ඩෙල්ටා මාරයාට රට බිලි දෙන ජනතා ද්‍රෝහී තීන්දු තීරණ

මේ වන විට රට ම විවෘත කරලා ය.  පහුගිය දවස්වල විවිධ සීමා කිරීම් පනවා තිබිණි. එහෙත්, දැන් තත්ත්වය වෙනස් ය. සියලු ම රජයේ ආයතන රාජකාරී කළ යුතු ය. එහෙම ගත්තා ම කොරෝනා නිසා යැයි විශේෂ යමක් ඇත්තේ ම නැත. ඇත්තේ, මුව ආවරණයක් පැළඳීම පමණක් ම ය. එවැනි තීරණයකට එන්නට බලපෑ හේතුව කවරේ ද? කොරෝනා රෝග තත්ත්වයේ කිසිදු අඩුවක් නැත. මැරෙන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. පහුගිය දවස්වල දවසට මරණ තිහක්, හතළිහක් අහන්නට ලැබිණි. එහෙත්, මේ වන විට දවසකට මරණ හැටක්, හැත්තෑවක් වාර්තා වේ. සමස්තයක් ලෙස මුළු රටේ ම සාමාන්‍ය මරණ සංඛ්‍යාව තුන්සියපනහක් පමණකි. ඉන් හැත්තෑපහක් කොරෝනා මරණ වන විට එය මුළු මරණ ප්‍රමාණයෙන් සියයට විස්සකි. මෙය ඉතා ම බරපතළ තත්ත්වයකි. මේ වන විට මුළු රටේ ම කොරෝනා මරණ ප්‍රමාණය පන්දහසකට ආසන්න වී තිබේ. ඉන්දියාවේ මැරෙන ප්‍රතිශතාත්මක අගයට සාපේක්‍ෂව වේගවත් ඉහළ යාමකි. මේ අතර දවසින් දවස ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ම ව්‍යාප්ත වෙමින් පවතී. අහන අහන තැන්වලින් වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවකි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් පිළිබඳ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරියයි. ඇය මුල් දවස්වල දී ඇත්ත තත්ත්වය ගැන ප්‍රසිද්ධියේ ම අදහස් පළ කළා ය. එහෙත්, තත්ත්වය මෙතරම් දරුණු වී ඇති මොහොතේ ඇය නිහඬ ය. “කට වහගෙන ඉන්න” යැයි ඇයට අවවාද කර ඇති බව ආරංචි ය. ඒ නිසා ම දෝ වෛද්‍යවරියක ලෙසවත් ඇය එදා නැඟූ හඬ අද නඟන්නේ නැත. අනෙකුත් විශේෂඥ වෛද්‍යවරු විවිධ අවස්ථාවල දී කරුණු ඉදිරිපත් කර ඇත. ඒ තම තමන්ගේ රාජකාරීමය වපසරිය තුළ ය. තවත් අවස්ථාවල දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙහි ඇති බැරෑරුම්කම පෙන්වා දී ඇත. අවාසනාවකට මේ වන විට කිසිදු විශේෂඥ වෛද්‍යවරයකුගේ මතයකට ඇහුම්කන් දෙන තත්ත්වයක් පෙනෙන්නට නැත. සියලු තීන්දු, තීරණ ගන්නේ හමුදාව ප්‍රමුඛ දේශපාලන අධිකාරියේ ඉහළින් ම බව පැහැදිලි ය. ඒ තීන්දු, තීරණ ගන්නා අය පෞද්ගලිකව දැඩි ආරක්‍ෂාවක් යොදාගෙන ඇත. ඔවුන් හමු වන්නට එන මැති, ඇමැතිවරුන් පවා ඇන්ටිජන් පරීක්‍ෂාවකට ලක් කර ආ යුතු ය. එවැනි දැඩි ආරක්‍ෂක වළල්ලක සිටින ගමන් වේගයෙන් වැඩි වෙමින් යන කොරෝනා සම්බන්ධයෙන් ගන්නේ ඉතාමත් ම භයානක තීන්දු, තීරණ ය.

බකපණ්ඩිත ඇමැතිවරු අද කරන්නේ ගුරුවරුන්ට බැණවැදීම ය; ගොවීන්ට බැණවැදීම ය. ශිෂ්‍යයන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැණවැදීම ය. එහෙත්, මේ හැමෝ ම පාරට බැස්සුවේ ආණ්ඩුවේ මෝඩ තකතිරු තීන්දු ය. එසේ නම්, දැන් කළ යුත්තේ, එවැනි තීන්දු ගන්නා අය පාරට බැස්සවීම ය; මහමඟට ඇදදැමීම ය. මුළු රටත්, සමාජයත් විනාශ කර දමන්නේ ඔවුන් ය. මාධ්‍යය ද මේ සත්‍යය රටට හෙළි කළ යුතු ය.

පාස්කු ප්‍රහාරයෙන් මහජනතාව තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වූහ. එය මුළුමහත් රටක්, සමාජයක් කම්පනයට පත් කළේ ය. එය වළක්වා නොගැනීමට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු යැයි පැවැසේ.  ඒ වාගේ ම ඒ මොහොතේ ගත් වැරැදි තීන්දු, තීරණ එකී මරණවලට හේතුව බව කියැවෙයි. අද වන විට දවස් තුන හතරකින් තුන්සියයකට වැඩි පිරිසක් මිය යති. මේ වන විට පන්දහසක් මියගොස් ඇත. ඒ මරණ සියල්ල ම ඇති වූයේ ඉබාගාතේ රට විවෘත කර තැබීමෙනි. විවෘත කරන තීන්දුව ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ තුන්හතර දෙනා ය. කොරෝනා නිසා වේගයෙන් වැඩි වන සෑම මරණයකට ම එකී තීන්දුව ප්‍රධාන හේතුව වී ඇත්තේ ය. නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ නම්, එකී නීතිය මෙම වැරැදි තීන්දු ගන්නා අයටත් එරෙහිව ගත යුතු ය. දැන් වහ වහා එය ක්‍රියාත්මක විය යුතු ය.

මෙතරම් මරණ සිදු වෙද්දීත්, ආණ්ඩුව තමන්ගේ හිතුවක්කාර ක්‍රියා කිසිවක් නවතා නැත. කොතරම් දරුණුවට කොරෝනා ව්‍යාප්ත වුවත්, රටේ ජාතික සම්පත් විකුණා දැමිල්ල වේගයෙන් සිදු කරනු ලැබේ. මේ වන විට ගුවන් හමුදා කඳවුරු භූමියත් ඕමානයට විකුණා දමන්නට සැරැසෙයි. කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට විකුණා දමනු ලැබී ය. තවත් එහි ම භූමියක් චීනයට විකුණා දමන්නට සැරැසෙයි. කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාවට විකිණූ ආණ්ඩුව කොරෝනා අස්සේ බටහිර ජැටිය ආසන්නයේ වන තවත් කොටසක් චීනයට විකුණා දමන්නට තීන්දුවක් ගත්තේ ය. ඛනිජ තෙල් සංස්ථාව විකුණා දමන්නට පනත පවා වෙනස් කරන්නට වේගයෙන් මැදිහත් වී තිබේ. ‘සෙලෙන්දිවා’ හරහා කොළඹ පෞරාණික වටිනාකමක් ඇති ඉඩම් සියල්ල විකුණා දමනු ලැබේ.

එතැනින් ද නතර නොවී අධ්‍යාපනය විකුණා දමන්නට ආණ්ඩුව කඩිමුඩියේ අණ පනත් ගෙන එයි. අධ්‍යාපනයේ මූලික හරපද්ධති පවා විනාශ කර දමමින්, එය මුළුමනින් ම ඔහුගේ ඔළුවේ මැවෙන මනෝ විකාරයන්ට අනුව ගෝඨාභය මිලිටරිකරණය කර දමයි. සමස්ත පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමුවේ ය. ගුරුවරුන්ගේ ස්වේච්ඡා මැදිහත් වීමෙන් දරුවන්ට නොමිලේ ‘ඔන්ලයින්’ ක්‍රමයට උගන්වනු ලැබී ය. කොතලාවල පනතක් ගෙනැවිත් කරපු විනාශයෙන් ගුරුවරුන්ගේ ප්‍රශ්නය ද නැවත ඇදලා ගත්තේ ය. පහුගිය කාලය තුළ අමාරුවෙන් හෝ ගුරුවරු ඉවසා සිටියහ. එහෙත්, කොතලාවල පනත ගෙනැවිත් සම්මත කරන්නට යාමෙන් එම ප්‍රශ්නය අවුස්සා ගත්තේ ය. තුන්ලක්‍ෂයකට ආසන්න ගුරුවරු කල්පනා කළේ තමන් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් විවිධ කැපවීම් කරමින්, ‘ඔන්ලයින්’ උගන්වද්දී, ආණ්ඩුව ඒ අයිතිය විනාශ කර දමන පනත් ගෙන ඒම බරපතළ වැරැද්දක් ලෙස ය. ඇත්ත ඒක ය.

අඩු පඩියක් ලැබුණ ද, එය ද නොසලකා උගන්වනු ලැබුවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසාවෙනි. එහෙත්, ඒ කැපවීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන මුදලට උපාධි ලබා දෙන විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නම්, ඒ කැප වීමෙන් ඵලක් නැත. තමන් ද තමන්ට හිමි අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බව ගුරුවරු කල්පනා කළහ. අද වන විට රට පුරා ගුරු උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූයේ එලෙසින් ය. ඒ ගින්නට පිදුරු දැමුවේ කාලකණ්ණි ආණ්ඩුවේ කාලකණ්ණි ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ය; දිලුම් අමුණුගම ය. ඇත්තට ම ගුරුවරු මෙතරම් ප්‍රමාණයක් පාරට බැස්සේ මේ කාලකණ්ණි ඇමැතිවරුන්ගේ ප්‍රකාශ සමඟින් ය.

මේ ජාතියේ කාලකණ්ණින් බලයට ගෙනෙන එක නැවැත්වීම ගුරුවරුන්ගේ වගකීම ය. එවැනි කාලකණ්ණින් බලයට පත් නොකරන දරු පරම්පරාවක් හදන එක ගුරුවරුන්ගේ වගකීම ය. මේ වන විට ගුරුවරු මෙය තේරුම් අරගෙන ඇත්තේ ය. රට ම කාලකණ්ණි කරන තීන්දු, තීරණ ගන්නා දේශපාලනඥයන් බිහි නොකරන අනාගත දරු පරම්පරාවක් හැදීම වෙනුවෙන් අද ඔවුහු පාරට බැස ඇත්තාහ. ඒ ආණ්ඩුව කොරෝනා පෙන්න පෙන්නා නිදහස් අධ්‍යාපනය විනාශ කර දමන එක නතර කරන්නට ය.

කොරෝනා නිසා සමස්ත රටේ ආරථිකයත්, ජන ජීවිතයත් අවුල් වෙලා තියෙද්දී, ගෝඨාභය ගත්ත ඔලමොට්ටල තීරණය එකවර රසායනික පොහොර භාවිතය නතර කිරීම ය. ලෝකයේ කිසිදු රටක් මේ ව්‍යසනය අස්සේ මේ ජාතියේ ගොන් වැඩ කර නැත්තේ ය. රට සාමාන්‍ය තත්ත්වයක පවතිද්දී ගත යුතු තීරණ මෙතරම් අමාරු තත්ත්වයක දී ගැනීමෙන් රටේ ම ගොවි ජනතාවත් පාරට බැස්ස වූයේ ය. ගොවීන් පොහොර ඉල්ලලා පාරට බැස්සේ ආණ්ඩුවේ ගොන් තීරණය නිසා ය. ඒ තීරණය නිසා කොරෝනා ව්‍යාප්ත වන්නේ නම්, එයට වගකිව යුතු වන්නේ අහිංසක ගොවියා නොවේ ය; ඔලමොට්ටල ආණ්ඩුව ය.

බකපණ්ඩිත ඇමැතිවරු අද කරන්නේ ගුරුවරුන්ට බැණවැදීම ය; ගොවීන්ට බැණවැදීම ය. ශිෂ්‍යයන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැණවැදීම ය. එහෙත්, මේ හැමෝ ම පාරට බැස්සුවේ ආණ්ඩුවේ මෝඩ තකතිරු තීන්දු ය. එසේ නම්, දැන් කළ යුත්තේ, එවැනි තීන්දු ගන්නා අය පාරට බැස්සවීම ය; මහමඟට ඇදදැමීම ය. මුළු රටත්, සමාජයත් විනාශ කර දමන්නේ ඔවුන් ය. මාධ්‍යය ද මේ සත්‍යය රටට හෙළි කළ යුතු ය. එහෙයියන් වාගේ ආණ්ඩුවේ ඔලමොට්ටල තීරණවලට කඩේ යන එක දැන් නතර කළ යුතු ය. කොරෝනා ව්‍යාප්ත වන නිසා උද්ඝෝෂණ කරන එක වැරැදියි කියලා කියන වැරැදි මතය වෙනස් කළ යුතු ය. උද්ඝෝෂණවලට ජනතාව පාරට බස්සවන තීන්දු, තීරණ ගන්නා පාලකයන් නිවැරැදිව හෙළිදරවු කළ යුතු ය. ‘ගුරු පොකුරු’, ‘ගොවි පොකුරු’, ‘ශිෂ්‍ය පොකුරු’ ඇති වීම වැළැක්විය හැක්කේ එවිට ය.

එසේ නොමැතිව ආණ්ඩුවට රිසි සේ ජනතා ද්‍රෝහී තීන්දු ගැනීමට ඉඩ සලසා එයට පාරම්බෑමෙන් නොවේ ය. එය නිවැරැදිව තර්කානුකූලව විශ්ලේෂණය කිරීමෙන් ය; ජනතා ද්‍රෝහී ක්‍රියාවන් නතර කරවීමෙන් ය. දිනෙන් දින වේගයෙන් ඉහළ යන කොරෝනා මරණ වැළැක්වීමට පියවර ගැනීමට බල කිරීමෙන් ය. අනෙක් සියලු දේවල් පස්සට දමා කොරෝනාවලින් රට බේරා ගැනීමට තීන්දු ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමෙන් ය.●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

seven + 11 =