ආයුබොවන්ඩ සේනාදිපති..,

ටික දෙනෙක් හුඟ කාලෙකුත්-හුඟ දෙනෙක් ටික කාලෙකුත් මුළා කොරන්ඩ ඇහැකිය කියලා අපේ ගම් පළාත්වල වැඩිහිටි ඇත්තො මේ දවස්වල නිතර පාහේම කට කැඩිච්ච කතා දොඩන්නෙ හිටිහැටියේ සේනාදිපතිගෙ ඔළුගෙඩියට කඩාපාත් වෙච්ච විජ්ජුම්බරේ දැකලද මංදා. සේනාදිපති කියන රණසූරයාගෙ හපන්කම් ගැන හරිහමං දෙයක් නොදන්න ගම්වල බයියෝ එහෙම කියන්නෙ යන එන මං නැතුව ඉන්න දේසපාලනකාරයෝයි, මාද්දියකාරයොයි පතුරන මුසාවාදවලට රැවටිලා වෙන්ඩ ඇති ෂුවර් එකටම.
ඔහේලගෙ ගම්රටවල්වල අත්ත, මුත්තලනං එහෙම එක එකාගෙ හරුප අහලා සේනාදිපති විරුවාගෙ ප්‍රොතිරූපෙට ඩැමේජ් කොරන්නෙ නැතිබව අපි දන්නවා. මොකද ඔහේගෙ කෙරුවාවල් ගැන කාටත් වඩා හොඳට දන්නෙ ඒ උදවිය නෙ ඉතිං. ආණ්ඩුවක් දුවවන්ඩ තරමේ වුණත් සල්ලිබාගෙයි, බලපුළුවන්කාරකමයි තියෙන සේනාදිපති වගේ සූත්තර පුංචෙක් රටට දායාද කොළාට උන්දලා තමුන්නැහැගේ මෑණියන්ට කුරුතඥ වෙනවා සහතිකයි..
අපරාදෙ කියන්ඩ බැහැ ඔහෙත් ඉතිං අපෙ සෑර් වගේම රජ බඩුවක් හංදා නිදොස් කොට නිදහස් වීමේ සුපිරි වරමට උරුම කියන්ඩ ඇහැකි උත්තමයෙක් බවටත් පත් උනානෙ. අපේ සෑර්ගෙ අගසව්වෙක් වගේම ගජමිතුරු සමාගමේ පතාක යෝදයෙක් හැටියටත් රැකෝඩ් තියලා ඉන්න සේනාදිපති ලොක්කට කටුව ගහන්ඩ හදන එකාලගේ බොටු කඩලා ලයිට් කණුවල එල්ලන්ඩයි වටින්නෙ.
ලෝක කෙරුමන්ටවත් මෙල්ල කොරගන්ඩ බැරි වුණ මුහුදු කොල්ලකාරයන්ව අපේ සෑර් ඉස්සරහට කකුල් කෙටිවලින් ඇදගෙන ආපු සේනාදිපති විරුවාට දිල්රුක්සිලා, ජනක බණ්ඩාරලා වගේ ලෝයර් කට්ටො පුස් පාට් දාන කොට අපේ සරීරකූඩුවල දේසපෙරේමි ලේ කැකෑරෙනවා ආයිබොවන්ඩ. කාලාන්තරයක් තිස්සෙ සිරිලංකා මාත්තුරු බූමියේ ජාතික ආදායම හූරන් කාපු නේවි හොර නඩේ පන්නල දාලා ජාතික ආදායමට කෝටි ගාණක් හම්බ කොරලා දෙන්ඩ ඇහැක් වුණේ අපෙ සෑර්ගෙත් ෆුල් සප් එකෙන් ඔහේ අටවපු ඇවන්ගාඩ් කොම්පැනියට පින්සිද්ද වෙන්ඩ නොවෑ. 
අනේ අම්මපා සේනාදිපති දවසකටවත් තමුන්නැහැ තමා මිනිහා. මෙහෙන් සෑර්ලත් එක්ක ගජරාමෙට බිස්නැස් කොරන ගමන්ම සෑර්ලගෙ ජන්මන්ත හතුරොය කියන වජිරලා එක්කත් ඩීල් දාන්ඩ තරං ඔහේ හරි හපනෙක් වුණා නේද එහෙනං.. ආයෙත්  වංගියක් එළිමහනෙම තමුන්නැහැගෙ වස්තරේ පහළට වැටිච්ච මේ අල්ල පනල්ලෙ උනුත් එකයි මුනුත් එකයි කියල කොල්ලො පෝස්ටර ගහන්ඩත් බැරි නැහැ නේද ආයිබොවන්ඩ. තමුන්නැහැ ඒ දවස්වල දිවුරල පොරකාස කොරපු විදිහට සබ්බ සේසතම වියදං කොරල හරි කොල්ලන්ව ඔය වගේ අසමත්ජාති වැඩවලට උසිගන්නන කල්ලියෙ මහ එකාව නොකවුට් කොරල දැම්ම නං මේ වින්නැහි මොකුත් නැහැ නෙ.
හැබෑද ආයිබොවන්ඩ කිරි අත්තටත් බල්ලො පැනපි කියන්නැහේ පහුණු දවසක අර ගුරු හොරු රජවාසල දොරකඩ අවහිර කොරලා මුන්නැහැට අඩත්තේට්ටං කොරන්ඩ තැනුවා කියන්නෙ. අනේ අම්මාපල්ලා ඒ තවත් වසවර්තියො ටිකක්. සෑර්ට කියලා ඒකලාටත් දඬුවං කොරංඩ ජනාදිපති කොමිසොමක් දාංඩයි තියෙන්නෙ ආයිබොවන්ඩ. අපේ සෑරුත් එක්ක අත්වැල් බැඳගෙන තමුන්නැහැලා සවුබාග්ගිය කරා යන ගමනට විරුද්දව පෙළපාළි යවන්ඩ රටේ හිඟන හැතිකරේට අකුරු සෑස්තරේ උගන්නන්නෙ ඔය කාලකන්නි ටික නොවෑ සේනෙ..නැද්ද මං අහන්නෙ●

 

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

five × two =