කොවිඩ් උත්සන්න වීම නිසා රෝහල්වල හදිසි තත්ත්වයක් !

යළිත් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීම නිසා මේ වන විට රෝහල් ගණනාවක කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටු පිරී ගොස් තිබේ.
ඒ අනුව ඇතැම් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර, රෝහල් කිහිපයක් මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කෙරිණි.
එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තාවී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනයවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි.
කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබේ.
එමෙන්ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල පහසුකම් වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.
එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ ඊයේ (03) සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්‍රිගෝ පවසයි.
රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ රෝහලේ පවතින කෝවිඩ් 19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඩ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බවයි.
මෙම හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, රත්නපුර දිස්ත‍්‍රික් කොවිඩ් කමිටුවටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ලිඛිතව දන්වා යවා තිබේ.
එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බවත් ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බවත් වෛද්‍ය අනෝජ් රොද්‍රිගෝ සදහන් කරයි.
රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ලම කල්දමා ඇති බව ද ඔහු පවසයි.
ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුළු අත්‍යවශ්‍ය නොවන සියලූ සේවා කල් දමා තිබේ.

Leave A Reply

Your email address will not be published.

ten − three =