියාව පරාජය කළ ප්රීතිය.

 

Leave A Reply

Your email address will not be published.

3 + eight =