මේ මොහොතේ ගෙම්බො ළිඳේ නෙමෙයි ටින් එකේ…

මං කැමැතියි අර පාසල් යන කාලෙ පෙම්වතියන්ට ලිව්වා ය කියන කවි යැයි සැක කළ හැකි රචනා ළඟින් අපේ සංවාදය ආරම්භ කරන්න. ඒක ද විදුර ඩයස්ගෙ ලිවීමේ ආරම්භය ?

සපුගස්කන්ද කනිෂ්ඨෙ – දැන් ඒක සෝභිත විද්‍යාලය – තුනේ හෝ හතර පංතියේ දි ලියපු කවි රචනාවක් මට යාන්තම් මතකයි, ඒකෙ තිබුණා ‘අපි වෙමු මල් වැනි පුංචි ළමයි’ කියල කොටසක්. මේක දැකපු මගෙ අම්ම කිව්වා, ‘වෙමු අපි පුංචි ළමයි මල් වැනි පුංචි ළමයි’ කියලා පද එහෙ මෙහෙ කරන්න කියලා. මා ලියූ කවියක පැරැණිතම මතකය ඒක. මට හිටියා ලාල් නමින් මාමා කෙනකුයි බාප්ප කෙනකුයි. බාලාංශෙ, එක, දෙක වසරවල මම මොල්ලිගොඩ පල්ලිය ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ පාසල් ඇරුණු වහා දිව යන්නේ, නිවාඩු දවසට ගිහින් ඉන්නේ, ලාල් මාමලෑ ගෙදර. ඔහු හොඳ රසිකයෙක්. කැසට් පීස්වල සිංදු රෙකෝඩ් කරගෙන ඇවිත් ඔහු නිතර අසනවා. ඔහු අසන ගී අතර ‘පෙමාතුර හැඟු‍ම්’, ‘සීත රෑ යාමේ’ ආදී ගීත මට කටපාඩම්. අර්ථය දන්නෑ. ඒත් පංතියේ සිංදුවක් කියන්න කිව්වාම කාලයක් මම ගැයූ ‘ළමා‘ ගී ඒවා. තුන වසරෙදි සපුගස්කන්ද කනිෂ්ඨ විද්‍යාලයට මාරුවෙන්නෙ මාකොළ පදිංචියට ආවම. එතකොට අපි නවතින්නෙ ලාල් බාප්පාට අයිති ගෙදරක. මට අහන්න ලැබෙන්නේ ලාල් බාප්පා රුචි, සැමැන්තා ෆොක්ස්, ඇබා, මයිකල් ජැක්සන්, බොනියම්ස්ලගෙ සිංදු. බාප්පා අපව ගෙදරින් පාරට ඇද දැමුව නිසා මාකොළ පළමු කුලී ගෙදර පදිංචියට යනවා. ඊට පසු සෑහෙන කුලී ගෙවල් ගණනකට මාරු වුණා. දරිද්‍රතාවෙන් පිරුණත්, ඒ කුලී ගෙවල්වලින් ගෙයින් ගෙයට මාරුවීම් මට විවිධ මිනිස්සු මුණගැස්සුවා, විවිධ පරිසර හමු වුණා. ඒ නිසා ම ඔබ අහපු ලෙස පෙම්බරියන් ගණන වැඩිවුණා. ඒ පළමු කුලී ගෙයි බිත්තියක මම කුරුටු ගා තිබුණා කවියක්. ඒ තමා ප්‍රේමය මට ආසාදනය වෙමින් තිබුණ කාලය. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරය ඒ කවියෙ තියෙනව.

“ගිලන් වියැ හද
ඔසු උයන මැද
නමුදු ඔබයැ ළඳ
එක මැ ඔසුවැ හද”

විදුර ඩයස් අභයගුණවර්ධන ‘සරැළි‘ නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කරන්නට සැරැසෙයි. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සංවාදයකි.

ලියන, කියවන එක සීරියස් දැනෙන්න පටන් ගත්තෙ කොයි කාලෙ, කොහොම ද?

මොල්ලිගොඩ වෙරළ, මුහුද පිළිබඳ ඇති කෙළිදෙල, සුන්දර, සදාතනික මතක අබිබවන්නේ මාකොළ. මාකොළ ශ්‍රී ගුණරතන ධර්ම විද්‍යාලය තමා මගෙ පිටිය. එක පැත්තකින් ප්‍රේමාසාදන, අනෙක් පසින් විවාද, කථික තරග, ගීත ගායන, නාට්‍ය රඟපෑම්, කියුම් කෙරුම් ඇතුළු මගේමය ඉතිහාසයක් ගොඩනැඟෙන මගෙ ප්‍රේමණීයතම කොලෝසියම. හැබැයි ලියන කවි අගයන්න කෙනෙක් හිටියෙ නෑ, ඒ නිසා ඒව රහස්‍ය රචනා. එකම අවස්ථාවක දී සපුගස්කන්ද පර්ෂද මූලස්ථ විද්‍යාලයේ සංගීතාචාර්ය දයාරත්න කොරතොට මහතා මගෙ වචන ටිකක් දැකලා, පාසලේ ගුරු දින උලෙළක තේමා ගීයක් විදියට තනුවක් යොදා අප ලවාම ගායනා කරවනවා. නැත්තං එතෙක් මා ලියූ දෑ ගැයුවෙ මම ම, මගෙම තනුවකට වොෂ්රූම් ගී විදිහට. දහම් පාසල් පුස්තකාලයත්, මාකොළ මහජන පුස්තකාලයත්, කොළඹ මහජන පුස්තකාලයත් තමා මගෙ උන්මාදනීය රස්තියාදුවට හේතු වන වගඋත්තරකරුවන්. ඊට එහා පැත්තෙ ජෝන්ද සිල්වා රඟහලත් ඊට අඩු-වැඩි වශයෙන් වගකිව යුතුයි.  කෙමෙන් නාගරික පදිංචියට පැමිණීමත් සමඟ දරිද්‍රතාව හා පරිභෝජනය උදෙසා ඇති වන තදබදය හා තරගය මා අතිශය වෙහෙසට පත් කරනවා. ඒ අස්සෙ කිසියම් සුන්දරත්වයක් සොයා යාමට හිත අනවරතව බල කරන්නේ ඔය කියවපු දෑ ඔස්සේ ගොඩනැඟුණ සිහිනමය හැඟීමක්. ඒත් ඒ කිසිවකට එල්ලයක් තිබ්බෙ නෑ. විරහව, දුක තමා අලෙවි කෙරෙන මහා පොදු සාධක.

මේ අතර මට හමුවෙනවා, ලාල් ආනන්ද අබේධීර කියන සංගීත ගුරුවරයාව. ස්ථානය රාජගිරියේ  ‘සංගීත් භවන්’. කේමදාසලාගේ, කපුගේලාගේ, රත්න ශ්‍රීලාගේ, එච් එම් ලාගේ දෛනික සම්භාෂණ. රෑ බෝ වෙද්දී, කෙමෙන් නිමා වෙද්දී ඔවුන් අතැර යාමෙන් හිස් වන පුටු අතර රජ කරන්නේ ලාල් ආනන්දයි, මමයි, ඔහු මධ්‍යම රැය ද පසු වන තුරු මී විතෙන් සැනැහෙමින් එළිවෙන තුරු ඔහුගේ ගීත ගායන, වාදන සහ කතා අසමින් සිටින එකම රසිකයා බවට කාලයක් පත් වුණේ මම. ඔහු දවසක් මට කියනවා, විදුර උඹ ලියනෙව්වා තුළ තියෙන, ‘ජීවන දෘෂ්ටියට‘, ‘දෘෂ්ටිවාදය‘ට මම කැමැතියි කියලා. හැබැයි, මට ඒක තේරුන්නෑ. මම එහෙම වචන ගැන බැරෑරුම් විදියට හිතන්න පෙළැඹෙන ටර්නිං පොයින්ට් එක ලාල් ආනන්ද අබේධීරගෙ ඒ වචන. ඊට පසුව ආනන්ද විද්‍යාලයේ දි හමුවෙනවා විදර්ශන කන්නන්ගර නම් මිත්‍රයෙක්. ආනන්දෙ ’99 පැවැති ‘වදනින් එහා’ කලා උලෙළේ තේමා ගීතය ලියන්නෙ මම. තනුව කළිඳු වීරසිංහගෙ. මම විදර්ශනට ඒ ගීතය මුලින්ම කියවන්න දෙනවා. විදර්ශන එයට එල්ල කරන විවේචනය කොයි තරම් බලවත් ද කියනවා නං මම ඒක ඉරලා විසි කරනවා. එදා රැය නොනිඳා පහන් කරල ආයෙත් අලු‍තින්ම එකක් ලියාගෙන විදර්ශනට දිගු කරන ගීය කියෝල ඔහු අතිශය ප්‍රමෝදයට පත් වෙනවා. කළිඳුට සිද්ධ වෙනවා අලු‍ත් තනුවක් යොදන්න. එදා, ඒ වචන කියැවීමෙන් පසුව කෙරුණු කන්නන්ගරමය රසවින්දනය, ගීය සම්බන්ධ මගෙ උත්තේජනය තීව්‍ර කරනව.

විදුර ඩයස් කියන ගී පද රචකයා ගැන අපි දන්නවා. ඔබ ප්‍රවීණ සහ ප්‍රකට පුද්ගලයන් එක්ක ගීතය හරහා ගනුදෙනු කරල තියෙනවා. අන්න ඒ ගීත රචක භූමිකාව සහ එහි ඔබට දැනෙන වෙසෙස් සලකුණු ගැන අපට යමක් කියන්න ?
‘වදනින් එහා’ කලා උලෙළට මා ලියූ ප්‍රේම ගීතයක් තිබුණා;
“මගෙ සිත් නදී
සුවඳ කර පිපුණ ඔබ
සුවඳයි
ඔව් තාම සුවඳයි”

තනුව, සංගීතය කසුන් කල්හාර, ගැයුවෙ අචල සොලමන්ස්. ඔහුත් මගෙ එවක ගීතවලට තනු යෙදූ සංගීතඥයෙක්. පාසල් කාලෙ මා ගීත තැනූ අනෙක් සංගීත අධ්‍යක්ෂ කළිඳු වීරසිංහ, ඔවුන් මතකයේ සුන්දර තැනක ඉන්න මා පාසල් මිතුරන්. කසුන් වචන ටික අතට ගත් පළමු දාම කිව්වෙ, පද රචනාවේ විශේෂත්වය,  ඒ හැම දෙනාටම සංගීතය වගේම සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් තිබුණා. ඔවුන් තිදෙනාම අනිටු රැලිවලට හසු නොවුණ පුද්ගලයන්. කළිඳුට සහ අචලට තිබෙන අනන්‍ය හඬ පරාසයන්ගෙන් ඔවුන් තවම නිසි පරිදි වැඩ අරන් නැති එක තමයි කනගාටුව. කසුන් සරල ගීතයට පමණක් සීමා වීම අපරාධයක්, ඔහු ගෝලීය සංගීතඥයෙක්. ඒ අතර වර්ෂ දෙදහස් එ⁣කේ දවසක මට අහම්බෙන් මුණගැසෙන නදීක ගුරුගේ නම් මිතුරා කියන්නෙ, සංගීතය සහ භාෂාව සම්බන්ධයෙන් විතරක් නොවෙයි, විවිධ කාරණා විෂය පරාස සම්බන්ධයෙන් පුළුල් කියැවීමක් තියෙන පුද්ගලයෙක්. ඔහුගෙ සංගීතය ඔස්සේ ගලන්නේ ඒ දේශපාලනමය පරිඥානය කියලයි මම හිතන්නේ.

සමන්ත පෙරේරා, නවරත්න ගමගේ සංගීතවත් කළ මගේ ගී දෙකක් තිබුණත්, ඒවා එතරම් කතබහට ලක් වුණේ නෑ. හැබැයි, ඔවුන් මිතුරන් විදියට අතිශය ළැදි උත්තුංග මනුෂ්‍යයන් දෙදෙනෙක්. මට වඩාත් ළෙන්ගතු සංගීතඥයන් එච්. එම්. ජයවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න, විමල් ජේ. ශ්‍රියාරත්න. ඔවුන් නිහඬ විප්ලවකරුවන්. ප්‍රසිද්ධිය හඹා නොයන්නන්. නිර්මාණයට අවංක දක්ෂයන්. එච්. එම්. සමඟ මට සින්දු දහස් ගණන් කරන්න ඉඩකඩ තිබුණා. මොක ද? පාසල් කාලයේ බොහෝ රාත්‍රීන් ගෙවුණේ ඔහු සමඟ, ඔහු පියානෝවේ යතුරු සමඟ කරන සෙල්ලම බලා සිටියා විනා මේකට තනුවක් දාන්නැයි  කියන්න තරම් ධෛර්යයක් මට කිසිදා ඇවිත් නෑ. හැබැයි, තවම නොපළ එකම එක ගීයක තනුවක් ඔහු කර තිබෙනවා. ඒකනායක වන්නිගම කියන තරුණ සංගීතඥයා කවදා හෝ ගයන්න නියමිතයි. ෂෙල්ටන් ප්‍රේමරත්න ආයෙ ලංකාවට ආවොත් අපි සැලැසුම් කරපු ගීත ගොන්නකින් එකක් හරි කරන්න ඕන කියන සිහිනයක් තියෙනවා. දැන් ඔහුටවත් ඒව මතක නැති නිසා ඒක අනියමාර්ථයේ අසම්භාව්‍ය ප්‍රාර්ථනයක්. ඔහු අතිශය විනෝදකාමී සැහැල්ලු‍ චරිතයක්. ඔහු සොහොයුරු ශ්‍රියාරත්න කියන්නේ අහිංසක කලාකරුවෙක්. කලාකරුවන් අහිංසක වුණාම සහෘදයන්ට අතහැරෙන බවට කදිම උදාහරණයක් ඔහු. තව තරුණ සංගීතඥයන් රැසක් මා හා සමඟ දැනට වැඩ කරමින් යනවා. ඔවුන් ගැන පසු දාක කතා කරමු.

ගීතය සහ කවිය මැද්දෙන් ඔබ සීමා ඉරක් අඳිනවා ද?

පැහැදිලිවම. ඒක අඳින ප්‍රධානතම ඉර සංගීතය. කවිය හෘදය සංගීතය ප්‍රධාන කොට ගත් නමුත්, ගීතය වනාහි වෙනත් සංගීත භාණ්ඩ, කටහඬ ආදී සාමුහික සංගීත නිර්මාණයක්. කවිය යනු එක අතකින් අන්තරාවර්තීය සන්නිවේදනයක්. මේ දෙකම භාෂාවේ කදිම ලංකාර නිර්මිත. අනෙක් පසින් ගීත අපට ‘ඇහෙන’ හෝ ‘අහන්න’ යන දෙකටම අදාළයි. කවිය නම් කියැවිය යුතුමයි.

අපි දැන් ‘සරැළි’ ළඟට එමු. ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය. මේ සංවාදයට ප්‍රධාන නිමිත්තත් එයම තමයි. මට කියන්න, ‘සරැළි‘ කියන්නෙ ඔබේ සිහිනයක් ද?

නෑ. මට අවශ්‍ය වුණේ මට දැනෙන දේ ලියන්න, මා දන්න දේ ලියන්න, මට හැඟෙන දේ ලියන්න, මට මතක දේ ලියන්න, මම සින්දු හෝ කවි හෝ ලියන්න හිතා සිටි කෙනෙක් නෙමේ. පාසල් කාලයේ සිට බොහෝ දෙනෙක් කිව්වා, මම ලියන එව්වා පළ කරන්න කියලා. කලින් ප්‍රශ්නයකට අදාළව, මගෙ පාසල් මිතුරන් මේ ලියන හෑලි කියවමින් විවිධ අර්ථකථන දුන්න කාලයක් තිබුණා. සමහර ඒවා විහිළුසහගතයි, බුලි කිරීම් ඒ තුළ තිබුණා. නමුත්, බොහෝ විට ඒවා කෙරෙහි නැමියාවක් ඔවුන් තුළ තිබුණා. එවකට විශාඛාවේ නෙළුම් නම් යෙහෙළියක් මට නිතර ලිපි එවමින් කිව්වෙ, විවිධ ගායක ගායිකාවන්ට ගීත ලියන්න කියල, හැබැයි මම එහෙම සින්දු ගිහින් දෙන මානසිකත්වයක නොසිටි නිසා ගීත අතළොස්සකටයි අවුරුදු විසිපහක් ගිහිල්ලත් හිමිකම් කියන්නේ. බිරින්දෑ පෙම්වතියව සිටි කාලයේ මට තනිරුල් පොතක් අරන් දෙනවා, තැන තැන ලියන්නැතිව මේකෙ ලියල එකතු කරන්න කියලා. ඒකෙ ලියන ‘සූරියකාන්ත මල්’ නම් ආඛ්‍යාන කාව්‍යය තමයි මගෙ පළමු කවි පොත වෙන්න තිබුණෙ. ඒත් ඒක එහෙම වුණේ නෑ. ඊට පස්සේ ‘ආද⁣රණීය බිස්නස්’, ‘පැරැණිතම පියාපත’ වගෙ කවි එකතු පොත් විදියට එළිදක්වන්න හිතා හිටියා. ඒත් එහෙම වුණේ නෑ. මොක ද? සිහිනයක්ව නොතිබුණ නිසා. මට හිතුණෙම මම ඒකට සුදුසු නැතිව ඇති කියල. දැන් ‘සරැළි’ නමින් පළ වෙන්නේ පළමු රැල්ලේ ලොක්ඩවුන් කාලේ මං ශුද්ධ පවිත්‍ර කර ගත් මගේ කුරුටු බලි චිත්‍ර ටිකක්. ඒකට උදවු කර ගත්ත යාළුවෝ සංඛ්‍යාව වැඩිවුණේත්, මා ලියන කවි පිළිබඳ මගෙ අවිශ්වාසය. බැරිම තැන රත්න ශ්‍රී විජේසිංහ, ලියනගේ අමරකීර්ති, සුනන්දා ප්‍රේමසිරි, බුද්ධදාස ගලප්පත්ති, සුනන්ද කරුණාරත්න, නදීක ගුරුගේ, ප්‍රණීත් අබේසුන්දර ආදී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණතා දක්වන අයගෙ උදවු පවා ඉල්ලා සිටියා, මේවා කවි දැයි බලන්න කියලා. පොතේ අන්තිමටත් මම සඳහන් කළා මේ අතර කවි තිබුණොත් කියන්න කියල.

‘අත්දැකීමෙහි නව්‍යතාව විදුරගේ කවියෙහි සාධනීය ගුණයක් ලෙස දකිමි’ කියල බුද්ධදාස ගලප්පත්ති කියනවා. ඔබේ කවි කය ගොඩනඟද්දී, ඔබ වට අවට දෑ ඔබට එල්ල කරන්නෙ කොහොම බලපෑමක් සහ උත්තේජනයක් ද?

මේ කිසිම කවියක මම නොසිටිමි කියා කිසිවකුට කියන්න බැරි තරමටම මේ සියල්ල අත්දැකීම්, අත්විඳීම්, පෞද්ගලිකවම මම සහභාගී වුණ දෑ. මට අත්දකින්න සිද්ධ  වූ දෑ. මේ හැම කවියක්ම ලියැවෙන ප්‍රස්තුතය හෝ අනුභූතියේ කොනක මම ඉන්නවා. උදාහරණයක් තොරණ කවිය ලියැවෙන්නෙ මම එය කඩාවැටුණ බව දැනහිටියත්, කිරිබත්ගොඩ පොළට ගිය ගමන් එතැනට එබිකම් කර දෑසින්ම දැකබලා ගත් පසු ඇති වන කම්පනයත් එක්ක. ඊට පසු එය යළි වර නැඟෙන්නේ පාද සටහනක් එක්ක. ඊට මුල් වෙන්නෙ ලංකාවේ දේශපාලකයන්ට කඩේ යන ආචාර්ය හිමිනමකගෙ දන මන මුළා කෙරෙන අබද්‍ර ප්‍රකාශයක් එක්ක.

මේ මොහොතෙ සමාජ මාධ්‍ය ද ඇතුළත් ලියන – කියවන අවකාශය ගැන ඔබට තියෙන්නෙ කොහොම තක්සේරුවක් ද?

මතවාදී එළැඹුම්, ගැටුම් තවම ඇතැම් තැන්හි ප්‍රාථමික ස්වභාවයක් උසුලනවා. සමාජ මාධ්‍ය යනු මේ යුගයේ ප්‍රබලතම, නූතනමය ප්ලැට්ෆෝම්ස්. හැබැයි අපි ඒවා භාවිත කරන්නේත් රෙදි අපුල්ලන මට්ටමෙන්. ළිං තුළ ටින් එකක ඉන්න ගෙම්බන් සම්පදානයෙන්. ඕපාදූප ගොසිප් තක්කඩිකම් ග්‍රාම්‍යතා උදෙසා නම් ඉන් අත් වන සුගතියක් නෑ. අපි බෙන්ස් එක පාවිච්චි කරන්න ඕන මරුටියක් පදින විදියට නෙමේ. විස්කි බ්‍රැන්ඩි බොන්නේ කසියා බොන විදියට නෙමේ. ස්මාට් ෆෝන් සහ ගල් යුගයේ ටැලිෆෝන් අතර වෙනස අපි ඉගෙන ගන්නෝනෑ. ඒ ඒ දේට අනන්‍ය පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙතින් පෙළ නොගැසෙන තාක් මොන දියුණු ප්ලැට්⁣ෆෝම්ස් ආවත් අපි ඉන්නෙ යාය දෙක ගමේ වළක් හාරගෙන.

‘සරැළි‘ සහෘදගත වන දිනය, තැන, වෙලාව සහ එදිනට වෙන්න නියමිත මොනව ද කියල අපි දැනට මේ සංවාදය මෙතැනින් නතර කරමු?

‘සරැළි’ එළිදැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා හයවන මැදිරියේ දී, නැත්නම් මුනිදාස කුමාරතුංග මැදිරිය. සවස තුනට. දවස ජූලි මාසයේ අවසන් දිනය, 2021.07.31දා. සෙනසුරාදාවක් නිසා බොහෝ දෙනකුට පහසුයි කියල හිතනවා. හැබැයි කොවිඩ් ගයිඩ්ලයින්ස් අනුව පැවැත්වෙන නිසා ඉඩකඩ අඩුවෙන්න පුළුවන්. මම කිසිවකුට විශේෂයෙන් ඇරියුම් කර නැ. හැමෝගෙම වැඩක් විදියටයි කරන්නෙ. ඒ නිසා හැමෝම විශේෂ ආරාධිතයන්. උත්සවයේ එක කතාවයි,  සාහිත්‍යවේදී සුනන්ද කරුණාරත්න තමා කථිකයා. නාරද බක්මිවැව සභාව මෙහෙයවනවා. පොතේ කවරය විකුම් ජිතේන්ද්‍රගේ. කැමරා සහ ලයිව් ස්ටී්‍රමින් ප්‍රේම්ටීවී කණ්ඩායම. මගෙ පද රචනා එකතුව තියෙන ‘විරික්ස්’ (vyrics you tube channel) හි අප්ලෝඩ් කර ඇති ඉදිරියේ දී අප්ලෝඩ් කෙරෙන ගීත ගායනා කරවන්න අදහසක් තියෙනවා. සංගීතය බුද්ධික දයාරත්න ඇතුළු The Staff. කොහොමත් මාලනී බුලත්සිංහල මහත්මිය නැති අඩුව එදිනත් මට දැනෙයි. සන්ධ්‍යා බුලත්සිංහල, කසුන් කල්හාර, දයාන් විතාරණ, අමරසිරි පීරිස්, නදීක ගුරුගේ, ඉන්දිකා උපමාලි, දුමාල් වර්ණකුලසූරිය, ඒකනායක වන්නිගම, කුෂාණි සඳරේඛා, චේතනා රණසිංහ, ආදීන් ගී ගැයීමට නියමිතයි. මේ මොහොත වන විටත් ඉන් කිහිප දෙනකු හැර බහුතරයක් එන බව තහවුරු කර නැහැ. මොක ද? ලංකාවෙ කලාව සම්බන්ධ අපි ඉන්න කලාපය ඉතා කුඩා වපසරියක් වුණත්  කලාකරුවෝ අතිශය බිසී.

■ සංවාදය කසුන් සමරතුංග

 

Leave A Reply

Your email address will not be published.

1 × three =