රනිල් අගමැති කීමෙන් මෛත්‍රී-සජිත් හවුල බිඳවැටේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභයට සහාය දෙන බව ප්‍රකාශ කළේ ය. ඒ තීරණය ගන්න ටික කාලයක් ගත වුණේ ය. එයට ප්‍රධාන හේතු කීපයක්ම බලපෑවේය. එදා 2015 මෛත්‍රී කියන්නේ, ශ්‍රීලනිපයේ මහා ලේකම්ය. ඔහු ඇතුළුව දුමින්ද දිසානායකලා පක්ෂයෙන් එළියට ආවේ රාජපක්ෂවරුන්ගේ දූෂිත පවුල් පාලනයට විරුද්ධවය. මෛත්‍රීපාල දිනුවට පස්සේ තව ලොකු කණ්ඩායමක් රාජපක්ෂවරුන්ට එරෙහිව මෛත්‍රීපාලත් එක්ක අත්වැල් බැඳ ගත්හ. අවසානයේ පක්ෂයේ බලය ද අල්ලා ගත්තේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල පක්ෂයේ සභාපති බවට ද පත් වුණේය. රාජපක්ෂ ළඟින්ම හිටපු අය පවා මේ කණ්ඩායමට එකතු වුණේය. ටික කාලයකින්ම ශ්‍රීලනිපය දෙකට බෙදුණේය. ආණ්ඩුවේ අසාර්ථකත්වයත් එක්ක දවසින් දවස රාජපක්ෂ පිලට වාසි වෙන්නට පටන් ගත්තේ ය. අන්තිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති අලුත් පක්ෂයක් හැදුවේ ය. එතැන් සිට පක්ෂ දෙකක් ලෙස වැඩ කළේ ය.

අලුත් පක්ෂය රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂයයි. අයියලා, මල්ලිලා, තාත්තලා, පුතාලා එහි ප්‍රධානීහුය. නායකයා වූයේ ද මහින්ද රාජපක්ෂය. ජනාධිපති අපේක්ෂකයා වූයේ ගෝඨාභය රාජපක්ෂ ය. පක්ෂය හැදුවේ බැසිල් රාජපක්ෂ ය. ඒ නිසාම එහි පූර්ණ බලය ඇත්තේ ඔහුට ය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ශ්‍රීලනිපය ටිකෙන් ටික දියවෙමින් ගියේ ය. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වය දැරූ පක්ෂය මෛත්‍රී අතට ගිය පසු දවසින් දවස වේගයෙන් දිය වුණේ ය. අද වන විට බණ්ඩාරනායක පවුලේ පක්ෂය, රාජපක්ෂ පවුලේ පක්ෂය දක්වා රූපාන්තරණය වී ඇත. එස්. එල්. පී. පී. කියන්නේම ‘ශ්‍රී ලංකා පවුලේ පක්ෂය’ යන්න ය. ඒ තැනට ම අද එය ඌනනය වී අවසන් ය.

ශ්‍රීලනිපය දියවෙලා මේ තරම් බංකොළොත් තත්ත්වයකට වැටෙන්න සැලැස්සුවේ මෛත්‍රීපාලය. ජනාධිපති වෙච්ච ගමන් පක්ෂය බදාගෙන එහි සභාපතිකම ගැනීමෙන්  එය වේගවත් විය. එහෙත්, පක්ෂය රැකගැනීම වෙනුවෙන් කරපු දෙයක් නැත. පක්ෂයේ විනය උල්ලංඝනය කළ කිසිවකුට දඬුවම් දුන්නේ නැත. ඒ නිසාම දවසින් දවස පක්ෂයට එරෙහිව පක්ෂය අභ්‍යන්තරයෙන්ම ප්‍රහාර එල්ල වුණේය. අන්තිමට ජනාධිපතිවරණයේ දී කරන්නේ මොනවා ද යන්න තීරණය කර ගන්න බැරි තරමට ම අතරමං වුණේය; අනාථ වුණේ ය; අසරණ වුණේ ය. වෙනම ඉල්ලන්න ඕනෑ යැයි අදහසක් ඇති විය. එහෙත්, එහෙම ඉල්ලුවත් ගන්න පුළුවන් වෙන්නේ පුංචි ඡන්ද ප්‍රමාණයක් ය. ලක්ෂ හතරක් පහක් වගේ ප්‍රමාණයක් ය. ඒකෙන් පස්සේ තව තවත් පක්ෂය කඩාවැටෙයි කියන බය ඇති වුණේය. අනෙක් පැත්තට එහෙම වුණාම ඊළඟ මහා මැතිවරණයේ දී ඔය දැන් ඉන්න මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු එන්න ක්‍රමයක් නැති වන්නේය. ඒ නිසා ඒ තීරණයට පක්ෂ අය වගේම විරුද්ධ අයත් සිටියේ ය. ඒක තීරණය වුණේ එක එක්කෙනා දිස්ත්‍රික්කවල මුහුණ දෙන තත්ත්වය අනුව ය. කොහොම වුණත්, ඒ තීරණය ගත්තා නම් එක් කණ්ඩායමක් රාජපක්ෂලා එක්ක එකතු වන්නේ ය. නිමල් සිරිපාල වගේ අය හිටියේ යන්න බලාගෙනය.

වෙනම ඉල්ලන්න ඕනෑ කියන තීරණයට මන්ත්‍රීවරු 20න් 12ක්ම කැමැත්තෙන් සිටියහ. වෙල්ගම මුල ඉඳලා තදින්ම හිටපු කෙනා ය. අන්තිම මොහොතේ බැරිම තැන ස්වාධීනව හෝ ඉල්ලන්න ඇප බැන්දේ ඒ නිසා ය. ඒත් ඒකට කවුරුවත් සහාය දැක්වූයේ නැත. මෛත්‍රී කිව්වෙත්, තමාට ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බැරි බව ය. දයාසිරි ජයසේකර අපේක්ෂකයා විදිහට ඉල්ලන්න බලාගෙන සිටියේය. ඒ පක්ෂය ගැන හිතා නොව ඒකෙන් තමන්ට ආයෙත් දිස්ත්‍රික්කයෙන් එන්න පාරක් හදාගන්නටය. කොහොම වුණත්, ‘පොහොට්ටුව ලකුණ වෙනස් කරන්න ඕනෑ’ යන කොන්දේසිය දැම්මේ නොයා ඉන්නට ය. පසුගිය
දවස්වල දිගින් දිගටම කිව්වේ එකතු වෙන්න පුළුවන් ලකුණ වෙනස් කරන්න නම්‍යශීලී විය යුතු බවය. රාජපක්ෂලා මේ ගැන හිතලම ඉක්මනින්ම ‘පොහොට්ටුව’ ලකුණින්ම ඇප බැන්දේ ය. ඒකත් එක්කම වෙනම ඉල්ලන්න යන කතාව තදින්ම පැතිරුණේ ය. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූහ. ඒත් තීරණයක් ගන්න බැරි වුණේ ය. අන්තිමේ දී මෛත්‍රීපාලට තනියෙන් තීරණයක් ගන්නා ලෙස පැවරුවේ ය. ඒත් තීරණයක් ගන්න බැරිව දවස් ගණනාවක් ගත කළේය.

පක්ෂය ඇතුළේ තවත් කට්ටියක් කිව්වේ ඉල්ලන්නෙත් නැතිව කාටවත් සහාය දෙන්නෙත් නැතිව ඉඳිමු කියාය. ඇඟ බේරා ගන්න තියෙන හොඳම ක්‍රමය ඒක කියාය. ඒත් එහෙම තීරණය කළත් කණ්ඩායමක් එහා පැත්තට පනින්න බලාගෙන සිටියේය. අනෙක් පැත්තට පාක්ෂිකයෝ කාටහරි ඡන්දය දෙනවාය. ඒ තීරණය ගත්තත්, කණ්ඩායමක් කැපිල යන එක නවත්වා ගන්න බැරි බව දැනුණේය. ඉන්න ටිකත් ගියාම ඉතිරි වෙන්නේ තුන් හතර දෙනෙක් බව පෙනුණේය. ඊට පස්සේ සාකච්ඡා වුණේ රාජපක්ෂලාගේ ගොඩට එකතු වීමටය. එහෙම වුණොත්, ඉතිරි වෙලා ඉන්න ටික දෙකට බෙදෙන එක එළියට පෙනෙන එක වළක්වා ගත හැකි ය. දැන් ඒ සිද්ධ වෙලා තියෙන්නේ ඒකය. කෑලි කෑලිවලට කැඩුණු ශ්‍රීලනිපය අන්තිම ටිකත් කැඩිලා වෙන් වෙලා බව පෙනෙන එක වළක්වා ගන්නට අකැමැත්තෙන් හෝ රාජපක්ෂලාට සහාය දෙන්නට යාමය. කලින් කියපු ලකුණේ ප්‍රශ්නයක් දැන් නැත. බොරුවට ප්‍රතිපත්ති කීපයක් දැම්මේය. ඒ රටට පේන කැත වහගන්නටය. මෛත්‍රීපාල ස්වාධීනව ඉන්නවා යැයි කීවේය. මේ පට්ටපල් බොරුවක් ය.
මහා ලොකුවට කයිවාරු ගහපු දයාසිරිලා, අන්තිමේ දී බලු වෙලා රාජපක්‍ෂ ඔඩොක්කුවේ ලැග්ගෝය. අනුරාධපුර රැස්වීමේ දී දුමින්ද එය ආරම්භ කළේය. දුමින්ද වේදිකාවේ ඉන්දැද්දී මහින්ද කිව්වේ, පහුගිය කාලේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කරලා දැම්මා කියාය. ඒ කිව්වේ, දුමින්දට ය. ඔහු හිටපු කෘෂිකර්ම ඇමතිවරයාය. ඌරගෙ මාළු ඌරාගේ ඇඟේ තියලා ම කැපුවේය. ඇහුණෙ නැහැ වගේ දුමින්ද හිටියේ අන්තිම අසරණ වෙලාය. ඉදිරියේ දීත් ඔය ටික ඔය විදියට ම වෙන්නේ ය. රාජපක්ෂලා පහුගිය ආණ්ඩුවේ වැරදිවලට බනින්න, බනින්න ඒ ටික වදින්නේ ඇමතිකම් දරපු ශ්‍රීලනිපයේ කට්ටියටමය. ඒ කියන්නේ, එක ම වේදිකාවේ ඉඳගෙන තම තමන්ට ම බැණ ගැනීමය.

මෛත්‍රීපාලගේ ස්වාධීන කතාව කට්ට කෛරාටික කපටි වැඩක්ය. එළිපිට ම මහින්දව අගමැති කළේ මෛත්‍රීපාල ය. තමන්ව පොළොවේ අඩි හයක් යටට යවනවා කියපු අයට අද පක්ෂයක් විදියට සහාය දෙන්නත් තීරණය කරලා අවසන් ය. ඒ තීරණය අන්තිමට පැවරුණේ මෛත්‍රීපාලටය. මුළු පක්ෂයම විනාශ මුඛයට ඈඳා දාලා තමන් ස්වාධීන යැයි කියලා ඇඟ බේරා ගන්න උත්සාහ කරන්නේ ය. ඒ වෙන කරන්න දෙයක් නැතිව තමන්ගේ විශ්‍රාම වැටුප හා වරප්‍රසාද ගැන හිතමින්ය. දැන් ඉතින්, ඔක්කොම කෙරුවාවල් අවසන් ය. ඇත්තටම මෛත්‍රීපාල හිතාගෙන හිටියේ වෙන එකක්ය. අනෙක් අය හිතාගෙන හිටියෙත් වෙන එකක්ය. එනම්, රනිල් එක්ක තිබුණු තරහ නිසා යූඑන්පීයේ වෙනසක් බලාගෙන කල් ගෙව්වේය. මෛත්‍රීපාල ප්‍රසිද්ධියේම සජිත්ගේ ගුණ වර්ණනා කළෙත් ඒකට ය. පක්ෂයේ තීන්දුව පස්සට දැම්මේ යූ.එන්.පී.යේ තීන්දුව එන තෙක් ය. යූඑන්පීය සජිත්ව නම් කළේ ය. ඒත් එක්කම පක්ෂ සමුළුවේ යෝජනා හයක් සම්මත කළේය. එයට අනුව රනිල් දිගටම නායකයාය. අගමැති වෙන්නෙත් රනිල් ය. මෛත්‍රී හොඳටම අනාථ වුණේ එතැනින්ය. බලාගෙන හිටියේ සජිත් ජනාධිපති කරලා, මෛත්‍රී අගමැති වෙලා එකට ගමනක් යන්නටය. මේකට උදවු කළ මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ද විය. එහෙම වුණා නම්, සජිත් – මෛත්‍රී හවුල් ආණ්ඩුවකට පාර කැපෙන්නේය. සැලැස්ම තිබුණේ එතැනටය. රනිල් මේ ගැන දැනගෙන සිටියේය. ඒ නිසාම හරියටම ඕනෑ තැනට කටුව ගැහුවේ ය. අද ශ්‍රීලනිපයේ අය කියන්නේ වෙන කතාවක් ය. යූඑන්පීය උග්‍ර ධනවාදී පක්ෂයක් නිසා එය පරාද කරන්න ඕනෑ ය යන කතාවය. මෙච්චර කාලයක් එකට ආණ්ඩු කළෙත් යූඑන්පීය එක්කය. තනියෙන් ගමනක් නැති නිසා බලාගෙන හිටියේ හවුල් ආණ්ඩුවක් හදන්නටය. බැරිවුණ තැන නරියාත් මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් දැන් කියන්නේය.

දයාසිරි දැන් කියන්නේ තවත් අමුතු කතාවක් ය. ඊ ළඟ ඡන්දයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ලෙස පුටුව ලකුණින් බවය. (වැරදිලා හරි) ගෝඨා ආවොත් දයාසිරිලා ඔය හිතාගෙන ඉන්න පුටුවේ කෑලිත් නැති වන්නේය. සමහර වෙලාවට දයාසිරිල හොයා ගන්නත් නැති වන්නේය. ඒත් එක්කම දයාසිරි කියන්නේ මෛත්‍රීපාලට අගමැතිකම දෙනවා කිව්වා කියලාය. ඔය ගොන් කතාව හිතේ තියා ගත්තාට කමක් නැත. ඒත් කියන්න ගියාම හෑල්ලු වන්නේ කියන එකාමය. දැන් ගෝඨාභයලා රට වටේ කිය කියා යන්නේ, ගෝඨා ජනාධිපති, මහින්ද අගමැති කියා ය. යන යන හැම තැනකටම මොන්ටිසෝරි යන ළමයෙක් වගේ මහින්ද ගෝඨාව අතින් අල්ලාගෙන යන්නේ ය. ගෝඨාභයට ගම්වල මිනිසුන්ගේ කැමැත්තක් නැත. මහින්දට තියෙන කැමැත්ත පාවිච්චි කරලා ගෝඨාව විකුණා ගන්න එක ඒ ගොල්ලන්ගේ ගේම් එකය. ඒ අස්සේ මෛත්‍රීපාල කෙනෙක්ව පෙන්නලා ගන්න පුළුවන් දෙයක් නැත. මොකක් හරි තියෙනවා නම් ඒකත් නැති කර ගන්න එක නම් කර ගත හැකිය. ඔය වගේ දේවල් කියන්නේ අනාථ වෙලා කරකියා ගන්න දෙයක් නැති වූ තැන ය. තමන්ගේ පාක්ෂිකයෝ ගොනාට අන්දලා වැඬේ කර ගන්නටය.

කොහොම වුණත්, ශ්‍රීලනිපයේ නායකත්වය ගත්ත මේ තීරණයට බිම් මට්ටමේ සාමාජිකයෝ කැමති නැත. පසුගිය දවස්වල දයාසිරිගේ කටින්ම එය පැන්නේය. පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දිගින් දිගටම කිව්වේ වෙනම ඉල්ලමු කියාය. ඇත්තටම පාක්ෂිකයෝ යූඑන්පීයට තදින්ම විරුද්ධය. රාජපක්ෂ කණ්ඩයමටත් ඒ හා සමානවම විරුද්ධය. පසුගිය කාලයේ ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයාට කරපු කෙනහිලිකම්, නොසලකා හැරීම් ඒ තරම් ම විශාලය. කරපු තරමක් හොර තක්කඩිකම් කළේ රාජපක්ෂ කණ්ඩායමේ අයයි. ඒ චෝදනාව දැන් තමන්ටත් ගා ගන්න වෙනවාය. ඒ නිසාම ඔවුන් රාජපක්ෂ කණ්ඩායමට තදින්ම විරුද්ධය. පක්ෂය ගත්ත මේ තීරණයත් එක්ක පාක්ෂිකයොත් දෙකට තුනට බෙදෙන්නේය. උඩින් රෝහිත බෝගොල්ලාගමලා, අතාවුද සෙනෙවිරත්නලා යූඑන්පීයට ගියා වාගේ පිරිසක් යූඑන්පීයට යන්නේය. තව පිරිසක් රාජපක්ෂලාට එකතු වන්නේය. තවත් පිරිසක් යූඑන්පීයටත් විරුද්ධව, රාජපක්ෂලාටත් විරුද්ධව ජාතික ජන බලවේගයට එකතු වන්නේය. දැනටමත් ඒ දේ රට පුරා සිදු වෙමින් පවතී.

මෙහෙම වෙන බව දන්නා නිසා ශ්‍රීලනිපයේ ඉහළ ඉන්න කිහිප දෙනෙක් හිටියේ වෙනත් ස්ථාවරයකය. එනම්, කොහොම හරි ගෝඨාව පරද්දන්න ඕනෑ කියන අදහසේ ය. වැරදිලා හරි ගෝඨා දිනුවොත්, ශ්‍රීලනිපයක් ඉතුරු වන්නේ නැත. එය මුළුමනින් ම විනාශ වී යන්නේය. දැනට ඉතුරු වෙලා තියෙන බෝඞ් ලෑල්ලත් ගැලවිලා යන්නේය. මේක දැනගෙන ඉන්න අය දිගටම උත්සාහ කරන්නේ ගෝඨා පරද්දන්න පුළුවන් දේවල් උපරිමයෙන් කිරීමය. මතුපිටින් බොරුවට ගෝඨාට සහාය දෙනවා වාගේ පෙන්නලා ජාම බේරාගෙන ඔහුව පැරදවීමය. ඇත්තට ම අවංකව ශ්‍රී ලනිපයට ආදරය කරන අය කරන්නේ ඒකය. එහෙම නැති වුණොත්, ආයේ සදහටම ශ්‍රීලනිපය කියලා එකක් ඉතුරු වන්නේ නැත. එතැනින් එහාට පවතින්නේ රාජපක්ෂවරුන්ගේ පක්ෂයයි. ඒ නිසා මේ ජාතියේ වැඩකුත් ඇතුළෙන්ම ක්‍රියාත්මක වන බවත් පැහැදිලිය.

මතුපිටින් සහාය දක්වනවා වගේ පෙන්නලා ඒක කර ගත්තොත් තමන්ට පැවැත්මක් ඇති බව ඔවුහු දනිති. එසේ නැත්නම් පැවැත්මක් නැත. මොන සෙල්ලමක් දාලා හෝ ගෝඨාභය පරද්දා ගත්තොත් රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය ද එතැනින්ම අවසානය. ශ්‍රී.ල.නි.ප.යට යන්තම් හෝ ඔළුව ඔසවා ගන්නට පුළුවන් වන්නේ එතකොටය.

තත්ත්වය මෙසේ වුව ද සිදු වන්නේ කුමක් ද යන්න තීරණය කරන්නේ ජනතාවය. දැන් තියෙන තත්ත්වය අනුව කිසිම අපේක්ෂකයකුට පහසුවෙන් දිනන්න පුළුවන් තත්ත්වයක් නැත. හැමෝම ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයකය. කිසි කෙනකුට විශාල ජන පදනමක් තියෙනවා යැයි කියන්නට හැකියාවක් නැත. මාධ්‍යවලින් පුම්බලා පෙන්වන දේවල්වලින් බිම් මට්ටමින් ඇත්ත හදගැස්ම තේරුම් ගන්නට අමාරුය. එය තීරණය වන්නේ තව දින කීපයක් ගිය පසුවය. කොහොම වුණත්, මෛත්‍රීපාල ඊයෙ පෙරේදා නෙළුම් කුලුනේ කෝටි 200ක හොරකමක් ගැන කීවේය. ඒ හොරකමට චෝදනා කළේ රාජපක්ෂලාටය. එහෙව් අයත් එක්ක ආපසු අත්වැල් බැඳ ගන්න එක ගැන ශ්‍රීලනිප පාක්ෂිකයෝ නම් ඉන්නේ දැඩි කේන්තියකින්ය. එය පුපුරා යන්නේ කොයි දිශාවට ද යන්න දැකගන්න පුළුවන් වන්නේ ඉදිරි දින කීපය තුළදීය. උඩින් බලය වෙනුවෙන් මොන මොන තරමේ ගේම් ගැහුවත් මේ සිද්ධ වෙන දේවල් ජනතාවට නම් අප්‍රසන්න ය; අප්‍රියජනකය. ඒ නිසාම ඔවුන්ගේ තීරණය කුණුවෙමින් ගඳ ගහන මේ දේශපාලන සංස්කෘතියට එරෙහි වීම බව නම් පැහැදිලිය.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

17 − fourteen =