ට්‍රැජඩියකදී පුද්ගලිකත්වය

මේ වෙනකොට කොවිඩ් වසංගත තත්වය උග්‍ර අතට හැරෙනවාත් සමගම එයින් පීඩාවට ලක්වුණු රෝගීන්ගේ පින්තූර සහ වීඩියෝ මතුවෙන්නට පටන් අරන් තියනවා. ඒවායෙන් පෙන්නනවා ඒ මිනිසුන් අසරණ වෙලා තියෙන ආකාරය, පණ අදින ආකාරය, සමහරුන්ගේ වියෝවීම් ඉදිරියේ පවුලේ අය හඬන වැලපෙන ආකාරය සහ එවැනි අසරණ අවස්ථාවකදී ඔවුන්ට පාලනය කළ නොහැකි ඔවුන්ගේ අතිශය පුද්ගලික විස්තර. මේ සියලුම විස්තර කිසිදු සදාචාරමය ආචාරධාර්මික හෝ මාධ්‍ය වගකීමකින් තොරව සමාජයට මුදාහැරලා තියෙනවා.
සාමාන්‍ය මාධ්‍ය සදාචාරය නම්, විශේෂ නීතිමය අවසරයක් ආදිය නොවන්නට, කෙනෙකුගේ පුද්ගලික අවස්ථාවක පින්තූර වීඩියෝ වගේ දේවල් ලබා ගන්නවා නම් ඒ කෙනාගේ අවසරය ඒ සඳහා ලබා ගත යුතුයි නැත්නම් අනන්‍යතාවය නොපෙනෙන ලෙස පෙන්විය යුතුයි කියන එකයි. අද අප යමින් පවතින්නේ තොරතුරු පාලනය කළ නොහැකි අතිශය සංකීර්ණ සමාජයකට බව ඇත්ත. නමුත් අපට යම් පණිවිඩයක් තොරතුරක් ලැබුණු පසු එය බෙදා ගන්නා ආකාරය පිළිබඳව ස්වයං වගකීමක් නැතැයි යන්න ඉන් අදහස් කරන්නේ නෑ. කෙසේ හෝ සමහර සංකීර්ණ අවස්ථාවල අප මානුෂික විය යුත්තේ හෝ සදාචාරාත්මක විය යුත්තේ කෙසේද කියලා කෙනෙකුට අපැහැදිලි විය හැකියි මෙන්ම එය විවාදාත්මක වෙන්න පුළුවන්. සමහර සමාජයන් (Communities) එවැනි හරයන් පිළිබඳ දැනුවත්ව අභ්‍යාස කරන අතර තවත් සමාජයන්වල ඒ පිළිබඳ ඇත්තේ අඩු අවබෝධයක්.
පුද්ගලිකත්වය ගැන කතා කරනකොට අප මේ කතාකර කිසිම දේකට පුද්ගලිකත්වයක් අවශ්‍ය නැතැයි කියන හෝ ‘පුද්ගලිකත්වය’ අභියෝගයට ලක්කරන යම් අනාගත සමාජයක් පිළිබඳව දාර්ශනික දේශපාලනික කතිකාවන් ද තියෙනවා. ඒ ගැන මම ද උනන්දුයි, නමුත් තවමත් ඊට සහාය දක්වන කිසිදු කෙනෙක් තමන්ගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නැති කරගෙන ජීවත් වෙන බවක් පෙනෙන්නට නැහැ. කෙතරම් විවාදාත්මක වුණත් අපි ජීවත් වෙන මේ අතිශය සංකීර්ණ විශාල සමාජයේ අනාරක්ෂිතභාවය තුල සමකාලීන මානුෂික අයිතීන් සහ මානුෂ්‍ය ගෞරවය සුරක්ෂිත කරමින් වඩා මානුෂික වීමට පුද්ගලිකත්වයට ගරු කිරීමේ අභ්‍යාසය දැනට අපට අභ්‍යාස කරන්න සිද්ධ වෙනවා. එය ඊට එරෙහි කතිකාවක් නැත්නම් එය සංවර්ධනය කිරීමට බාධාවක් කරගත යුතු නැහැ.
කිසියම් පුද්ගලයෙක් ලෙඩක් දුකක් හදිසි අනතුරක් පුද්ගලික ආරවුලක් මරණයක් මේ ආදී ඕනෑම කරදරයකට වැටුණු පසු අවට ඉන්න අයට ඇති එක ප්‍රධානම වගකීමක් නම් එම කරදරයට පත්වෙච්ච අයව පුළුවන් තරම් පහසු කිරීමයි. දෙදෙනෙක් ගහගෙන තුවාල කරගෙන ඇත්නම් හෝ වාහනයකට කෙනෙක් යටවෙලා ඇත්නම් එතන හරි වැරදිකරුවන් කවුද කියන එක විනිශ්චය නොකර දෙපාර්ශ්වයම පහසු කිරීමයි. ඔවුන් සාමාන්‍ය තත්වයේදී දර්ශනය වන්නට අකමැති ඇදුම් ගැලවුනු වැනි අවස්ථා, දුරකතන, අත්බෑග්, පර්ස් ආදිය තුල ඇති විස්තර ඇත්නම් ඒවා සහ ඡායාරූප වීඩියෝ ගත කිරීම් වැනි දේ ඔවුන්ව අපහසුතාවයට පත් කරන බව තේරුම් ගැනීමට අපහසු නැහැ.

සාමාන්‍යයෙන් බටහිර රටවල් වල තියනවා යම් සම්ප්‍රදායන්,ට්‍රැජඩි අවස්ථාවක සමහරු ඉල්ලීමක් විදිහටද කරනවා, ඒ තමයි මේ ට්‍රැජඩි අවස්ථාවේ කරුණාකරලා අපට අපේ පුද්ගලිකත්වය ලබා දෙන්න හෝ ඊට ගරු කරන්න කියන එක.(We ask that you respect our privacy during this difficult time, පසුගිය දවසක බිල් ගේට්ස් යුවල දික්කසාද වනකොට මෙවන්නක් නිවේදනය කළා ඔබට මතක ඇති )එවැනි සමහර අවස්ථාවන්වල ඔවුන් මළ ගෙදර පවා පවත්වන්නේ තෝරාගත් සීමිත පිරිසකගෙන් පමණයි. එවිට අනිත් අය තමන්ට ආරාධනා කළේ නෑ කියලා ඔවුන්ට පීඩනයක් දෙන්නේ නැතිව ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වගේ දකුණු ආසියාතික සමාජයන් වල කෙනෙකුට වඩාම පුද්ගලිකත්වය දෙන්නෙ නැත්තේ එවැනි අවස්ථාවලයි.

මම සාමාන්‍යයෙන් මම අවට කෙනෙක් කරදරයකට වැටුනු අවස්ථාවක දී කරන්නේ අවශ්‍ය කරදරයට වැටිච්ච පාර්ශවයට මම උදව් කරන්න පුළුවන් මට්ටමක නම් ඉන්නෙ මම ඔවුන්ගෙන් අහනවා මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔවුන් අපහසුවට පත් නොවන්න මට කරන්න පුළුවන් දෙයක් ඇතිද කියලා බලනවා. ඒක පිගන් හේදීමක්, කඩේ යෑමක්, උපදෙසක්, මුදල් අනුග්‍රහයක් හෝ තනි රැකීමක් ආදී මගෙන් අවශ්‍ය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. එහෙම මම උදව් කරන්නට ගියත් ඒ කෙනාගේ සියලු පුද්ගලික විස්තර තොරතුරු අනාගත සැලසුම් මට කිව යුතුයි කියන තැන මම ඉන්නවා නම් ඒක වැරදියි. ඒ වගේම සමහර විට එය පාර්ශව දෙකක් අතර ගැටුම් ඇතිවුන ප්‍රශ්නයක් නම් මම එහෙන් මෙහෙන් එක පාර්ශවයකින් අහගත්ත තොරතුරු වලින් ඔවුන් විනිශ්චය කිරමින් සමාජයට වැරදි ප්‍රවෘත්ති සැපයීමත් වැරදියි . ඊළඟට මට එහි හරි වැරදි හොයා ගැනීමට නඩුවකට වගේ ඔවුන් දෙපාර්ශ්වයම මට තොරතුරු සියල්ල ලබාදිය යුතුයි කියලා මම හිතනවා නම් ඒකත් වැරදියි. මම කවුද ඔවුන්ගේ ප්‍රශ්නය විනිශ්චයකර තීරණ සමාජයට ලබා දෙන්න? විශේෂයෙන් මම නොදන්නා කතාවක් තියෙන්න පුළුවන් අවස්ථාවල. මම මොනවද ඔවුන්ගේ ඇතුල් තත්ත්වය ගැන දන්නේ සහ අනික මට කොයි තරම් ඒ ගැන හරියටම දැනගන්න පුලුවන්ද? මට කළ හැක්කේ ඒ සියලූ තත්වයන් තේරුම් අරගෙන ඔවුන්ගේ ඉල්ලීමකට හෝ මට පෙනෙන ආකාරයෙන් උදව් කර ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීමයි. නමුත් ඒ ගැන මට කතා කරන්න සිදු වෙනවා නම් හෝ තොරතුරු ප්‍රවෘත්ති ලබා දෙනවා නම් මම හරියටම දන්නා තොරතුරු වලින් පමණක් ‘සද්භාවයකින්’ මම එය කළ යුතුයි.

සාමාන්‍යයෙන් අපේ සමාජයේ සිදු වෙන දෙයක් නම් උදව් හරහා අපි කෙනෙකුගේ කරදරයකට කොහෙන්හරි කොක්ක ගහලා ඉන්පසු හරියට දන්නැති තොරතුරු එහෙන් මෙහෙන් අහුලගෙන පුළුවන්නම් පින්තූර සහ වීඩියෝ ද අරගෙන ඒවා සමාජයට බෙදා හැරලා ඔවුන් වටා විශාල පීඩනයක් අසහනයක් නිර්මාණය කිරීමයි. උදාහරණයකට,කොරොනා වැනි දෙයකින් පවුලේ ළමයෙකු මැරුණා නම් මේක දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා කියලා සමාජගත කරනවා. අපි හරියට නොදන්නා කතාවක් තුළ ඒක එහෙම්මම නොවෙන්නත් පුළුවන් , එහෙම වුණත් ඔවුන් හිතා මතා ඒක නොකරන්නත් පුළුවන්. නමුත් ඔබ එය හරියටම නොදැන පුවත එසේ සමාජ ගත කළහොත් එයින් ඔවුන් දිහා මිනීමරුවන් ලෙස බලන්නට සමාජය පොළඹවනවා.අවසානයේ ඒ කරදරයෙන් පස්සේ ඔවුන්ට නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි තරම් පීඩාකාරී පරිසරයක් ඒකෙන් නිර්මාණය කරනවා.

මේ නිසා කිසියම් ට්‍රැජඩි අවස්ථාවකට පත් වූ පුද්ගලයෙකුට හෝ පිරිසකට අප උදව් කලත් නොකලත් ඔවුන්ගේ පුද්ගලික විස්තර තොරතුරු පින්තූර වීඩියෝ ආදිය ඔවුන්ට හිංසාවක් වන ආකාරයෙන් සමාජගත කිරීමෙන් වැළකී සිටීමට තරම් අප මානුෂික විය යුතුයි. ඒ වගේම හැකි හැම විටම එවැනි ක්‍රියාකාරකම් වලට එරෙහිව විවේචනාත්මක වු දැනුවත් වූ පරිසරයක් පවත්වා ගත යුතුයි.

මේ කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාව රටක් ප්‍රජාවක් හැටියට ඉතාම දරුණු තත්ත්වයකට මුහුණ පාල තිබෙන අතර මෙවැනි අවස්ථාවක වෙන කවරදාටත් වඩා වැඩියෙන අනිකාගේ වේදනාව සහ අමාරු අවස්ථාවට ඔබගේ ගරුකිරිම සහ මානුෂික ප්‍රතිචාරය අවශ්‍යයි. සමහරවිට ඔක්සිජන් ලඟට වඩාම අවශ්‍ය දේ එයයි!
– ධනංජය කරුණාරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

12 − one =