ජනපතිවරණයේ ‘නාඩි’ වැටෙන හැටි !

රට ම ජනාධිපතිවරණයට ඉලක්ක වී ඇත. හැමෝ ම බලාගෙන ඉන්නේ ඒ දිශාව වෙත ය. කවුරු දිනයි ද? කවුරු පරදියි ද? හැමෝ ම අහන්නේ ඒක ය. මොක ද තත්ත්වය ? මොක ද වෙන්නේ කියා අහන්නෙත් ඒ ප්‍රශ්නය ම ය. එකයි එකයි එකතු කළා ම දෙකයි කියා පහසුවෙන් කිව හැකි ය. එහෙත්, දිනන්නේ කවුද යන්න එහෙම පහසුවෙන් කියන්න පුළුවන් දෙයක් නොවේ ය. එය ගැඹුරු සමාජ විද්‍යාත්මක මැනීමකි. දේශපාලන විද්‍යාත්මක මැනීමකි. හැම දා ම වාගේ මේ සැරේ සමීක්‍ෂණ වාර්තා තොග පිටින් එළිදකියි. ඒ හැම එකක් ම එකිනෙකාට වාසි වෙන විදියට ය. දන්න ඉතිහාසයේ කවදාවත් ඔය සමීක්‍ෂණ වාර්තා ඇත්ත වූයේ නැත. අපක්‍ෂපාතී, ස්වාධීන සමීක්‍ෂණ කෙරෙන්නේ ද නැත. එහෙම කෙරුණත්, ඉන් කිසි දවසක ඇත්ත තත්ත්වය මැන ගන්නට හැකියාවක් ද නැත.
ඡන්දය පැවැත්වෙන දිනය වෙන තෙක් හැමෝ ම තම තමන් දිනනවා යැයි කියන්නේ ය. සමහරු එහෙ ම මිථ්‍යාවන්වල ද ඉන්නේ ය. ඒ ළඟ ඉන්න යාළුවෝ, හිතවත්තු කියන දේවල් නිසා ය. හමු වන හමු වන කෙනා අපේක්‍ෂකයාගේ මූණට කියන්නේ, “ඔයා දිනනවා“ කියා ය. තව සමහරු කියන්නේ, “මෙදා සැරේ ලොකු රැල්ලක් ඔයාලට තියෙනවා” කියා ය. ඉදිරිපත්ව ඉන්න තිස්පස් දෙනාගෙන් බොහෝ අය එහෙම හිතාගෙන වැඩ කරති. ජීවිතයේ කවදාවත් ඡන්දය ඉල්ලපු නැති අය මේ වාගේ කතාවලින් හොඳට ම ඇඳ ගනිති. කොච්චර ඇඳ ගන්නවා ද කියනවා නම්, සමහරු දැනටමත් දිනුවා වාගේ හැසිරෙති. ඒ තත්ත්වය එක්තරා විදියක මානසික වින්දනයකි. ප්‍රායෝගික භාවිතාවෙන් තොරව එකවර ඔරොත්තු දී ගත නොහැකි ඇන්දිල්ලකට හසු වුණා ම මෙවන් දේවල් සිදු වන්නේ ය. දෙදහස් දහය ජනාධිපතිවරණයේ දී එහෙම වුණේ ය. අවුරුදු ගණනාවක් හමුදාව ඇතුළේ ඉඳලා එළියට ආපු ෆොන්සේකා සෙනඟ දැකපු ගමන් අන්දමන්ද වුණේ ය. එකවර මල් මාලා දාලා, සෙනඟ පිරිලා, ඔල්වරසන් මැද්දේ ප්‍රීතිඝෝෂා නඟන කොට හිතන්නෙ ම දිනනවා කියා ය. මුණගැහෙන ගැහෙන කෙනා කියන්නේ, දිනනවා කියා ය. කිසිවෙක් තමන්ට අමාරුයි, අවාසියි කියන්නේ ද නැත. එවැනි ම වූ තත්ත්වයක් අදත් දකින්නට ඇත. බොහෝ අපේක්‍ෂකයන් තමන්ගේ තත්ත්වයට වඩා බොහෝ ඉහළින් හිතාගෙන ඉන්නේ, ඒ අත්දැකීම් නැතිකම නිසා ය.

නාගානන්ද කොඩිතුවක්කු අවුරුදු හතරක් තිස්සේ හිටියේ මේ වාගේ ඇඳගෙන ය. කොච්චර අධි තක්සේරුවක හිටියා ද කිව්වොත්, තමන් මෙවර සියයට හැත්තෑවකට වඩා වැඩියෙන් ඡන්ද ගන්නවා යැයි පුරාජේරු ගැහුවේ ය. ස්වයංජාත ව්‍යවස්ථාවෙන් මනෝමය වින්දනයක් ලබාගෙන සිටියේ ය. එහෙත්, අන්තිමේ දී තමන්ට ඡන්දය ඉල්ලන්න දේශපාලන පක්‍ෂයක් හොයා ගන්න බැරි වුණේ ය. රටක් ඉල්ලන්න යන කෙනා පක්‍ෂයක් ඉල්ලා ගන්න බැරි තත්ත්වයකට පත් වුණේ ය. තනි තනියෙන් මෙවැනි හීනයක ඉන්න එක ප්‍රශ්නයක් නැත. එහෙත්, ඒ ජාතියේ කතාවලින් ඇන්දිලා අනෙක් අයටත් පහර ගහන්න ගත්තා ම ටිකක් පරිස්සමින් කල්පනා කරන්න ඕනෑ ය. අන්තිමේ දී ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරපු බොහෝ මහන්සි වුණු බොහෝ වියදම් කළ හැමෝ ම අනාථ වී ගියේ ය.

තවත් සමහර ප්‍රායෝගික අත්දැකීම් නැති අය මේ විදියට ම ඇඳගෙන සිටියෝ ය. ලක්‍ෂ තිහක් ඡන්ද ගන්න පුළුවන් කියා අධි තක්සේරු තැබූහ. න්‍යායාත්මකව පමණක් ගණන් හැදූ විද්වත්හු ගණනාවක් එලෙස තක්සේරු කළහ. ප්‍රායෝගික අත්දැකීම් ඇති බොහෝ අය ඒ ගැන කියද්දී, ඒවා උපහාසයෙන් යුතුව බැහැර කළහ. නාමයෝජනා බාර දීලා මහ පොළොවට බැස්සාට පස්සේ ඇත්ත තත්ත්වය තේරුම් ගියේ ය. තම තමන්ගේ සංවිධානවල මහා ලොකු බලයක් තියෙනවා යැයි බොරුවට පෙන්වා සමහර අපේක්‍ෂකයන් ද රවට්ටවා කරපු ඒ වැඬේ දැන් දැන් ඇත්ත නොවේ යන්න පැහැදිලි ය. මහා දැවැන්ත පිට්ටනිවල පනහක හැටක රැස්වීමක් දෙකක් කරන කොට කාට කාටත් ඇත්ත තත්ත්වය තේරුම් යන්නේ ය. එතකොට අර කලින් කයිවාරු ගහපු අය සංවිධානයෙන් ද අයින් වී ගොස් ය; මඟහැර ගොස් අවසන් ය. මොකක් හෝ වෙන බොරුවක් කියලා හිමින් සැරේ මාරු වන්නේ ය. තව සමහරු එළිපිට මුහුණ දෙන්නට එන්නේ නැත. මූණ හංගාගෙන යටින් යටින් හැංගිමුත්තන් කරන්නේ ය. මුහුණ දෙන්නට වී ඇත්තේ, අපේක්‍ෂක වගකීම ගත්ත කෙනාට ය. ඔහු පෞද්ගලිකව මුහුණ දෙන අමාරුව කයිවාරු ගහපු අයට දැනෙන්නේ ම නැත. කොහොම වුණත්, ඔය කාට කාටත් මාසයක් හෝ මාධ්‍යවල ඉඳලා පුංචි ගැම්මක් එක්ක ඉන්න පුළුවන්කම ලැබෙන්නේ ය. ඒකත් ජීවිතයට ලැබිච්ච ලොකු චාන්ස් එකක් කියලා සතුටු වෙන්නට පුළුවන් ය.

මෙහෙම බැලුවා ම හරියට ම ඡන්ද සටනේ ඉන්නේ අපේක්‍ෂකයන් තුන්දෙනෙක් පමණක් ය. ඒ තුන්දෙනා ම යම් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන්නෝ ය. ඉන් පැහැදිලි වන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව කොච්චර හිතුවත්, දේශපාලනයෙන් තොරව ස්වාධීනව බොහෝ දේවල් කළ හැකි යැයි සිතුව ද, එය මුළුමනින් ම වැරැදි ය. එහෙම තත්ත්වයක් කොහෙත් ම නැත. බොහෝ විද්වතුන්, උගතුන් හිතාගෙන ඉන්න ඒ අදහස මුළුමනින් ම වැරැදි ය. සියල්ල තීරණය වන්නේ දේශපාලනය මත ය. ඒ නිසා ම දේශපාලන පක්‍ෂ ගොඩනැඟී ඇත. ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් එකිනෙකට වෙනස් ය. අද ඒ දිහා බැලුවොත්, යූඑන්පීයේ සහ රාජපක්‍ෂලාගේ ප්‍රතිපත්තිවල වෙනස්කමක් නැත. දෙකේ ම ප්‍රතිපත්ති එක හා සමාන ය. වෙනසකට ඇත්තේ, පුද්ගලයන්ගේ පමණක් ම ය. මතුපිටින් බැලුවා ම වෙනස්කමක් තියෙනවා වාගේ වුණාට හරයෙන්, වැඩවලින් දෙක ම එක ය.

සජිත් ප්‍රේමදාස අපේක්‍ෂකයා ලෙස නම් කරන කොට බොහෝ එජාප සාමාජිකයෝ හිතුවේ, දැන් ඉතින් පක්‍ෂය අලුත් වුණා කියා ය. එහෙත්, ඔහු මේ දවස් ටිකට කරපු කියපු දේවල් ගත්තා ම එහි කිසිදු වෙනසක් නැත. පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් විසිහය වැනිදා කරපු කුමන්ත්‍රණය කාටත් මතක ය. මෛත්‍රීපාල එකපාර ම තමන්ව අඩි හයක් වළපල්ලට දානවා යැයි කියපු රාජපක්‍ෂව අගමැති කළේ ය. රාජපක්‍ෂ කල්ලියේ හොර නඩයට ඇමතිකම් දීලා, මුළුමනින් ම ආණ්ඩුව වෙනස් කළේ ය. මෛත්‍රීපාලට ඒක එහෙ ම කරන්න පුළුවන් වුණේ, යූඑන්පී මන්ත්‍රීවරුන්ගේ මහා පාවාදීම් නිසා ය. විජේදාස රාජපක්‍ෂ, අශෝක ප්‍රියන්ත, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, ආනන්ද අලුත්ගමගේ යන පස් දෙනා ම හොඳ යූඑන්පීකාරයෝ ය. යූඑන්පී පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අනෙක් පැත්තට පැනලා, රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයට ලොකු තල්ලුවක් දුන්හ. එදා මෛත්‍රීපාල හා රාජපක්‍ෂලා එකසියදහතුන හදනවා කියලා කයිවාරු ගැහුවේ මේ මහා පාවා දීමේ මන්ත්‍රීවරුන් නිසා ය. තවත් අය ඒ පැත්තට ගන්න මෙහෙයුම් දියත් කළේ ද ඔවුන් ය. පක්‍ෂයක් ලෙස ඉතා ම අසීරු තත්ත්වයකට පත් කරපු ඒ කුමන්ත්‍රණයේ දී පක්‍ෂය පාවා දීපු නාවින්නව සජිත් ප්‍රේමදාස ආපසු තමන්ගේ පැත්තට එකතු කර ගත්තේ ය. තමන්ගේ පෞද්ගලික වුවමනාව වෙනුවෙන් එවැනි මහා පාවාදෙන්නකුව එකතු කර ගත හැකි නම්, අනෙක් ඒවා ගැන කවර කතා ද? තිස්ස අත්තනායක කියන්නේ ද එවැනි ම මහා පාවාදීමක් කළ අයෙකි. එදා රාජපක්ෂ දූෂිත පවුල් පාලනයට එරෙහිව ශ්‍රීලනිපයේ මහලේකම් එළියට ආවේ ය. රාජපක්ෂලා හතරගාතෙන් වැටුණේ ඒ සිද්ධියත් එක්ක ය. ඒ වෙලාවේ ලේකම්ට, ලේකම් ලෙස ශූන්‍ය කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. තිස්ස අත්තනායක යූඑන්පීයේ මහලේකම්වරයා එකවර රාජපක්ෂලාගේ තුරුල්ලට දිව්වේ ය. එදා ඒ මහා පාවාදීම කළ පුද්ගලයා අද සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටියි. මේ සා විශාල පාවාදීමක් කළ අයව නැවත එකතු කර ගන්නා තරමට සජිත් ප්‍රේමදාස දැනටමත් පක්ෂයට ද්‍රෝහි වී ඇත. බලය ගන්නට පෙර තත්ත්වය මෙසේ නම් වැරදිලා හෝ බලය ගත්තොත්, මෛත්‍රීලාට හපන් වෙන බව නම් ස්ථිර ය. පක්ෂය ගැන අබමල් රේණුවක හෝ ආදරයක් ඇති කිසිවකුට මෙය කළ හැක්කක් නොවේ. එක්සත් ජාතික පාක්ෂිකයන් මෙය හොඳින් තේරුම් ගත යුතු ය. නිකං ඔහේ ඉබාගාතේ පක්ෂය වෙනුවෙන් කෑ ගහනවා වෙනුවට මෙවැනි පාවාදෙන්නන් නැවත එකතු කරගෙන දැනටමත් පක්ෂයට කර ඇති හානිය ගැඹුරින් සිතාබැලිය යුතු ය. පුදුමයට කරුණ නම්, එවැනි පාවා දුන්නන් නැවත වේදිකාවට එනකොට අඩුම ගණනේ පාක්ෂිකයන්ගෙන් විරෝධාත්මක හූවක්වත් එන්නේ නැතිකම ය.

එහෙත්, රාජපක්ෂලාගේ පිලේ තත්ත්වය වෙනස් ය. නායකයෝ බලය වෙනුවෙන් එකතු වුණාට පාක්ෂිකයෝ හූ හඬවලින් සංග්‍රහ පැවැත්වූහ. හූ හඬ පමණක් නොව ගුටිබැට ද දුන්හ. යාපහුව රැස්වීමේ දී හූ කියපු තමන්ගේම අයට රැස්වීම භූමිය ඇතුළත දී ම පහර දුන්නේය. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු කොච්චර අසරණ වෙලා, අනාථවෙලා, අතරමං වෙලා ද කියනවා නම්, දෙකට තුනට නැමිලා ගෝඨාභයට වැඳලා ඒ පැත්තට එකතු වන්නේ ය. මහා ලොකු කයිවාරු ගහපු හාදයෝ බලු කුක්කෝ වගේ රාජපක්ෂලාගේ දෙපතුල් ළඟ වැඳවැටෙන හැටි දැක්කා ම ශ්‍රීලනිපය ගැන මහා දුකක් ඇති වන්නේ ය. එදා ඉතිහාසයේ කොතරම් බලයක් සහිතව හිටපු පක්ෂයක් ද මෙහෙම තත්ත්වයකට පත් වුණේ යන්න හිතාගන්නවත් අමාරු ය. ඒ තත්ත්වයට පක්ෂය ඇදවැට්ටුවත් වත්මන් නායකයන්, බිම් මට්ටමේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන්, පාක්ෂිකයෝ මේ මහා පාවාදීමට කොහෙත්ම කැමති නැත. ඒ අයට අද රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇත. එදා ගාල්ලේ පැවැත්වූ මැයි දින රැස්වීමේ දී මෛත්‍රීපාල කියපු දේවල් අද වාගේ මතක ය. හොඳටම කේන්ති ගිහිල්ලා වියරුවෙන් කිව්වේ “සමහරු හදනවා අලුතින් පක්ෂ හදන්න. බලමු පක්ෂ හදලා ඔය ඔක්කොගෙම ෆයිල් මා ගාව තියෙනවා. එහෙම පක්ෂ හදන්න හැදුවොත්, මහපාරේ රෙදි නැතිව ඇවිද්දවනවා” කියා ය. එහෙම කියපු මෛත්‍රීපාලගේ සභාපතිත්වයෙන් යුත් පක්‍ෂය රාජපක්‍ෂලාගේ දෙපතුල ළඟ දණගැස්සුවේ ඔවුන් ම ය. මේවා මතක් වෙන කොට රාජපක්‍ෂලාට පස්ස පැත්තෙනුත් හිනා යන බව නම් ස්ථිර ය. ප්‍රශ්නය වන්නේ එය නොවේ ය. එජාපයේ ප්‍රතිපත්තිවලට සෘජුව විරුද්ධව අනෙක් පැත්තට රාජපක්‍ෂලාගේ දූෂිත පවුල් පාලනයටත් විරුද්ධව කෙළින් නැඟී සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ මුළුමනින් ම අතරමං කරවීම ය. අද වෙන කොට ඒ අය මුළුමනින් ම අසරණව ඇත.

මේ විදියට ගත්තා ම පක්‍ෂ දෙකේ ම ලොක්කෝ තම තමන්ගේ පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වී ඇත. එවන් තත්ත්වයකට තමන්ව ඇදවැට්ටූ පක්‍ෂත් එක්ක තව දුරටත් ගමනක් නැති බව අද වෙන කොට ඔවුන් බහුතරයක් තේරුම්ගෙන ඇත. තවත් බොහෝ දෙනෙක් තේරුම් ගනිමින් සිටිති. ඒ හැමෝ ම ඉල්ලන්නේ, මේ ආකාරයෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන, එක ස්ථාවරයක ඉන්න දේශපාලන නායකත්වයකි. පක්‍ෂත් එක්ක ඇති වෙච්ච තරහට ඔහේ කාට හෝ තරහට ඡන්දය දීමක් නොවේ ය. ආයේ කවම කවදාවත් මෙවන් තත්ත්වයකට ඇද නොවැටෙන ස්ථාවර ප්‍රතිපත්තියක් ඇති දේශපාලන නායකත්වයකි. හුදු පුද්ගල චරිතයක් නොව ප්‍රතිපත්තියක් සහිත දැවැන්ත සංවිධාන නායකත්වයකි. සාමාන්‍ය පාක්ෂිකයන්ට පමණක් නොව පාසල් යන වයසේ දරුවන්ට ද මෙය තේරෙන්නේ ය. නාඩිය වැටෙන විදිය තේරුම් ගත්ත ළමයි දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න අහන්නේ ඒ අනුව ය. නායකයෝ හිතාගෙන ඉන්නවා නම්. පාක්ෂිකයෝ අන්ධයි, තේරෙන්නේ නැහැ, කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරැදි ය. ඉස්සර වාගේ දැන් කාලේ පාක්ෂිකයෝ හිතන තරම් ලෙහෙසියෙන් අන්දවන්න අමාරු ය. අහන ප්‍රශ්නයට හරියට උත්තරයක් ඕනෑ ය. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු රටේ ජනාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි අහන්නේ පාසල් යන දරුවා ය. මහ බැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් නොදෙන්නේ ඇයි දැයි අහන්නෙත් පාසල් දරුවන් ය. නෙළුම් කුලුනෙන් කෝටි දෙසීයක් හොරකම් කළා යැයි කියපු අයත් එක්ක එකට එකතු වන්නේ ඇයි දැයි අහන්නෙත් දරුවන් ය. ඒ කියන්නේ, අද වෙනකොට ඉස්කෝලේ යන ළමයින්ටත් තේරෙන දේවල් ගොඩක් ඇත. ඒ ඉදිරියේ බොරු කරන්නට, ප්‍රශ්නයෙන් පැනලා යන්නට දේශපාලනඥයන්ට හැකියාවක් නැත. ඔවුන් ඉදිරියේ රෙදි ගලවා ගන්නවා ද, නැද්ද යන්න විවෘත අභියෝගයක් වී ඇත. ළඟ එන ජනාධිපතිවරණයත් එසේ ම ය. එහි නාඩි වැටෙන විදිහ දැන් කාට කාටත් තේරුම් යමින් ඇත. පරණ බොරු සෙල්ලම් කාටවත් දාන්නට හැකියාවක් නැත. නාඩිය ඉස්සරහ පාසල් ළමයින් ඉදිරියේ නාඩි වැටෙන විදියට ම ඡන්ද සටනේ ද නාඩි වැටෙන්නේ ය. හරි විදිහට සෞඛ්‍ය තත්ත්වය ඇත්තේ නම්, හරියට නාඩි වැටෙන්නේ ය. එසේ නැත්නම් ප්‍රේක්ෂකයන් ඉදිරියේ නිරුවත් වීමෙන් ම නාඩිය වැටෙන්න ඕනෑ විදිය ජනතාව තීරණය කරන්නේ ය.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

2 × 5 =