වාහන සම්බන්ධ වංචා අවම කිරීමට AMW වෙතින් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ රථවාහන අලෙවිය හා සේවාවන් සම්බන්ධ පුරෝගාමියකු වන AMW (Associated Motorways) පෞද්ගලික සමාගම විසින්  2020 අප්‍රේල් මාසයේ සිට, නැවත පාවිච්චි කළ වාහන සඳහා AMW සහතිකලත් වාහන (AMW Certified Vehicles) වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව එතෙක් කිසිදු නියාමනයකට යටත් නොවූ, තැරැවුකරුවන්ගේ ග්‍රහණයට නතු වී පැවැති පාවිච්චි කළ වාහන වෙළෙඳපොළේ යහපත් වෙනස්කම් රැසක් ඇති කිරීමට තමන්ට හැකි වූ බව AMW සමාගම කියා සිටී. විශේෂයෙන්ම උසස් තත්ත්වය හා ආරක්ෂාව ගැන උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් AMW වැනි ස්ථාවර සමාගම් වෙත නැඹුරු වීම වෙළෙඳපොළේ විනිවිදභාවය ඉහළ යෑමට පැහැදිලි හේතුවකි.

AMW Certified වැඩසටහන යටතේ, AMW සමාගමට අදාළ ප්‍රධාන සන්නාම වන Nissan, Suzuki, Datsun සහ Renault යන සන්නාමවලට අයත් වාහනවලට අමතරව අනෙකුත් සියලුම සන්නාමවලට අයත් වාහන ද මිල දී ගැනීම හා විකිණීම ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස සිදු කළ හැකි වේ. මෙම වැඩසටහන යටතේ AMW මඟින් ගනුදෙනුකරුවකුගේ වාහනයක් මිලට ගැනීමේ දී පැය 4ක් ඇතුළත මුදල් ලබා දෙන බවට සහතික වෙයි. ලියාපදිංචි කළ වාහන සඳහා AMW තාක්ෂණික සහතිකයක්, වසර 1 සිට 3 දක්වා හෝ කිලෝමීටර් 1,00,000ක් දක්වා හෝ වගකීමක් ලබා දීම ද ශ්‍රී ලංකාවේ දී සිදු වන්නේ ප්‍රථම වරට ය.

“මේ දුෂ්කර කාලසීමාවේ දී පවා වෙළෙඳපොළේ පැවැති විශේෂ අවශ්‍යතාවක් හඳුනාගෙන ඒ අනුව පෙරළිකාරී සේවාවක් හඳුන්වා දීමට අපට හැකියාව ලැබුණා. අප මේ ආකාරයට පාවිච්චි කළ වාහන සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව තවත් නියෝජිතයන් සහ බෙදාහරින්නන් විශාල පිරිසක් මෙම ක්‍ෂේත්‍රයට පිවිසෙමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට කටයුතු කරමින් සිටිනු දැකීම සතුටට කරුණක්. මෙය ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් කාටත් පොදුවේ වාසිසහගත තත්ත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන්. AMW වැනි සමාගම් කවදත් විනිවිදභාවය, උසස් තත්ත්වය හා විශ්වාසය වැනි ගුණාංගවලට මුල්තැන දෙනවා. නියාමනයෙන් තොරව පැවැති පාවිච්චි කළ වාහන වෙළෙඳපොළේ එම ගුණාංග දුර්ලභ වූ බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. AMW සහතික ලත් වාහන, නියාමන රාමුවක් නොමැති පාවිච්චි කළ වාහන වෙළෙඳපොළේ සාමාන්‍යයෙන් සිදු වන, ධාවනය වූ දුර ප්‍රමාණයන් වෙනස් කිරීම් ඇතුළු අනෙකුත් වංචාවලට ගොදුරු වී නොමැති බව සහතිකයි.” AMW සමාගමේ සාමාන්‍යධිකාරී (Suzuki, Automall & AMW Certified Vehicles) විරාන් ද සොයිසා පැවසී ය.

මේ ආකාරයට පාවිච්චි කළ වාහන වෙළෙඳපොළේ වංචාසහගත ක්‍රියා මැඬලීම සඳහා සමාගම දක්වන උනන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ, වාහන පරීක්ෂා කරන අතරවාරයේ, ධාවනය වූ දුර වෙනස් කිරීම් සහ අනෙකුත් සැකසහිත ක්‍රියා නිරීක්ෂණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් වහාම පාරිභෝගික සේවා අධිකාරිය දැනුම්වත් කරන බවයි●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

3 × 2 =