“මළල ක්‍රීඩිකාවක් ඔලිම්පික් ගියේ සපත්තු යුගයල මෙරට තියලා”

- ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ

කවර ක්‍රීඩකයෙකු වුවද ක්‍රීඩාවට අදාළ විනය සහ ආචාර ධර්ම අනුගමනය කළ යුතු වන අතර ඔලිම්පික් ක්‍රීඩා නිල ඇඳුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය ද අවධානයට යොමු කළ යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළේය .

එසේම , ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ද වයිල්ඩ් කාර්ඩ් (wildcard) වටයෙන් තෝරාගන්නා ලද ක්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ද ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද ලබා දුන් බව ද ඔවුන් සියලු දෙනා සඳහා වෙනත් පහසුකම් ද ඇතුළත්ව දෛනිකව ඩොලර් හතළිහක මුදලක් ලබාදුන් බවද මෙයාකාරයෙන්ම පැරාඔලිම්පික් කණ්ඩායමට ද පහසුකම් හා වරප්‍රසාද සැපයෙන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය .

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාතික ධජය සහිතව නිල ඇඳුම් සැපයීම සම්පූර්ණයෙන්ම ඔලිම්පික් කමිටුවට අදාළ කර්තව්‍යයක් වුවද එය නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් තමා මේ වන විට එම කමිටුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි . කෙසේ වුවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සුපුරුදු ඇඳුමෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වීමට වීමට කැමැත්ත දක්වා ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී අනාවරණය කළ අමාත්‍යවරයා සමහර මලල ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇත්තේ සිය ක්‍රීඩා සපත්තු යුගලය ලංකාවේ අමතක කරදමා පැමිණ තිබෙන බවද මෙහිදී අනාවරණය කළේය . ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වනුයේ මේ නිසා බව පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ සමහර ක්‍රීඩකයින්ට ඔලිම්පික් යනු හුදෙක් චාරිකාවක් පමණක් නිසා ඔවුන්ට තමන් ජාතික මට්ටමේ දී අත්පත් කර ගන්නා පරිසාධන මට්ටම හෝ අත්පත් කර ගත නොහැකි බව ද පෙන්වා දුන්නේ ය .

දැනට ඔලිම්පික් ජාතික කණ්ඩායමේ සිටින්නේ , ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයින් තිදෙනෙක් පමණක් වන අතර කෙසේ වෙතත් ඔලිම්පික් පදක්කමක් යනු අවුරුදු දහයක් හෝ පහළොවක් පමණ කැප කිරීමෙන් අනතුරුව රටක් විසින් සැබෑ කරගත යුතු සිහිනයක් බවද සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා එය කෙටිකාලීනව අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නොවන බව පෙන්වා දුන්නේ ය .ඒ සඳහා මේ වන විට ඉදිරියේදී මෙරටට සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගත හැකි ක්‍රීඩා ක්ෂේත්‍ර හඳුනාගනිමින් , එම ක්‍රීඩකයන් දැනට විදේශගතව පුහුණුව ලබන බව ද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය .

මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආචාර ධර්ම ද ඇතුළත්ව ක්‍රීඩා සංගම් නියාමනය කිරීම සඳහා නව පනතක් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජයග්‍රහණ වලට එළඹීම සඳහා අවශ්‍ය ආයෝජන වලට සිය රජය සූදානම් බව ද අවධාරණය කළේය .

Leave A Reply

Your email address will not be published.

5 × five =