බැඳීම් වේදනාකාරී නොවෙන්න නම් තෝරා ගැනීම් සුන්දර කර ගන්න

මෑත කාලයේ බොහොමයක් සමාජ මාධ්‍යවල තරුණ තරුණියන්ගේ අදහස් අතර අඩු වයසින් විවාහ වීම, සබඳතා ඇති කර ගැනීම ජීවිතේ ඉදිරියට යන්න, තමන්ගෙ හීනවලට යන්න බාධාවක් විදියට සලකන අදහස් බොහොමයක් දකින්න ලැබෙනවා. ඒ අදහස්වලට අනුව විවාහය කියන්නෙ හිරකූඩුවකට යනවා වගේ හැඟීමක් තමයි, ඔවුන් තුළ තියෙන්නෙ.

බොහොමයක් තරුණ වියේ සිටින ගැහැනු ළමයින්ගේ ඔළුවේ තියෙන්නෙම තනිකඩ බව නිදහසක් සහ විවාහය කියන්නේ නිදහසට වැට බඳින්නක් කියලා. ඉතින් ඒක තමන්ම තමන්ගෙ ඔළුවට දාලා තමන්ගෙ පෙම්වතාගේ නැත්තම් සැමියාගේ ඔළුවටත් දාලා විඳවනවා. නමුත්, ආදරය, විවාහය කියන්නෙ තමන්ගෙ ටාගට්වලට යන්න, තමන්ගෙ හීන ජය ගන්න, ජීවිතේ විඳින්න බාධකයක් නෙවෙයි. අපි හරිම කෙනා අපේ ජීවිතේට තෝරා ගත්තාම තනිකඩ කාලයේ ගෙවනවාටත් වඩා නිදහසක්, අසීමිත සතුටක්, සැනසීමක්, තමන්ගෙ හීනවලට යන්න ලොකු ශක්තියක් වෙන්න ඒ සහකාරියට හෝ සහකරුවාට පුළුවන්.

බහුතරයක් ජීවිතේට වැරැදි සහායකයෙක්, සහායිකාවක් තෝරාගෙන ඒ ඒ විඳවීම් නිසා ම බැඳීම් කියන්නෙ නිදහසට වැටබඳින්නක් කියලා හිතනවා. තවත් සමහරු පෙම්වතෙක්, පෙම්වතියක් ඉඳලත් නිදහස සීමා වෙයි කියලා හිතලා විවාහ නොවී ඉන්නවා.

අපි මෙහෙම හිතමුකෝ… සමහරු තමන්ගෙ නිදහස නැති වෙයි කියලා හිතලා සම්බන්ධයක් පටන් නොගෙනම ඉන්නවා. ඒත් තනිකඩ ජීවිතේ සතුටක්, සැනසීමක් කියලා පෙන්නුවත් තමන්ගෙ යහළුවෙක්, යෙහෙළියක් නැත්නම් හිතවතෙක්, හිතවතියක් සහකරුවෙක්, සහකාරියක් එක්ක ජීවිතේ විඳින හැටි දැක්කම ඇත්තටම යටි හිතින් මටත් ඒ ජීවිතේ තිබුණා නම් කියලා හිතනවා. ඒත්, එක්තරා අවස්ථාවක වැරැදි මනුස්සයෙක් තෝරා ගැනීම නිසා බැඳීම් කියන්නෙ දුකක්, වේදනාවක් නැත්තම් හිරකූඩුවක් කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම තනිකඩ ජීවිතේ විඳින මිනිස්සුත් නැතුවාම නෙවෙයි. ඒත්, බහුතරයක් ජීවිතේට වැරැදි සහායකයෙක්, සහායිකාවක් තෝරාගෙන ඒ ඒ විඳවීම් නිසා ම බැඳීම් කියන්නෙ නිදහසට වැටබඳින්නක් කියලා හිතනවා. තවත් සමහරු පෙම්වතෙක්, පෙම්වතියක් ඉඳලත් නිදහස සීමා වෙයි කියලා හිතලා විවාහ නොවී ඉන්නවා.

කෙනකුට නිදහස් මනුස්සයෙක් වෙන්න නම්, විවාහය ඒකට බාධාවක් නෙවෙයි. හැබැයි ඒකට බලාපොරොත්තු, අරමුණු යහපත් විය යුතුයි. ඉන් සමාජයට හෝ තමන්ට අවැඩක් නොවිය යුතුයි. ඒ වගේම තමන්ටත් තමන්ගේ ආදරණීයයන්ටත් අවැඩක් වන, සමාජය තුළ දෝෂාරෝපණයට ලක්වන යම් දේකට තම ආදරණීයයා විරුද්ධ වනවා නම්, ඉන් සිදු විය හැකි හානිය පිළිබඳව තමන්ට අවබෝධ කරන්නට ඉදිරිපත් වනවා නම් එය තමන්ගේ නිදහස සීමා වීමක් යැයි නොසිතා ඒ පිළිබඳව තවත් වරක් සිතන්නට කටයුතු කළ යුතුයි. මොක ද? අපි ජීවිතේ ගන්න හැම තීරණයක්ම හැම මොහොතකම නිවැරැදි නොවිය හැකි නිසා.

ඇතැම් විට ඔබ තනිකඩ ජීවිතේ නිදහසක් යැයි සිතා අධ්‍යාපනය තුළින් නැතහොත්, ඔබගේ අනාගත හීන වෙනුවෙන් ඉදිරියට ගමන් කරන මාවතේ ඔබට දහසක් ප්‍රශ්න බාධක ඇති විය හැකියි. ඔබට තනිවම විසඳා ගත නොහැකි අසරණකම්, කඩාවැටීම් ඔබට හමු විය හැකියි. ඔබ ඒවා විසඳා ගනිමින් කිසිවකුත් නොසිතන ජයග්‍රහණයන් අත් කරගෙනත් ඇති. නමුත් ඔබට ආදරණීය සමීපතමයකු හමු වී තිබුණා නම්, ඔබ අපහසුවෙන්, වේදනාවෙන්, පීඩාකාරී බාධක මැදින් ආපු ගමන ඔබට එතරම් වේදනාකාරී සහ පීඩාකාරී නොවන්නට පුළුවන්.

ඔබ ඔබේ ජීවිතයේ නිදහස නැතහොත්, ඔබේ සතුට බැඳීමක් නැත්නම් විවාහයක් නිසා අහිමි වේ යැයි සිතනවා නම්, ඔබ බැඳීම් ඇති කර ගන්නේම බැඳීම් දුකක්, කට්ටක් කියලා හිතාගෙන. ඉතින් ඔබ හිතන විදිය වෙනස් කිරීමෙනුත් ඔබේ ජීවිතයට නිවැරැදිම සහායකයා තෝරා ගැනීමෙනුත් ඔබට බැඳීම් කියන්නෙ තව දුරටත් නිදහස වට කරන වැටක් ලෙස ඔබ නොසිතනු ඇති. ඔබ කෙදිනක හෝ විවාහ වන්නේ නම්, නමුත් ජීවිතය විඳින්නට අවැසි කාලේ විඳින්නටයි සිතා තනිකඩව සිටිනවා නම් ඔබ සදහටම තනිකඩ වීමයි වටින්නේ. මොක ද? ඔබ දවසක බැඳීමක් ඇති කරගන්නේම “ඔන්න මගේ නිදහස ඉවරයි. අද ඉදලා මම හිරකාරයෙක්” කියන සිතුවිල්ල ඔබේ ඔළුවට දාගෙන. ඉතින් ඔබේම සිතුවිලිවල හිරකාරයෙක් නොවී හැමෝම කරන්නන් වාලේ ඔබ බලාපොරොත්තු වෙන කාලේ වෙනකම් නිදහසේ ඉඳලා අනික් අය සතුටු කරවන්න එහෙමත් නැත්නම් නිදහසට තිත තියලා හිරකාරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් විවාහ නොවී තව පොඩ්ඩක් හිතලා බලන්න.

ඔබ ඔබේ ජීවිතයට තෝරා ගන්නා නිවැරැදි, සුන්දර බැඳීම් හමුවේ සදාකල්හිම ඔබට සතුටින් නිදහසේ ජීවිතය විඳින්නට ලැබෙනු ඇත.

එල්. බී. එස්. දිල්හාරා
කැලණිය විශ්වවිද්‍යාලය
Leave A Reply

Your email address will not be published.

1 × three =