ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ – හැංගි හොරා කරන තර්ජන

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරුවල නිරවද්‍යතාවය නිගමනය කිරීම සහ නිර්දේශ කිරීම සඳහා ලංකාව තුළ වැඩි මැදිහත් වීමක් කරනු ලබන ඉන්දියානු ලිපිනයක් සහිතව ලංකාව තුළ ද ක්‍රියාත්මක වන ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ’ විසින් ලංකාව තුළ වසන්වී කටයුතු කර ඇති ආකාරය අනාවරණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විශාල පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් අප වෙත ලැබෙන්නට විය. එසේම lankaweb.lk වෙබ් අඩවිය තුළ සහ ෆේස්බුක්, වට්ස්ඇප් තුළ පළවූ එම සටහන් සඳහා ද සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රතිචාර රැසක් දක්වා තිබිණි. එම ප්‍රතිචාර බොහොමයක අප විසින් අනාවරණය කරන ලද කරුණු සනාථ කර තිබූ අතර, ඊට අමතරව මෙම කණ්ඩායම සිදු කරන පාර්ශ්වීය සහ අසම්පූර්ණ විමර්ශන මත පදනම්ව ගනු ලබන නිගමන, නිර්දේශ ලෙස ලබා දීමෙන් ඔවුන්ට සිදු වූ අසාධාරණයන් ගැන ද සඳහන් වී තිබිණි. එම තත්ත්වය අප විසින් ද හඳුනාගෙන තිබූ අතර, මෙම අනාවරණය සිදු කරන්නේ ඔවුන් විසින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට සිදු කරනු ලබන අසාධාරණය වෙනුවෙනි.

හොරාගෙ අම්මගෙන් පේන ඇසීම

යම් කිසි කරුණක නිරවද්‍යතාව විමර්ශනයෙන් ඊට හොඳම සාධාරණයක් ඉටු කළ හැකි වන්නේ ඊට අදාළව පැති ගණනාවකින් විමර්ශන සිදු කර අවසාන නිගමනයකට එළැඹීම මඟිනි. එහෙත් මේ කියන ‘අදිසි නිර්දේශකරුවන්’ වන ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ – ශ්‍රී ලංකා’ කණ්ඩායම ඉතාමත් වේගයෙන් සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරන්නේ එකී අවම සදාචාරය හෝ ආරක්ෂා නොකරමිනි.

මීට හොඳම උදාරහණයක් වන්නේ රාගම රෝහලේ කොරෝනා රෝගීන් සිටින ආකාරය යැයි කියමින් සංසරණය වූ වීඩියෝ දර්ශන කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශයයි. මෙම වීඩියෝ දර්ශන අතුරින් එක් වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ මහර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයකු විසිනි. වෙනත් පුද්ගලයන් විසින් නිකුත් කරන ලද තවත් වීඩියෝ දර්ශන දෙකක් ද මේ කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මේ සම්බන්ධයෙන් ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ – ශ්‍රී ලංකා’ කණ්ඩායම කර තිබූ විමර්ශනය වූයේ රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසීම පමණි. එසේ කළ විමසීමේ දී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, මේ රාගම රෝහලේ හදිසි අනතුරු වාට්ටුව ආශ්‍රිත දර්ශනයක් බවත්, සාමාන්‍යයෙන් ඕනෑම දිනක හදිසි අනතුරු වාට්ටුව ආශ්‍රිතව මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි බවත් ය. ඒ සමඟම රාගම රෝහලේ කොවිඩ් වාට්ටු කිහිපයක ඡායාරූප ද රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඔවුන් වෙත එවා තිබූ බවත් සිය වෙබ් පිටුවේ දක්වා තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයාට අමතරව දර්ශන නිකුත් කළ එක් අයකුගෙන් හෝ මොවුන් කිසිදු විමසීමක් සිදු කර නැත. අවම වශයෙන් තම අනන්‍යතාව පැහැදිලිව කියා සිටින, ඒ නිසා සම්බන්ධ කර ගැනීම ද අපහසු කාර්යයක් නොවන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගෙන් හෝ ඒ පිළිබඳව විමසීමක් කිරීමට මොවුන් කටයුතු කර නැත.

එසේම හදිසි අනතුරු නිසා සාමාන්‍යයෙන් වැඩි හානියක් සිදු වන්නේ ශරීරයේ බාහිර ප්‍රදේශවලට ය. අභ්‍යන්තර හානි සිදු වී තිබුණත්, බොහෝ විට බාහිරව යම් හෝ හානියක් සිදු වී තිබිය යුතු ය. එහෙත්, මේ විඩියෝ දර්ශන තුළ සිටින එකදු පුද්ගලයකුගේ හෝ අතක, කකුලක සිදු වූ තුවාළයක් හෝ දැකගත නොහැකි ය. ඒ නිසා රෝහල් අධ්‍යක්ෂවරයා පවසන කරුණු සත්‍යය දැයි තහවුරු කර ගැනීමට නිරීක්ෂකයකු අනිවාර්යයෙන්ම රෝහල වෙත යා යුතු ය. මොවුන් එවැන්නක් ද සිදු කර නොමැත. ඒ වෙනුවට රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය සහ ඔහු විසින් එවූ ඡායාරූප මත පමණක් පදනම්ව රාගම රෝහලේ කොරෝනා රෝගීන් පිළිබඳව සංසරණය වූ වීඩියෝ දර්ශන අසත්‍යය බව ෆේස්බුක් සමාගම වෙත නිර්දේශ කර යවා තිබේ.

යමක් බොරු යැයි චූදිතයා කියූ පමණින් අනාවරණය කළ කරුණු අසත්‍යය යැයි කීම ‘ෆැක්ට් චෙක් කිරීම’ යැයි මොවුන් සිතන්නේ නම්, එය මොන තරම් අමනෝඥ වටහා ගැනීමක් දැයි මොවුන් නොදන්නවා විය හැකි ය. මෙවැනි පාර්ශ්වීය, නැතහොත් චූදිත පාර්ශ්වයෙන් පමණක් විමසා සිදු කරන ලද නිගමන ගණනාවක්ම මොවුන්ගේ වෙබ් පිටුවේ අන්තර්ගතයන් පරීක්ෂා කිරීමේ දී දැක ගත හැකිය.

හතරවරං නිර්දේශ

දෙහිඅත්තකණ්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රථයක පසුපස රැගෙන ගියේ යැයි හුවමාරු වූ ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් ද මොවුන් විසින් විමර්ශනයක් සිදු කර තිබේ. දෙහිඅත්තකණ්ඩිය අවට හමුදා කඳවුරුවල හමුදා නිලධාරීන් කොරෝනා රෝගීන් ගෙන යාම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ කැබ් රථයක රෝගීන් රැගෙන ගිය බව සත්‍යය දැයි ඔවුන් විමර්ශනය කළ බව සඳහන් වේ.

ඒ සඳහා ඔවුන් දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳ පළ කර තිබූ වාර්තාවක් සහ හමුදා මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමක දී ලබා දුන් පිළිතුරු විමර්ශන සාක්ෂි ලෙස දක්වා තිබිණි. එසේම එහි තව දුරටත් දක්වා තිබුණේ “මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකරමින් යුද හමුදාපතිතුමා තව දුරටත් පවසා සිටියේ, Covid-19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම්, 1906 කෙටි දුරකථන අංකයට අමතන්න” යනුවෙන් පැවසූ බව ය. එම ප්‍රකාශය දැක්වෙන සබැඳියක් ද එතැනම දක්වා තිබුණු අතර, එම සබැඳියට පිවිසි විට රූපවාහිනී නාළිකාවක කොරෝනා රෝගීන් රැගෙන යාම සම්බන්ධයෙන් හමුදාපතිවරයා කළ ප්‍රකාශයක් හැර දෙහිඅත්තකණ්ඩියේ සිදුවීමක් පිළිබඳ කිසිදු සඳහනක් එහි දී සිදු නොකරන බව පෙනී යයි.

ඒ කරුණු මත පදනම්ව ඔවුන් විසින් නිගමනය කර ඇත්තේ, දෙහිඅත්තකණ්ඩියේ කොරෝනා රෝගින් රැගෙන යාමට කැබ් රථයක් භාවිත කිරීම සත්‍යය නමුත්, හමුදාව රෝගීන් රැගෙන යාමේ කටයුතු සඳහා සහයෝගයක් ලබා නොදෙන බවට වන ප්‍රකාශය අසත්‍යය බව ය. ඒ අනුව ඔවුන් අවසාන නිර්දේශය ලෙස ‘දෙහිඅත්තකණ්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රථයක පසුපස රැගෙන ගිය පුවතේ සැබෑ කතාව !’ යන ශිර්ෂ පාඨය නොමඟ යවනසුලු එකක් බව සඳහන් කර තිබේ. එහෙත් එසේ නිර්දේශ කර ඇත්තේ, එම ඡායාරූප ද, නැතහොත් ඔවුන්ම උපුටා දක්වා ඇති ෆේස්බුක් පෝස්ට් එක ද, නැතිනම්, ඉහත සඳහන් කර ඇති වාක්‍ය ඛණ්ඩය ද යන්න පැහැදිලි නැත.

මෙසේ තම නිර්දේශය පවා නිරවුල්ව ඉදිරිපත් කර ගත නොහැකි පිරිසක් හෝ කිහිප දෙනකු විසින් ෆේස්බුක් වෙත නිකුත් කරන නිර්දේශ නිසා ප්‍රකාශනයේ අයිතියට සිදු වන බාධාව කොතරම් බරපතළ ද?

ඈත – මෑත වංගුව

ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් දින වකවානු පටළවාගෙන, වසර කිහිපයකට පෙර සිදු වූ සිදුවීමක් මේ දිනවල සිදු වූයේ යැයි වැරැදි අර්ථකථනයන් දී පළ කිරීම සමාජ මාධ්‍ය පරිශීලකයන් තුළ වැරැදි අවබෝධයක් ඇති කිරීමට හේතුවකි. ඒ නිසා එවැනි වැරැදි කරුණු නිවැරැදි කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එහෙත්, ඒ නිරීක්ෂණ මත පදනම්ව කරන නිර්දේශවල දී වැරැදි අර්ථකථනය සම්බන්ධයෙන් පමණක් නොව අදාළ ඡායාරූපයට හෝ වීඩියෝවට ‘Fact checked – false’ ලේබලය ගැසීම මඟින් සිදු වන්නේ නිවැරැදි කරුණු සහිතව එම පුවත බෙදාහැරීම ද අවහිර වීමකි. ඇතැම් සිදුවීම් සිදු වූ කාලය කුමක් වුවත්, සිදුවීම සමාජයම දැනගත යුතු වැදගත් ප්‍රවෘත්ති ය. ඒවා ‘මෑත දී සිදු වූයේ යැයි’ කියා තිබුණු බව යොදා ගනිමින් මොවුන් ‘දැන් ඒවා සිදු නොවන බවට’ ව්‍යංගාර්ථයක් ලබා දෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් නිසා ද යන සැකය මතු වන්නේ එවැනි නිර්දේශ නිකුත් කරමින් අවහිර කරන ලද ඡායාරූප සහ වීඩියෝ පරීක්ෂා කළ පසු ය.

ආණ්ඩුවට මුල් තැන

පසුගිය ජුනි 01 වන දින සිට ජූලි 28 වන දින දක්වා ආසන්න වශයෙන් මාස එකහමාරක පමණ කාලයක් තුළ මොවුන් විසින් විමර්ශනවලට ලක් කරනු ලැබ නිර්දේශ නිකුත් කර ඇති තොරතුරු අතුරින් වාර්තා 26ක් ආණ්ඩුව, ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හෝ කණ්ඩායම්, ආණ්ඩුවට ප්‍රසිද්ධියේ සහාය පළ කළ පිරිස් සම්බන්ධයෙන් පළ වූ වාර්තා ය. විපක්ෂය හෝ විපක්ෂයේ කණ්ඩායම් පිළිබඳව පළ වූ වාර්තා ගැන සිදු කර තිබෙන විමර්ශන ගණන ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි. එසේම ආණ්ඩුව සම්බන්ධයෙන් පළ වූ වාර්තා විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී ඉන් වැඩි ප්‍රමාණයකට ඉතා වේගවත් මැදිහත් වීමක් සිදු කරන බවත්, විපක්ෂය සම්බන්ධයෙන් ඊට සාපේක්ෂව වැඩි කාලයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්නට ඉඩහැර පසුව නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරන බවත් හඳුනා ගත හැකි ය. එය ද එක්තරා උපක්‍රමික භාවිතයකි.

කවුද මේ සාරා ?

මෑතකාලීනව ‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ – ශ්‍රී ලංකා’ නමින් හැඳින්වෙන ‘පරීක්ෂක කණ්ඩායම’ සිදු කළේ යැයි කියා නිර්දේශ ඉදිරිපත් කරන ‘පරීක්ෂකයා’ ලෙස ‘සාරා ගුණරත්න’ යන නම දක්වා තිබේ. එහෙත්, එම වෙබ් අඩවියේම මොවුන්ගේ පරීක්ෂක කණ්ඩායම තුළ සාරා ගුණරත්න යන නමක් සඳහන් නොවේ. එම නම අන්තර්ජාල සබැඳියක් ලෙස ප්‍රදර්ශනය කර ඇතත්, ඒ හරහා ඔහු හෝ ඇය පිළිබඳ තොරතුරු දැනගැනීමට ඊට පිවිසීමට හැකියාවක් එහි නොමැත. ඒ වෙනුවට එමඟින් පිවිසෙන්නේ ඔවුන්ගේ පොදු විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ය. එම ලිපිනය හරහා ‘සාරා ගුණරත්න’ නමැති අය සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලීම් කළ ද එවැනි සම්බන්ධීකරණයක් ඔවුන් විසින් මේ වන තෙක් සිදු කර නැත.

අවදානමට අවැසි සූදානම

‘ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ – ශ්‍රී ලංකා’ කණ්ඩායම පමණක් නොව මේ ආකාරයෙන් වගකීම් විරහිතව, පාර්ශ්වීයව සහ සැලැසුම්සහගතව නොමඟ යවන ආකාරයේ මැදිහත් වීමක් කවුරුන් විසින් සිදු කරනු ලැබුව ද එමඟින් ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතියටත්, තොරතුරු දැනගැනීමට ඇති අයිතියටත් සිදු කරන්නේ බරපතළ තර්ජනයකි. ඒ නිසා සමාජ මාධ්‍ය පරිශීලකයන්, මාධ්‍යවේදීන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ඇතුළුව මේ අවදානමේ බරපතළ බව තේරුම් ගත හැකි සියලුම දෙනාගේ ඉක්මන් මැදිහත් වීමක් මේ සඳහා අවශ්‍ය ය.

– චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

2 × 2 =