ලූනු වගාවෙන් ගොවීහු ඉවත් වෙති

සීගිරිය, ගලේවෙල, දඹුල්ල, නාවුල ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවතින පොහොර හිඟය හේතුවෙන් දේශීය ලොකු ලූනු වගාව මුළුමනින් ම අනාරක්‍ෂිත වී ඇති නිසා තමන් ලොකු ලූනු වගාවෙන් ඉවත් වන බව එම ගොවීහු පවසති.

ඔවුන් පවසන්නේ, මින් පෙර රසායනික පොහොර භාවිතයෙන් ලොකු ලූනු වගාව සිදු කළ බවත්, රසායනික පොහොර හිඟය මැද කාබනික පොහොර හෝ ලබා දීමට ආණ්ඩුව මෙතෙක් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවයි.

“අපි කෘෂිකර්ම ඇමතිතුමාගෙන් අහන්නේ, ආනයනය කරන ලොකු ලූනු බීජ කාබනික පොහොර යොදාගෙන වගා කළ හැකි බවට තමන්ට සහතික වෙන්න පුළුවන් ද? ඉන්දියාව ඇතුළු පිටරටවලින් ගෙන්වන ලොකු ලූනු වගා කරන්න කැලෑවල තියෙන කොළ රොඩු එකතු කරගෙන පොහොර හදා ගන්න කියන්නේ කොහොම ද? ඒ වාගේ කතා කියන්න නිලධාරීන් මොකට ද?

“මෙතැනින් පස්සේ සිද්ධ වෙන්නේ ගොවියාට ලොකු ලූනු වගාව නවත්තලා දාන්නයි. ඊට පස්සේ ලූනු ආනයනකරුවන්ට තවත් වාසියි. කොහොමත් අපි ලූනු වගාවෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙන්නේ” යැයි ලොකු ලූනු ගොවීහු පවසති●

ධම්මික ප්‍රියදර්ශන – දඹුල්ල
Leave A Reply

Your email address will not be published.

20 + twelve =