කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?

කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මුහුණුවර තනිකරම වෙනස් කිරීම සඳහා ය. 1945 දී ඇරඹි නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිලාභ ආපසු හැරවීමට 90 දශකයේ සිට බලයට පත්වූ සෑම රජයක්ම උත්සාහ දරා ඇත. නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසයේ නිශ්චිත රේඛීය බවක් හඳුනා ගත නොහැකි අතරම, ඒ තුළ  පරස්පර විරෝධී බවක් ද නැත්තේම නොවේ. එය සමාජ පංති ධූරාවලිය, ජනවාර්ගිකත්වය, ස්ත‍්‍රී පුරුෂ භාවය සහ රාජ්‍ය හා සිවිල් සමාජයේ ප‍්‍රචණ්ඩත්වයේ බහු දර්ශකයන් හා සම්බන්ධ වී තිබේ.

මෙම ප‍්‍රතිවිරෝධතා තිබියදීත් මෙන්ම මෙකී ප‍්‍රතිවිරෝධතා හේතුකොටගෙන, බොහෝ විට පරස්පර විරෝධී නමුත් බලවත් සමාජ අභිලාෂයන් සහ පොදු පුරවැසි මණ්ඩලයේ සමාජ ආශාවන්, විශේෂයෙන් සමාජයේ මායිම් වල හෝ මායිම් ආසන්නයේ සිටින අතිමහත් බහුතරයකගේ එවැනි අභිලාෂයන් සහ ආශාවන් නියෝජනය කිරීමට සහ සංකේතවත් කිරීමට නිදහස් අධ්‍යාපනය සමත්ව ඇත. නිදහස් අධ්‍යාපනය සෑම කෙනෙකුටම සමානව සංග‍්‍රහ කොට නැති නමුත්, සමාජයේ වඩා යහපත් ස්ථානයක් ලබාගැනීම සඳහා වූ අතිමහත් බහුතරයකගේ දශක ගණනාවක් පුරාවට වූ බලාපොරොත්තුව එය විසින් නියෝජනය කරයි. වඩ වඩාත් බල රහිතව සිටින ජනතාවක් සඳහා, එය කොතරම් සීමාවන්ට යටත්ව හෝ අවස්ථා විවෘත කරයි. එසේම වඩා වැදගත් කරුණ නම් යුක්තිය, සමාජ සාධාරණත්වය සහ රාජ්‍යය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගිවිසුමක් ඇති කර ගැනීමේ සටනේදී අතිමහත් බහුතරයකගේ දෘෂ්ඨිවාදාත්මක හා දේශපාලන ආයුධය බවට නිදහස් අධ්‍යාපනය පත් වීමයි.

පෞද්ගලීකරණය, සංස්ථාකරණය, මිලිටරීකරණය

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, රාජ්‍ය යාන්ත‍්‍රණයෙහි ඉතා වැදගත් අංගයකි. අනුප‍්‍රාප්තික ආණ්ඩු එහි වැදගත්කම අවතක්සේරු වන ආකාරයෙන්, එයට සමාන විය හැකි සමාන්තර උසස් අධ්‍යාපන පද්ධති නිර්මාණය කිරීමට උත්සාහ කර ඇති අතර යම් තරමකින් හෝ එය සාර්ථක වී තිබේ. උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආකාර දෙකකින් සිදුවේ; 1 – ගාස්තු අය කිරීමේ මධ්‍යස්ථාන සහ අධ්‍යාපන ආයතන ඇති කිරීම සහ 2 – අරමුදල් කප්පාදුව හා ප‍්‍රමිතීන් බාල කිරීම යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල කොට බිඳ හෙලීම එකී දෙයාකාර සැලැස්ම වේ.

ද අයිලන්ඩ් පුවත්පතේ දෙසතියකට වරක් පළවන කුප්පි ටෝක් තීරු ලිපි පෙළ මඟින් ප‍්‍රමිති වලට පටහැනි හා පෞද්ගලීකරණය කිරීමට බලපෑම් කරන්නා වූ ප‍්‍රතිසංස්කරණ සිදු කරන ලෙස බල කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත එල්ල කරන පීඩන පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරයි. අවම වශයෙන් 90 දශකයේ සිට (ඊටත් පෙර නොවේ නම්) විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රාජ්‍යය දරන පිරිවැය ක‍්‍රමයෙන් අඩුකොට ඇති අතර, පශ්චාත් යුධ වකවානුව තුළ දිගින් දිගටම එම ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට අඩු මට්ටමක පැවත තිබේ (නියන්තිනි කදිර්ගාමර්, ”අධ්‍යාපන අරමුදල් පිළිබඳ මිථ්‍යා,” (https://island.lk/funding-fallacies-in-education/&) කුප්පි ටෝක් තීරු ලිපි පෙළ තුළින් ඉස්මතු කර ඇති පරිදි එම තත්ත්වය මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යාවන් වෙත වැඩි වශයෙන් බලපා ඇත. පෞද්ගලීකරණය දෙසට ගමන් කිරීමට මෑත කාලීනව ගත් පියවර, නියෝගයන් සහ මිලිටරිකරණය හරහා සිදුවීම අහම්බයක් නොවේ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතෙහි ඇතුළත් වන මිලිටරිකරණය වූ අධිකාරියේ මූලධර්ම පිළිබඳව බොහෝ කාරණා රචනා වී ඇති බැවින් එම කරුණු නැවත දැක්වීම අවශ්‍ය නොවේ. නමුත් සටහන් කිරීමට අවශ්‍ය දේ නම්, කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විසින් නිදහස් අධ්‍යාපනයේ ජයග‍්‍රහණ සහ මිනිසුන් සවිබල ගැන්වීමේ එහි ඇති හැකියාව ආපසු හැරවීමෙන්, මර්දනකාරී තාක්‍ෂණික පාලනයක් දෙසට සහ සමාජ සංචලතාව සඳහා මාර්ගය ලෙස අධ්‍යාපනයට වැඩියෙන් කැමති පිරිස් මර්දනකාරීව බැහැර කිරීම් දෙසට යොමු කරන බවයි.

80 සහ 90 දශකවල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා අවිනිශ්චිත පියවර කිහිපයක් ගනු ලැබූවද, නව සහශ‍්‍රය ආරම්භයේ දී, දිගු කලක් තිස්සේ අප හඳුනාගත් නිදහස් අධ්‍යාපන යාන්ත‍්‍රණය විසුරුවා හැරීම සඳහා වඩා ආක‍්‍රමණශීලී ව්‍යාපාරයක් ආරම්භ වූ බව පෙනෙන්නට තිබේ. දෘෂ්ඨිවාදාත්මක සමානකම් කෙසේ වෙතත්, භක්‍ඵක්‍ සහ සයිටම් පිහිටුවීම පිටුපස ඇති විවිධ පෙලඹවීම් දෙස බලමින් ”සයිටම්: අඛණ්ඩතාවයන් සහ අත්හිටුවීම්” නමැති ලිපිය තුළ මෙම ඓතිහාසික ගමන්මග මා විසින් සළකුණු කර ඇත.

(http://www.island.lk/index.php?page_cat=article-details&page=articledetails&code_title=161915)
පෞද්ගලීකරණය කරන ලද තෘතියික අධ්‍යාපනයේ සමහර ස්වරූපයන් දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන ලදුව මෑතකාලීනව වඩාත් පුළුල් වී ඇතත්, සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කරන ලද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට දැරූ සෑම උත්සහයක්ම ගැටළු වලට මුහුණ දී ඇත. මහජන කැමැත්ත එයට බාධාවක් විය. ඒ හා සමඟම පවතින තවත් සත්‍යයක් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම්, බුද්ධිමය හා ආයෝජන හැකියාවන් රට තුළ නොමැති බවයි. සත්‍ය වශයෙන්ම ලංකාවේ පෞද්ගලික අංශය දුර්වල ය. පශ්චාත් යුධ සමයේ, එවකට මහින්ද රාජපක්ෂ රජය, එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලසීමාව තුළ, ප‍්‍රතීතන මණ්ඩලයක් ලෙස ක‍්‍රියා කරන සංවිධානයක් හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල විධිමත් කිරීමට පෙරමුණ ගෙන කටයුතු කළේ පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල සමාන හා එකම විෂය පථයකට ගෙන එ්ම සහ එම විෂය පථය වාණිජ අවශ්‍යතා වලට සමපාත කිරීම තුළිනි. ඔවුන්ගේ දැක්මට අනුව, ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් වේ. (”අධ්‍යාපනය සහ එහි අතෘප්තිය,” ද අයිලන්ඩ්, 2011 නොවැම්බර් 1)

යහපාලන රජය ද එම අච්චුවේම වූ අතර ඊට පෙර කාලයේ හඳුන්වා දෙන ලද පොදු- පෞද්ගලික හවුල්කාරීත්වයන්, සයිටම්, සහ මෘදු කුසලතා වර්ධනය පිළිබඳ නොපැහැදිලි දැක්මක් මත කලා අධ්‍යාපනය නිර්මාණය කිරීම තුළින් එහි තත්වය පහත හෙළීම යන භාවිතයන් හරහා ඊට පෙර රජයන්හි පෞද්ගලීකරණ සැලසුම් අන්ධානුකරණයෙන් ඉදිරියට පවත්වාගෙන යන ලදී. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේදී ගැසට් කරන ලද අතර එයට ශාස්තී‍්‍රය ප‍්‍රජාව සහ සිවිල් සමාජ සාමාජිකයින් විසින් විරුද්ධත්වය පළ කරන ලදී. ජීවිතයේ සෑම අංශයක්ම වෙළඳ භාණ්ඩ බවට පත් කෙරෙන බොහෝ දූෂිත නව ලිබරල්වාදී පියවරයන් මෙන්, මේ අවස්ථාවේදී ද රජය පෞද්ගලීකරණය කළ අධ්‍යාපනයේ ආයෝජකයෙකු බවට පත් විය. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සඳහා රුපියල් බිලියන 36.54 ක් ණය වශයෙන් වෙන් කරන ලෙස ලංකා බැංකුවට සහ එන්.එස්.බී බැංකුව වෙත නියෝග කර ඇති බව අපට අසන්නට ලැබී තිබේ.(https://www.sundaytimes.lk/210725/business-times/kotelawala-uni-gets-over-rs-36-bn-from-boc-nsb-449828.html).
අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මූලික හේතුව රාජ්‍යයේ බර ලිහිල් කිරීම නම්, රජය මෙම ආයතන වලට සහනාධාර ලබාදීම දිගටම කරන්නේ ඇයි? මෙම තර්කය මනස ව්‍යාකූල කරන ආකාරයේ එකකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කැඳවීම

2011-2012 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (FUTA) විසින් බලයේ සිටි රජයකට ආචාර්යවරුන් විසින් එල්ල කරනු ලැබූ ප‍්‍රබලතම අභියෝගය දියත් කළ අතර, පශ්චාත් යුධ සමයේදී රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’ යන සටන් පාඨය සහිදළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක්’ යන ව්‍යාපාරය යටතේ නොසතුටට පත් බලවේග එකට එකතු කර ගන්නා ලදී. එය එ් වනවිට පුළුල් පරාසයක විසිරී සිටි වෘත්තීය පැලැන්තියේ කි‍්‍රයාධරයින් බොහෝ ප‍්‍රමාණයක් එකට ගෙන ආවේ ඔවුන්ගේ අවශ්‍යතා ඉතා නිර්දය ලෙස නොසළකා හරිමින් ඉදිරියට ඇදෙමින් තිබූ නව ලිබරල්වාදී බලවේගයන්ට ප‍්‍රතිචාරයක් සකස් කිරීම සඳහාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමේ කැඳවීම එහි පදනම විය. කෙසේ වෙතත්, යහපාලන වසර කිහිපය තුළත් ඉන් පසුවත් අධ්‍යාපනය සඳහා වූ අරගලයේ තීව‍්‍රතාව දුර්වල වූ බව දක්නට ඇති කරුණකි. එහි සාමාජිකයින්ගේ පටු කල්පනාව, විවිධ අභිලාෂයන් සහ පක්ෂපාතිත්වයන් නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ඇතුළතින් ඛන්ඩණය විය. වෙනත් විවිධ විසිරුණු කණ්ඩායම් පෞද්ගලීකරණයට එරෙහිව සටන් කිරීම සඳහා නායකත්ව භූමිකාව බාරගත් නමුත් ඉන් සමහරක් වර්ධනය වූ දිශානතීන් එතරම් අනුමත කළ හැකි ඒවා නොවේ.

අද මෙම පනත අනතුරුදායක යථාර්ථයක් බවට පත් වීමේ තර්ජනයක් මතු වෙමින් පවතී. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මගින් තර්ජනයට ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල පද්ධතිය පමණක් නොවේ. වෘත්තීය සමිති විසින් මෙහෙයවනු ලබන පාසල් ගුරුවරුන්ද සටනට අවතීර්ණ වී ඇත. කොවිඩ්-19 හි හානිකර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ ශිෂ්‍යයින් අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ලෙස මුදල් ලබා නොදීමේ වසර ගණනාවක භාවිතයෙහි බිහිසුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිති. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙම විරෝධතාවයට එක්වන්නේ ප‍්‍රධාන ක‍්‍රියාධරයෙක්, එසේම බලසම්පන්න ක‍්‍රියාධරයෙකු ලෙස වන නමුත්, එකම ක‍්‍රියාධරයා ලෙස නොවේ. 2021 ජූලි 24 දින කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශාමලා කුමාර් ප‍්‍රකාශ කළ පරිදි, මෙම එ්කාධිපති පනතට එරෙහි අරගලය ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතට (PTA) විරෝධය දක්වන අරගලයක් වන අතරම, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වන අරගලයක්, අවිධිමත් සේවක අංශයේ, විශේෂයෙන් කාන්තාවන්ගේ සේවා කොන්දේසි වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වන අරගලයක් මෙන්ම, නවක වදයට එරෙහිව හඬ නැගීම ඇතුළුව විශ්වවිද්‍යාලය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යටතේ පෙළ ගැසෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු යළිත් වරක් මෙරට අධ්‍යාපන ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටිති. සැවොම එක්ව කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පරාජය කරමු!

– සිවමෝහන් සුමති

(ලේඛකයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි අංශයට අනුයුක්තව සේවය කරයි.)

Leave A Reply

Your email address will not be published.

eighteen − 13 =