ඇමැති නාමල්ගේ ප්‍රකාශය නිසා ක්‍රීඩිකාවට පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ටෝකියෝ ගියේ ක්‍රීඩා පාවහන් යුගලය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂපසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් යයි මීටර 800 (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පවසයි.

කවුරුන් හෝ ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා තිබෙන බවත් මෙම ප්‍රකාශය නිසා තමාට මේ වන විට පාරේ බැහැලා යන්න බැරි බවත් මිනිස්සු ඒ ගැන තමාගෙන් විමසන බවද නිමාලි ලියනආරච්චි පැවසීය.

“මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගිහින් තමයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරග වැදුණේ. එතන සිද්ධ වුණු දේ තමයි මම මගේ සල්ලිවලින් ක්‍රීඩා පාවහන් දෙකක් ජපානයෙන් මිලදී ගන්න උත්සාහ දරලා බැරි වුණාම ජාතික ඔලිම්පික් කමිටුවෙන් මම ඉල්ලීමක් කළා ඒකට මට උදව් කරන්න, මම සල්ලි දෙන්නම් කියලා.” යයි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ලංකාවේ එකම මලල ක්‍රීඩිකාව වන නිමාලි ලියනආරච්චි පවසා තිබේ.

“මේ ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ජාතික ඔලිම්පික් කමිටුව කළ ප්‍රකාශ ගැන කියන්න මම දන්නේ නෑ. මට කියන්න තියෙන්නේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මා අසරණ වුණා“

“දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකේත් බොහෝ අය මම ආණ්ඩුවේ සල්ලි කාබාසිනියා කළා කියලා චෝදනා කරලා තිබ්බා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක්ම දිනා දෙන්න කැපවුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් හැටියට මම මේ සිද්ධියෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා.” යයි නිමාලි වැඩිදුරටත් පැවැසීය.

“ඔලිම්පික් නෙමෙයි ලෝකෙ කොතැනක තිබෙන තරගවලට සහභාගි වුණත් මම පළමුව කරන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක සූදානම් කරගැනීමයි. ඒ වගේම මම පිටරට යනකොට පුරැද්ද වෙලා තිබෙන්නේ මගේ ක්‍රීඩා පාවහන් දෙක අතේ අරගෙන යන බෑග් එකක අරගෙන යාමටයි. ඒකට හේතුව ක්‍රීඩා පාවහන් දෙක නැතුව මට තරග වදින්න බැරි හින්දයි. ”

“මම ජපානයට ගිය වෙලාවෙ උත්සාහ කළේ එරටින් වඩා උසස් තත්ත්වයේ ක්‍රීඩා පාවහන් දෙකක් මිලදී ගන්නයි. නමුත් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ නිරෝධායන නීති රීති එක්ක මට එළියට ගිහින් ඒ දේ කරගන්න අවසර ලැබුණේ නෑ. ඒ හින්දා මම ඇවිත් හිටපු ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා. මම සල්ලි දෙන්නම් මට ඔයාලාවත් මැදිහත් වෙලා ක්‍රීඩා පාවහන් දෙකක් ගන්න උදව් කරන්න කියලා“

“සිද්ධ වුණේ ඒකයි. මම අරන් ගිය ක්‍රීඩා පාවහන් දෙක දාගෙන තමයි මම ටෝකියෝ ඔලිම්පික් මීටර 800 කාන්තා ඉසව්වට දිව්වේ. අවාසනාවකට මට මූලික තරගයේ හොඳට දුවන්න බැරි වුණා. සමහරැ අහනවා කතාව බොරැවක් නම් ඇයි නිශ්ශබ්දව ඉන්නේ කියලා.”

“ක්‍රීඩා ඇමැතිවරයා ඒ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී. මම නිහඬව ඉන්නවා ඇරෙන්න මම පාර්ලිමේන්තු ගිහින් ඒකට උත්තර දෙන්න ද?”

“ක්‍රීඩා ඇමැතිතුමා අපට ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන්න සියලු පහසුකම් දුන්නා. අපිට ටෝකියෝ යන්නත් කලින් කොළඹ තරැ පහේ හෝටලයක නවත්තලා නිරෝධායනය වෙන්න අවශ්‍ය පහසුකම් සියල්ලත් ලබාදුන්නා. ඒ ගැන නාමල් රාජපක්‍ෂ මහතාට අපි කෘතඥ වෙනවා.”

“ඇමැතිවරයා කියලා තිබ්බා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සංචාර විනෝද සවාරි කරගෙන යනවා කියලා. එතුමා පුහුණුකරැවන් ගැනත් කතා කරලා තිබ්බා. ඒ අය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරවන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහන සඳහා පමණයි කියලාත් එතනදී කියලා තිබ්බා”

“නමුත් මේ රටේ පුහුණුකරැවන් වෙතින් පුහුණුව හදාරලා ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙකුත් ඉන්නවා” යයි නිමාලි කීවාය.

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශය –
“අපේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් යනවා ස්පයික්ස් (ඇණ සපත්තු) දෙක ලංකාවෙ දාලා. ඒත් ක්‍රීඩා ඇමතිවරයාටවත් අමාත්‍යංශයට වත් ළමයට කියන්න බෑ සපත්තු දෙක අරන් යන්න කියලා. ළමයා ජයග්‍රාහී මානසිකත්වයක ඉන්න ඕනේ සපත්තු දෙක අරන් යන්න නම්“

“අද වෙලා තියෙන්නේ ගරු කතානායක තුමනි, මේ මුල ඉඳන් කැඩ්ච්ච විනය නිසා, ඔලිම්පික් යන්නෙත් සපත්තු දෙක ලංකාවෙ තියලා. එවැනි තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නේ“ යයිද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

උපුටා ගැනීම ලංකාදීප යෙන්

Leave A Reply

Your email address will not be published.

2 × five =