“අප දැන්වත් මේ මජර ක්‍රමයට විකල්ප සෙවිය යුතුය. මේ මොහොතේ අපේ වගකීම එයයි”

මේ ලියන මොහොතේ අහස අඳුරුය. වැස්සක්ද ඇද හැලේ. ඒ වැස්සෙන් වියලී යමින් තිබූ පොළවට සහනයක් ලැබෙනු ඇත. එහෙත් අප වටා රොද බඳිමින් ඉන්නා අඳුර එසේ නොවනු ඇත. එය අපට ඉතිහාසයේ දරුණුතම පාඩම් උගන්වනු ඇත. අද උදේ මා ඇමතූ මගේ සමකාලීන සරසවි සගයෙක් කියා සිටියේ තමන් දිනපතා රාජකාරි පිණිස මාතර සිට හම්බන්තොට බලා කිලෝමීටර් හැට හැත්තෑවක් බස්රියෙහි ගමන් කරනා බවයි. ඒ යන බස්රියද සෙනගින් පිරී ඇති බවයි. ඒ තත්වය යටතේ තමන් ආසාදිතයෙකු වන්නේ නම් එය කෙසේවත් තමන්ගේ වරදක් නොවන බවයි. මෙලෙස අනතුරට නිරාවරණය වෙමින් ඉන්නේ හිතුවක්කාරකමට පාරට බසින්නන් නොවේ. ඩෙල්ටා වයිරසය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ යයි සැක කරනා මොහොතක එය පවත්නා එන්නත් වලට වඩා බලවත් යයි වෛද්‍ය මත පලවන මොහොතක මිනිසුන් මහ මග තම අභිමතයකින් තොරව වැඩට යන්නට සහ නිවෙස් බලා එන්නට පොදු ප්‍රවාහනයෙහි තෙරපෙන්නේ නම් එයට වගකිව යුත්තේ කවුදැයි අසන්නට අපට අයිතියක් ඇත. කෝවිඩ් ආවේ දැනට වසරකටත් වඩා පෙරය. එදා පම්පෝරි කියමින් හොඳටම කරපු අය රටෙහි කාර්යාල පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හසුකම් සපයන්නට උත්සුක වී නම් මෙසේ රජයේ කාර්යාල වලට සියල්ලන්ම කැඳවීම අවශ්‍ය වන්නේ නැති. තෝණඩමන්ගේ මල ගෙදර පොරකකා ගිය දේශපාලකයන් අද පාරට බැස ඉන්නා ගුරුවරුන්ට දොස් පවරති. එහෙත් ඔවුන්ගේ ගැටළුව අවුරුදු විසි ගණනක් පරණ බවත් මේ ගැටළුවට විසඳුම් දීමට අද ඉන්නා අය මීට පෙර බලයේ සිටි අවස්ථාවලදීද කටයුතු නොකල බවත් ඔවුහු අමතක කරති.

මේ වන විට රෝහල් ඇත්තේ පිරී යමිනි. එය ජනතාවට තවමත් හරිහැටි සන්නිවේදනය වී නැත. කලහැකි හොඳම දෙය වනුයේ ආසාදිත පුද්ගලයන්ට නිවෙස්හී නිරෝධායන පහසුකම් සැලසීමයි. එය මේ වනවිට සිදුවෙමින් පවතී. එහෙත් ඒ සියළු බර දරා ගැනීමට අපේ සෞඛ්‍ය අංශ වලට ඇති ශක්තියද ඇත්තේ වේගයෙන් ක්ෂය වෙමිනි. මීට මොහොතකට පෙර මගේ පවුලේ සුවදුක් බැලීමට කතා කළ වෛද්‍යවරයෙක් පවසා සිටියේ ඊට මද වෙලාවකට පෙර තමන් සමග එකම අංශයේ සේවය කරනා වෛද්‍යවරියක ආසාදිත බව හඳුනාගත් බවයි. අනෙක් සේවක මට්ටම්හිද තත්වය එයයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මුහුණු දැන් ගැඹුරු සිතුවමකි. එහි අර්ථ විවරණය අසීරුය. අනෙක් කාර්ය මණ්ඩලවල තත්වයද එයමය.

මගේ පවුලේ අයගේ සිරුරුවල ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ආම්පන්නයක් මිතුරකු විසින් එවනු ලැබිණි. එය විශාල සහනයකි. එහෙත් මේ පහසුකම නැති බොහෝ දෙනෙක් මේ මොහොතේ රටෙහි සිටිති. ඒ අතර ඔක්සිජන් ඇති තරමට තිබෙන බවත් ගැටළුවක් මතුවන්නේ නම් එය එක් රෝහලක ඇතිවන හිඟයකදී වෙනත් තැනකින් යැවීමට ඇතිවන පමාව යයි පසුගියදා වෛද්‍ය ප්‍රකාශකයෙක් කියනු ඇසිණි. මේ අපේ තත්වයයි. ඇත්ත සැඟවීම අතින් අපි රුසියන් බවට පත්ව සිටිමු.

මගේ දියණියගේ රුධිර පරීක්ෂණයක් කරගත්තොත් හොඳ යයි ලද උපදෙස් මත අප නිවෙසට ආසන්නයේ ඇති පුද්ගලික රෝහලකට කතා කර විමසූ විට ඔවුන් එම සේවාවන් නතර කර ඇති බව දැන්වීය. නිවෙසින් බැහැර යාමට නොහැකි තත්වයක් සිටිනා අය මෙවන් වටපිටාවක මුහුණ දෙන පළමු ගැටළුව වියදම් ප්‍රශ්ණයයි. දෙවැන්න අවශ්‍ය පහසුකම් නිවෙසට ගෙන්වා ගැනීමට ඇති අපහසුවයි. පසුව මම වෛද්ය මිතුරතුගේද සහය ඇතිව නිවෙසේ සිට කිලෝමීටර් විසි දෙකක් දුරින් ඇති රෝහලකින් අදාල පහසුකම සලසා ගතිමි. ඒ ඔවුන්ට දරන්නට වන සියළු වියදම් ගෙවනා බවට පොරොන්දුවක් සහිතවය. එහෙත් මෙවන් තත්වයනට මුහුණ දෙමින් සහ ඒ කරගත නොහැකිව සිය අපහසුතා සඟවා ගනිමින් ඉන්නා පිරිස් කෙතරම් ඇතිදැයි අපි නොදනිමු.
අප රටෙහි නිදහස් සෙඛ්‍ය සේවය මේ තරමින් හෝ පවත්වා නොගන්නට අද වන විට අප සිටිනු ඇත්තේ අතිශය කනගාටුදායක තත්වයකය. රටෙහි සෞඛ්‍ය සේවය යනු රජයෙහි ආයෝජනයක්ම විය යුතු බවට මීටත් වඩා උදාහරණ අවශ්‍ය නැත. අධ්‍යාපනය සම්බන්ධයෙන්ද තත්වය එයමය. වඩා හොඳ ප්‍රවාහන සේවයක් සැලසීමට තරගකාරී පුද්ගලික බස්රිය සේවය හඳුන්වාදීමේ අවසන් ප්‍රතිපලය වූවේ කන පැලෙනා සිංදු සමග අවිනීත බස්හිමියන් රොත්තක අත්අඩංගුවට ජනතාව පත්වීම පමණි.

කෝවිඩ් අර්බුදයට අප මුහුණ දෙන්නට පටන්ගත් දා සිට පාලකයන් අප රැගෙන ගිය වට වංගු අප යළි සිහිපත් කළ යුතුය. ඊට ආගමික නාකයන් දුන් උඩගෙඩිද සුළුපටු නැත. දිවා රෑ රතන සූත්‍රය ලවුඩ්ස්පීකර් මගින් වැගිරූ මා ඉන්නා පලාතේ එක අරමක එය අවසන් වූවේ සාමනේර හිමිවරු විසි ගණනක් ආසාදිත වීමෙනි. ඒ දිනවල රතන සූත්‍රය මගින් බුදුන් වහන්සේ දේශනා කර වදාලේ සතර දිගින් එන වේරම්භ වාතයට ඉන්ද්‍රකීලය නොසැලෙන්නාක් මෙන් තමන්ද නොසැලී අර්බුදයට මුහුණ දිය යුතු බවත් අප කළ යුත්තේ ඒ බුද්ධ දේශනාව තේරෙන බසින් ජනතාවට තේරුම්කර දීම බවත් ලියූ විට ඇතැම් අය මට හෙණ ඉල්ලන්නට සහ මා කතෝලිකයෙකැයි අවලාද කියන්නට ගත්තෝය. මුලු රටක් ගොනාට අන්දා පැණියක් පස්සේ ජනතාවට දුවන්න හැර එය රස කර බොමින් පිස්සු නැටුවේ රටේ ඇමතිවරුය. පැනි හැලියට වැටුණ ඇඹලයන් වී එහි නිරුවත හෙලිවූ පසු මනස්ගාත නැතුව එන්නත විදගන්නැයි දෙසුවේ මහාචාර්ය චන්න ජයසුමන ය. මේ කිසිවෙක් හෝ රටෙහි විද්‍යාව ඇවැසි මොහොතක මිථ්‍යාව රජයන බව දැක ඊට එරෙහිවූවේ නැති. ජනයාද සුපුරුදු පරිදි දෙන ලණු කෑවෝය. තමන්ට රාවණාගේ විෂ්ණු දෙවියන්ගේ ආදී වශයෙන් අදෘෂ්‍යමාන බලයක පිහිට ලැබේයයි විශ්වාස කරන්නට හුරු කළ ජනතාවක් දැන් විද්‍යාවේ පිහිට සොයන්නට පමාවී දුක් විඳිති. එසේ ජනතාව රැවටූ දේශපාලකයෝ රට හවුලේ ඇමරිකාවට සහ චීනයට උකස් කරමින් සිටිති. බුදුන්වහන්සේ අප කාලයෙහි නොසිටීම සැබැවින්ම අවාසනාවකි. උන්වහන්සේ අද වැඩ සිටියේ නම් නූතන ගොන්වහන්සේලාට සැබෑ දහම දේශනා කරනු නියතය.

සහෘදයිනි, බුද්ධිමතුන් නිහඬව සිටීමේ ආදිනව අපි දැන් අත්විඳිමින් සිටිමු. වියතෙහි බුද්ධිය අප මරැකට කරා ගෙනයමින් තිබේ. අප දැන්වත් මේ මජර ක්‍රමයට විකල්ප සෙවිය යුතුය. එය අප වෙනුවෙන් නොව අපේ දරුවන් වෙනුවෙනි. පුරා දශක හතක ඉතිහාසය යනු චෞරයන්ගේ ඉතිහාසයයි. අප දැන්වත් ජනතාවගේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් වැඩ කළ යුතුය. තමන්ගේ ස්වාමියා කරනා කවර දහබලු කමක් වුව සාධාරණීකරනය කරන්නට තර්ක හදනා බුද්ධිමතුන්ගෙන් රටකට වැඩක් නැත. අප ඒ වෙනුවට නව සංවාදයක් ඇරඹිය යුතුය. මේ මොහොතේ අපේ වගකීම එයයි. මේ ව්‍යසනයෙන් නිවසට කොටුවන්නට සිදුවූ මොහොතේ සිට යළි මට දැනෙනුයේ සහෝදරත්වයේ සුවඳයි. අපේ අතීතය ගෙවුනේද එලෙසිනි. අප ජීවිතයට මුහුණ දුන්නේ සහ ඉදිරියටද මුහුණ දෙන්නේ ඒ සහෝදරත්වයේ අසිරියෙන්මය. එහෙයින් ඊට තුති. වර්තමානය අඳුරුය. අප මේ තක්කඩින්ට ඊයේ මෙන් හෙටත් අප වහලුන් කරන්නට ඉඩ දෙන්නේ් නම් අපේ් දරුවන් අපට සාප කරනු ඇත. නව පාලනයේ ආරම්භක අවධියේ මහත් උද්දාමයෙන් තාප්පවල ඇඳි සිතුවම් දැන් බොඳ වෙමින් යයි. ඉදින් අපි සැබෑවේ සිතුවම අඳිමු. ඒ සඳහා වර්ණ රැස් කරමු. තෙලිතුඩ අතට ගනිමු. ඒ සිතුවම ඇඳීමට සියළු දෙනාටම ඇරයුම් කරමු.

– චුලානන්ද සමරනායක 

Leave A Reply

Your email address will not be published.

eighteen − 15 =