මගේ අම්මයි තාත්තයි ගුරුවරු

මගේ අම්මා, තාත්තා මෙන්ම දහස් ගණනක් ගුරුවරුන් අද වෙන විට තම අයිතීන් වෙනුවෙන් හඬ නඟන්නට පටන් ගෙන ඇත.
ඒ අතර ගුරුවරුන් යනු කාලකණ්ණි කොට්ඨාසයක් යනුවෙන් තවකෙක් චෝදනා කර ඇත. තවත් පිරිසක් එයට උල්පන්දම් දෙමින් සිටින අතර, තවත් පිරිසක් එය පිළිකුලෙන් බැහැර කරමින් සිටිති.

මගේ අම්මා ගුරුවරියකි. තාත්තා ද ගුරුවරුයෙකි. ඉතින් මේ කතාව වචන නොකරම බැරිය.

මගේ ජිවිත කාලය තුළ මගේ අම්මා හා තාත්තා මගේ මාපියන් ලෙසටත් වඩා වැඩිපුරම දැක ඇත්තේ ගෞරවනීය ගුරුවරුන් ලෙසටයි. ගුරු දෙපළක දරුවකු වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

සාමාන්‍ය සිරිතක් විදිහට අවුරුද්දකට එක වතාවක් වත් ගලන ගංවතුරට පාරවල් යටවෙන කොට අනිත් ළමයින්ට ඒක free bonus එකක් විදිහට හම්බවෙන නිවාඩු කාලයක් වුණාට මට එහෙම වුණේ නෑ.

Bike එකට හබල් දෙකක් හයි කරලා හරි අම්මයි, තාත්තයි මාවත් කුදලාගෙන ඉස්කෝලේ යන එක අනිවාර්ය අංගයක්.
සාමාන්‍යයෙන් 1.30ට ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න අනික් ළමයින්ට පුළුවන් වුණත්, අම්මගෙයි, තාත්තගෙයි ඉස්කෝලේ රාජකාරි ඉවර වෙලා මට යාන්තම් ගෙදරට එන්න හම්බ වෙන්නේ 3.30ත් පහුවෙලා.

සතියට වතාවක්, දෙවතාවක් නොවරදවාම අම්මා හවස් වරුවත් පාසලේ රාජකාරි වැඩ වෙනුවෙන්ම වෙන් කරන විට 3.30ට හෝ ගෙදර පැමිණීම මට හීනයක්ම පමණයි. එවැනි දවස්වලට අම්මාගේ වැඩ ඉවර වෙන තුරු පුටුවක් උඩට වී බකන්නිලන් සිටීම මගේ සිරිතයි.

නිවාඩු කාලයේ දීත් පරමාගල කන්ද වැනි ප්‍රශ්න පත්‍ර ගොඩකට අම්මාත්, තාත්තාත් යට වන විට මට ද MCQ ප්‍රශ්න පත්‍ර බලන වැටුප් රහිත සහායක තනතුරක් හිමි වීම අනිවාර්යයි.

ඒ සාමාන්‍ය දවස්වල ය.

කොරෝනා සමයේ ගුරු දෙපළකගේ දරුවකු වීම අතිශය කටුක හා ත්‍රාසය, භීතිය පිරි අත්දැකීමකි.

අපි තාක්ෂණය සමඟ හැදී වැඩුණු පරපුරක් වුණත් අම්මලාගේ සහ තාත්තලාගේ පරපුරට තාක්ෂණය යනු අඟහරු ලෝකයේ භාෂාවකි.
පළමු කොරෝනා රැල්ලත් සමඟ පැය 24 පුරා ගෙදර අසන්නනට ලැබෙන්නේ…

“ළමයින්ට උගන්නන විදිහක් නෑනේ, syllabus cover කරන්නේ කොහොමද,exam එකට ළමයි ටික ලෑස්ති කර ගන්න බැරි වෙනවා” වැනි මැසිවිල්ලකි.

ඉන් අනතුරුව එළැඹෙන්නේ අම්මා සහ තාත්තා WhatsApp” Viber” PDF වැනි වචන සමඟ ගැටෙමින් තාක්ෂණය ඉගෙන ගන්නා සමයයි.

සිය ජීවිත කාලයේ කිසිම දිනක call එකක් ගැනීම සහ massage එකක් යැවීම හැර අන් කිසිම දෙයකට තම ජංගමය භාවිත කර නැති මගේ දෙමාපියන් තමන්ගේ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට ඉගැන්වීමට ඇති උණ නිසාම තාක්ෂණය විෂයයෙහි ‘අ’ යනු ‘ආ’ යනු ඉගෙන ගැනීමට පෙළැඹීම පිළිබඳව මම විමතියට පත් වීමි.

ඉන් අනතුරුව පැමිණෙන්නේ zoom සමයයි. zoom පන්ති පැවැත්වීම සඳහාම අලු‍තින් ජංගමයක් ද ගන්නා අම්මා zoom link එකක් සෑදීමේ සිට සෑම පියවරකම සිදු කළ යුත්ත අපෙන් නැවත නැවත අසමින් කොළයක සටහන් කර ගන්නේ ඉඳහිට මගේ යකා ද නිඳි පැදුරෙන් නැගිට්ටවමිනි.

මේ zoom සමය පුරාවට මා නිඳි යහනෙන් බොහෝ විට අවදි වූයේ අම්මාගේ හෝ තාත්තාගේ zoom පන්තියක වූ අකරතැබ්බයකට පිළියම් සොයා දෙන මෙන් ගෙදර ගිගුම් දෙන්නට කරන හදිසි නිවේදනයකට පින්සිදු වන්නටය.
මේ අපේ ගෙදර කතාව විතරක්ම නෙමේ. ගුරුවරයෙක් ඉන්න සෑම ගෙදරකම කතාව මෙහෙමයි. ඒ සෑම ගුරුවරයකුගේම අව්‍යාජ වීර්යය කියාපාන්නේ සිය දරුවන්ට උගන්වන්නට ඔවුන්ට ඇති ඇම්ම ය. සමහරක් දේශපාළුවන් ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ ඒ ඇම්ම ගැනය.

කිසිදු ගුරුවරයකු සමාජයෙන් වීර විභූෂණ නාම ඉල්ලා සිටියේ නැත. වරප්‍රසාද ඉල්ලා සිටියේත් නැත. “අපි තමා හොඳටම කළේ” යැයි පිළිගන්නා මෙන් ඉල්ලා සිටියේත් නැත. කෝටි ගණන් යාන-වාහන ඉල්ලු‍වේත් නැත.

ගෙදර ජල, විදුලි බිල්පත් ගෙවා දෙන මෙන් ඉල්ලු‍වේත් නැත. නිවාස සංවර්ධන අධිකාරිය වැනි උසස් ආයතනවල සභාපතිකම් දෙන මෙන් ඉල්ලු‍වේත් නැත.

සරලවම 24 වසක් මුළුල්ලේ ඔවුන්ට හිමි වීමට නියමිතව තිබූ එහෙත් වංචාසහගතව කප්පාදු කළ තම වැටුප් අයිතිය පමණක් ඔවුහු ඉල්ලා සිටිති.

24 වසරක් මුළුල්ලේ යුක්තිය තකා නීත්‍යනුකූල ලෙස අදාළ බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. එහෙත්, ඇසිය යුත්තන් නෑසුකන්ව සිටින විට කන හරහා තදබල අතුල් පහරක් එල්ල කර හෝ අවධානය දිනාගත යුතුව ඇත. මේ අරගලය ඒ අවධානය දිනා ගැනීම වෙනුවෙනි.

ගුරුවරු යනු වීරයන් තනා ඔවුන් වේදිකාවල රඟන අයුරු නිහතමානී ආඩම්බරයකින් බලා සිටින නිර්මාණකරුවෝ ය. එහෙත් නිර්මාණය ගැන කතා කරනවා විනා නිර්මාණකරුවා ගැන කතා කරන්නට අපිට කොයින් ද රුදාවක් ? එනිසාම සමාජයට ඔවුන් අමතකව ගොස් ඇති හැඩයි. ප්‍රශ්න කිරීමට ඔවුන්ට ද අයිතියක් ඇති බව අපට අමතක වී ඇත. අප පෝෂණය වූයේ ඔවුන් අතිනි. එනිසාම ඔවුන් පසෙකින් සිට සහාය දීම අප

යුතුකමකි; වගකීමකි.

ඔවුන් කාලකණ්ණින් ලෙස හංවඩු ගසන්නන්ට මට කීමට ඇත්තේ මෙපමණකි.
මගේ ජීවිත කාලය තුළ මම කාලකණ්ණි ගුරුවරුන් දැක නැත.
එහෙත්…,
තමන්ට ජීවත් වීමට තරම් වත් නැති සොච්චම් පඩියෙන් කොටසක් ආර්ථික අපහසුතා ඇති දරුවන්ට මාසිකව පරිත්‍යාග කරන ගුරුවරුන් මම දැක ඇත්තෙමි.

තරග විභාග සඳහා අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොත් පත් දුප්පත් දරුවන් වෙනුවෙන් මිල දී ගන්නා මගේ අම්මා වැනි ගුරුවරුන් මම දැක ඇත්තෙමි. දුර්වල දරුවන් සඳහා සිය අතිරේක කාලය ද වැය කරමින් උගන්වන ගුරුවරුන් මම දැක ඇත්තෙමි. සිය උපන් ගම් බිම්වලින් ගවු ගණන් දුර පිහිටි දුෂ්කර පාසල්වලට පැමිණ බෝඩිමක සිය තුරුණු දිවිය වැය කරමින් පොඩි උන්ට අකුරු උගන්වන්නට සිය දිරිය කැප කරන ගුරුවරුන් මම දැක ඇත්තෙමි. සිය මුදල් වියදම් කරමින්, දරුවන් පාසල් තරගාවලි සඳහා රැගෙන ගොස් පාසලට ජයග්‍රහණය ගෙන දෙන ගුරුවරුන් මම දැක ඇත්තෙමි. දෙමාපියන් අහිමි වූ දරුවන්ට මවක, පියකු වන ගුරුවරුන් මම දැක ඇත්තෙමි. ස්වකීය දරුවන් අසල්වැසි නිවසක දමා විත් රැයක්, දවාලක් නොමැතිව නැවත නිවස බලා යන්නට ඇති අවසාන බස් රථය ද මඟහැරෙන තුරු පාසල සහ දරුවන් සමඟ වෙහෙසෙන ගුරුවරුන් මම දැක ඇත්තෙමි. ඉතින් මා කාලකණ්ණි ගුරුවරුන් දැක නොමැත.

එහෙත් මම ඕනෑවටත් වඩා වැඩියෙන් කාලකණ්ණි දැක ඇත්තෙමි. විල මැද බංගලා තුළ සැප සේ මහජන මුදලින් කා බී සැනසෙන, සමස්ත දේශයක් පාළු කරනා කාලකණ්ණි මම සියැසින්ම දැක ඇත්තෙමි.
දයාබර ගුරුවරුනි…,
ඔබ සටන අත් නොහැරිය යුතුව ඇත. ඔබ ජය ගත යුතුව ඇත.
කිත්මා නින්නාදි

Leave A Reply

Your email address will not be published.

ten + 1 =