රටක් හෝ රටක වැසියන් ගැන නොසිතන රටක් ඇත්නම් ඒ මෙසිරිලකමයැ..!

ගුරු අරගලය සාධාරණය. හෙදියන්ගේ ඉල්ලීම්ද අසාධාරණ නොවේ. ඔවුන්ද සටන් කළේ GMOA ඔවුන්ගේ ඉල්ලීම් පමණක් දිනා ගැනීමට කූඨ ලෙස කටයුතු කිරීම නිසාය.
ගුරුවරුන් ඇවිස්සුණේ මේ මොහොතේ හෙදියන්ගේ ඉල්ලීම් දෙන්නට ආණ්ඩුව එකඟ වීම නිසාය.
වසරකට වඩා කාලයක් වරින් වර රට ලොක් ඩවුන් වීම හා කොවිඩ් රැළි තුනකට මුහුණ දීමත් ගිනිබත් නෞකාවන්ගෙන් සිදුවූ පරිසර හානියත් හේතුවෙන් රටේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා කරන්නන්ට ජීවිකාව ගැට ගසා ගැනීම අතිශයින්ම අසීරු වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
මින් වඩාත් බලපෑමක් ඇතිවූයේ ත්‍රිරෝද , මගී ප්‍රවාහන, එළවළු හා මාලු විකිනුම් ,පදික වෙළෙන්දන්, හා වතු ක්ෂේත්‍රයන්හි රැකියා කරන දිනපතා ආදායමක් සොයා ගන්නන්ටය. මේ පිරිස අති විශාලය.
සංචාරක ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ කෙළින්ම හා වක්‍රව රැකියා කළ බොහෝ දෙනා අසරණයන් බවට පත් වූවෝය.
කෙසේ වෙතත් රජයේ සේවකයන්ට තම වැටුප ලබා ගැනීමේ ගැටළුවක් පැන නොගැණින. ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ රැකියා වෙත යාමට ප්‍රවාහන පහසුකම් අඩු වීම නිසා කොවිඩ් අවදානමින් කාර්‍යාල වෙත පැමිණීමේ දුෂ්කරතාවටයි.
මේ වන විට නිසි කලට කොවිඩ් එන්නත් ගෙන්වා ගැනීම පමා කළ වරද වසා ගනිමින් සිටින ආණ්ඩුවට වැඩිවන ඩෙල්ටා කොවිඩ් රැල්ලට මුහුණදීමේ සැලසුමක් නොමැත්තේ නම් හුදෙක් සංදර්ශන වලින් වැඩක් නොමැත.
රෝහල් ඇඳන් 10,000 ක් හදන්නට විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කළත් මේ වන විට තවත් ඇඳන් මදි බව හෝ ඒවා තබන්නට රෝහල් වල ඉඩ නොමැති බව ඔක්සිජන් හිඟ කම හෝ වැඩිවන රෝගීන් සංඛ්‍යාවට ඔරොත්තුදෙන සාත්තු සේවකයන් හෙද හෙදියන් හා දොස්තරවරුන් අඩුකම හෝ වහාම අලුතින් වාට්ටු සැදිය යුතු බව හෝ හතරවෙනි රැල්ල අවම කිරීම සඳහා රට වැසීම හෝ සංචරණ සීමා පැනවිය යුතු බව හෝ වටහා ගැනීමට ආණ්ඩුව අසමත් ය.
නොඑසේනම් ජනතාවට හෙණ ගැසුවත් ඔවුන්ට ඉන් වැඩක් නොමැත.
මේ වන විට රජයේ රෝහල් සියල්ලේ කොවිඩ් රෝගීන්ට ඉඩක් නොමැත. වාට්ටු වල එක ඇඳක දෙන්නා තුන්දෙනා සිට්යදී ඇඳන් යටද කොරිඩෝ දිගේ බිමද ලෙඩ්ඩුන්‍ ය.
රාගම රෝහලේ මෙහි දැක්වෙන දසුන් අතිශයින්ම බියකරුය. එය මිහි පිට අපායක් බඳුය.
ඩෙල්ටා රැල්ලේ භයානක කම ඉන් මොනවට පැහැදිලි වේ.
ජෝසප් ස්ටාලින් සාර්ථක වෘත්තීය සමිති නායකයෙකි. අරගලයට කප්පිත්තෙකි.
නොඑසේනම් දස දහස් ගණනින් ගුරුවර ගුරුවරියන්, විදුහල්පතීන් මේ කොවිඩ් අවදානම මධ්‍යයේ පාරට බස්සන්නට නොහැක. එහෙත් ඔහුද යතාර්ථයට මුහුණ දිය යුතුය. සටන බැක් ෆයර් වන්නේ නම් එහි අවදානමද ඔහු ගත යුතුය.
වඳින්න වඳින්න ගහන එකා මෝඩය. ගහන්න ගහන්න වඳින එකාත් මෝඩය.
මේ අවස්ථාවේ ආණ්ඩුව පිළිනොගත්තත් භාණ්ඩාගාරය හිස් ය.
එහෙව් එකේ බිලියන ගණනක් වෙන් කළ යුතු වැටුප් වැඩි කිරීමක් ඔවුන්ට කළ නොහැකිය.
එනිසා ඔළුව බිම තියන් ඉල්ලුවත් මේ අවස්ථාවේ ඔය කියන හෙදි වැටුප් වර්ධකයවත් ඉල්ලන ගුරු වැටුප් සංශෝධනයවත් වෙන්නේ නැත. බීරි අලින්ට කොතෙක් වීණා වාදනය කළත් වැඩක් නොවේ.
මේ මොහොතේ විය යුත්තේ රටේ වෙන්නට යන ව්‍යසනයෙන් මුලින් බේරී සිටීමයි.බල කළ යුත්තේ ආණ්ඩුවේ අනවශ්‍ය මුදල් නාස්තිය හා දූෂණය අවම කරවීමටයි.
බල කළ යුත්තේ බිලියන ගණන් ණය හා පොලී ගෙවීමට තිබියදී ව්‍යාපෘති වෙනුවෙන් කියා තව තවත් බිලියන ගණන් ණය ගැනීම හෝ හදිසියේ ඒවා ක්‍රියාත්මක කිරීම වැලැක්වීමටයි.
මෙම වැටුප් විෂමතාව සකස් කිරීමට මුදල් නැත්නම් වෙනත් අනවශ්‍ය ව්‍යාපෘති නවතා ඒවාට වෙන් කරන මුදල් මේ වෙනුවෙන් ලබා ගැනීමට හැකියාවක් නොමැත්තේද?
හෙදියන්ට පොරොන්දු වූ වැඩි වැටුපත් දීමට නොහැකිව සිටින ආණ්ඩුව කිසිවිටෙක මේ අවස්ථාවේ ගුරු වැටුප් වර්ධකයක් සිදු නොකරනු ඇත. අයවැය තෙක් සිටිමු යැයි කියන්නේ කල් බැලීමටය.
සිදුවන්නට යන දේ පැහැදිලිය.
ගුරුවරුන්ට සිදුවන්නේ හතරවැනි මාරාන්තික කොවිඩ් රැල්ලේ වගකිවයුත්තන් බවට පත් වන්නටය.
එය උද්ඝෝෂණයේදී අත් අඩංගුවට ගත් ගුරුවරු 42 න් පැහැදිලිය.
ඔවුන් උසාවි දැමීමට පෙර PCR පරීක්ෂණයට ලක් කලේ හොඳකට නොවෙතත් හොඳ වෙලාවට ඒ කිසිවකු පොසිටිව් නොවීය.
උද්ඝෝෂණ වලට රොක් වන්නන් අතරින් ඩෙල්ටා ආසාදිතයන් මතු වුවහොත් හෝ කිසිවකු එමගින් මරණයට පත් වුවහොත් ඉදිරියේ එන ඩෙල්ටා කොවිඩ් මරණ රැල්ලට වරදකරුවන් බවට පත් කෙරෙනුයේ ගුරුවරුන් ය. එවිට බෙරේ පළුවකුත් නැතිව නැටූ නැටුමකුත් නැතිව ගුරු සටන නිම වන්නේ සමස්ත සමාජයේම ඔවුන් වයිරක්කාරයන් බවට පත් කරවමින් ය. බොර දියේ මාළු බාන්නට එන්නන්ගෙන්ද ඔවුන් ප්‍රවේශම් විය යුතුය.
රට බල්ලට ගියත් ආණ්ඩුවට කඩේ යන මෙරට මාධ්‍ය වලට එය සූප්පු කිරීමට හොඳ තවත් මස් කටුවක් වනු ඇත.
ආණ්ඩු පක්ෂයේ සිටියත් විපක්ෂයේ සිටියත් තමන්ගේ ගැලවිජ්ජාවට ඕනෑම බලු වැඩක් කරන දේසපාලකයන් සිටිනා රටක මේවා අරුම දේවල් නොවේ.
ගුරු සටන සාධාරණය. එහෙත් මේ එන ඩෙල්ටා කොවිඩ් රැල්ල අති භයානකය. හිස් භාණ්ඩාගාරයක් ඇති මොහොතක සාර්ථකත්වයක් නොලැබෙන සටනක අවදානම තව කොතෙක් දුරට ගත යුතු දැයි සිතා බැලීම අද හෙටම කිරීමට ගුරුවරුන්ට සිදුවනු ඇත.
– රන්ජන් පරණවිතාන (fb)

Leave A Reply

Your email address will not be published.

1 × 2 =