“රනිල් වික්‍රමසිංහ එන්නත ලබාගත්තෙත් යුද හමුදා එන්නත් මධ්‍යස්ථානයකින්”

- යුද හමුදාපති

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකායට චෝදනා කළ ද ඔහු කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේ යුද හමුදා එන්නත් මධ්‍යස්ථානයකින් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රණවිරුවන් විසින් සිදුකරනු ලබන සේවය පිළිබඳ රටේ ජනතාව තීරණය කළ යුතු බවය.

“ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරනු ලබන මේ එන්නත්කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. එවන් අවස්ථාවක එක් පුද්ගලයෙක් පමණක් විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස මගේ යුතුකමක් වෙනවා මේ ගැන පවසන්න. ඒ අනුව යුද හමුදාව, සෞඛ්‍ය අංශවලින් සිදුකරනු ලබන එන්නත්කරණය විවේචනය කරද්දි රටේ ජනතාව දැනගත යුතු කාරණය තමයි එතුමා එන්නත ලබාගත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලික රෝහල නාරාහේන්පිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් තමයි. එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබාගැනීමට අවශ්‍ය වුණානම් රටේ ජනතාවගේ එන්නත්කරණය වැරදි කියනවානම් ඒ ගැන ජනතාව තීරණයක් ගත යුතුයි.”

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකාය පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසකි
පවතින කොවිඩ් කාර්ය සාධක බලකාය තිබෙනතුරු අපට සිද්ධ වෙන්නේ මිනිස්සු මැරෙන එක බලාගෙන ඉන්න පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගිය 05 වෙනිදා ප්‍රකාශ කළේය.
එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
“මම කියන්නේ අපිට පුළුවං උදව් කරන්න. ඒත් මම එකක් කියනවා කණගාටුවෙන්. ඒ තමයි සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියපු එකට මටත් එකග වෙන්න සිද්ධ වෙනවා. මේ තියෙන කාර්ය සාධක බලකාය තියෙනකං අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මිනිස්සු මැරෙනවා. මේක සිදුවෙන්නේ නෑ. ඒ් නිසා කැබිනට් මණ්ඩලය මේක අරගෙන ක්‍රියාත්මක කරන්න. මෙතන ඉන්න අගමැතිතුමා ඇතුලු කට්ටිය මට මතකයි සුනාමිය වෙලාවේ දවස් තුන හතරකින් රටට සහන දුන්න අය. ඒ නිසා මම කියන්නේ මේක කැබිනට් මණ්ඩලයෙන් භාර ගන්න මේ සභාවට ගේන්න. අපි ඔබ තුමියට උදව් කරන්නම්. අඩු ගානේ කැබිනට් මණ්ඩලය මෙතෙන්ට වග කියනවානේ. අපිට ඕන මේක ජාතික ප්‍රශ්නයක් නිසා විසදගන්න. දේශපාලනය කරන්න නෙවෙයි.” යනුවෙනි.

 

Leave A Reply

Your email address will not be published.

one × 3 =