“ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා.”

දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල මහ රෝහලේ තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් සිරස News 1st මාධ්‍යවේදිනියක වන තිලක්ෂණී මධුවන්ති අද (5) අලුයම ඇයගේ කොවිඩ් ආසාදිත වූ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට එහි ගිය අවස්ථාවේ දුටු සිදුවීම් ඇයගේ ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබිණි.
ඒ ඡායාරූප කිහිපයක් ද සමඟිනි.
තිලක්ෂණී මධුවන්ති ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සම්පුර්ණ සටහන මෙසේයි.

“ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා……..
දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.
මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.
වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.
ඔවුන් අසාධ්‍ය රෝගීන්.
වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.
අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.
ඉතිරි සියලු ආසාදිතයින් (සියය ඉක්මවූ පිරිසක්) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.
තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.
මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.
අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.
සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.
මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.
ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.
කාර්ය මණ්ඩලය සීමිතයි.
ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.
මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.
මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.
මීට වඩා අසරණකමකුත් නෑ.
හෙට මමත් ආසාදිතයෙකු වෙයි.
මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.
කොරෝනා සුළුවෙන් තකන්න එපා.
පුළුවන් තරම් පරිස්සම් වෙන්න.
පවුලේ හැමෝම පරිස්සම් කරගන්න…”

(මෙහි පළවන ඡායාරුප තිලක්ෂණී මධුවන්තිගේ සහ අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරුප කිහිපයකි)

Leave A Reply

Your email address will not be published.

3 × two =