“හමුදාකරණය : අධිකරණයේ දී ප්‍රශ්න කළ නොහැකි නම්, ජනපතිගේ වගවීම සමාජය තුළ ප්‍රශ්න කළ යුතුයි”

- මහාචාර්ය ජයදේව උයන්ගොඩ

හමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡාවල දී සහ සංවාදවල දී නිතර අසන්නට ලැබේ. මේ වචනය විවිධ අර්ථයෙන් විග්‍රහ කිරීමත්, ඒ විග්‍රහයන් විවිධ දේශපාලන කෝණවලට අදාළ පරිදි
හැඩගැස්වීමත් මේ සංවාදවල දී සිදු වන බවක් ද පෙනෙන්නට තිබේ. පොදුවේ ජනතාව අතර හමුදාකරණය යනු කුමක් ද? යන වචනයට නිශ්චිත පිළිතුරක් නැතත්, එය හමුදාව වැඩි-වැඩියෙන් මැදිහත් වන තත්ත්වයක් බවට සමාජයේ අර්ථකථනයක් තිබේ.

හමුදාකරණය යනු කුමක් ද?

සාම්ප්‍රදායික අර්ථයෙන් ගත් විට යම්කිසි ස්ථානයකට හමුදාව විසින් පහසුකම් සැපයීම හෝ යම් ක්‍රියාවලියක් හමුදාමය ස්වභාවයක් ගැනීම හමුදාකරණය ලෙස හැඳින්වේ. කෙසේ වෙතත්, නවීන තත්ත්වයන් යටතේ මේ විග්‍රහය තරමක් සංකීර්ණ ලෙස තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ. සිවිල් පරිපාලන යාන්ත්‍රණය මඟින් සිදු කරන පරිපාලනමය කටයුතු කිසියම් දුරකට වෙනස් වීමේ තත්ත්වයක් හෝ වෙනස් කිරීමේ උත්සාහයක් හමුදාකරණය ලෙස වර්තමානයේ දී හඳුනා ගත හැකි ය.

මියන්මාරයේ තත්ත්වය

එසේ නව්‍ය අර්ථයෙන් ගත් විට හමුදාකරණය කොටස් දෙකකට බෙදීම මඟින් එය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත. මෘදු හමුදාකරණය (Soft Militarization) සහ දැඩි හමුදාකරණය (Hard Militarization) ඒ කොටස් දෙකයි. ලෝකය පුරා පොදු අර්ථයෙන් බැලූ විට මේ අන්ත දෙක අතර තත්ත්වයක් හමුදාකරණය ලෙස හැඳින්විය හැකි ය. මියන්මාරයේ මේ වන විට ඇත්තේ හමුදා ආණ්ඩුවකි. එනම්, සිවිල් පාලන තන්ත්‍රය වෙනුවට හමුදා පාලනයක් පැමිණ තිබේ. දකුණු කොරියාවේ ද වෙනස්කම් සහිතව මෙවැනි තත්ත්වයක් තිබිණි. පිලිපීනයේ ද එවැනි තත්ත්වයන් දැකිය හැකි විය. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ සිට මියන්මාරයේ පවතින තත්ත්වය දැඩි හමුදාකරණයට හොඳම උදාහරණයකි. එහි සිවිල් පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.

ලංකාවේ අනතුරක් තිබේ ද?

ලංකාවේ වර්තමාන තත්ත්වය ගත් විට මෘදු හමුදාකරණ ලක්ෂණ හඳුනා ගත හැකි ය. එය දැඩි හමුදාකරණ තත්ත්වයක් දක්වා යාමේ අනතුරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව බිය පළ කරනු දැකිය හැකි ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සිවිල් පරිපාලනයේ ප්‍රධාන තනතුරු වන අමාත්‍යාංශ ලේකම්, සංස්ථා ප්‍රධානීන් ලෙස හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම දිගින්-දිගටම සිදු වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට හමුදාව මැදිහත් කර ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතී. කොවිඩ් 19 වසංගත මර්දන කටයුතුවල දී ප්‍රමුඛත්වය ලබා දීමේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ද මේ තත්ත්වය පැහැදිලිව පෙනේ. මෙවැනි තත්ත්වයක් යටතේ ලංකාවේ හමුදාකරණ තත්ත්වය මෘදු තැනක සිට දැඩි බවක් දක්වා යාමේ අනතුරක් සම්බන්ධයෙන් බිය පළ කරන පාර්ශ්ව යම් ආකාරයකට සාධාරණ බව කිව හැකි ය.

ආපසු බැරැක්ක වෙත !

වසංගත, ගංවතුර, නියං වැනි හදිසි ආපදා තත්ත්වයන් තුළ දී හමුදාව යෙදැවීම දැකිය හැකි ය. එවැනි තත්ත්වයන් සිවිල් පරිපාලනයට කාර්යක්ෂම ලෙස මුහුණ දිය නොහැකි තත්ත්වයන් වේ. ඊට හේතුව සිවිල් පරිපාලනය හැඩගැසී ඇත්තේ සාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට වන නිසා ය. මෙහි දී සිදු වන්නේ මෘදු හමුදාකරණයක් ද, දැඩි හමුදාකරණයක් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව පැවසීමට හැකි වන්නේ, එය දීර්ඝකාලීනව සිදු වන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව පෙර සිටි ස්ථානවලට ආපසු යාම සිදු විය හැකි ය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව නව ස්ථාන පිහිටුවා, ඒවායෙහි ස්ථානගත වීම ද සිදු විය හැකි ය. මෙවැනි හදිසි අවස්ථාවක් සඳහා හමුදාව මැදිහත් කිරීමෙන් පසු නැවත බැරැක්ක වෙත යා යුතුයි (Back to Barrack) යනුවෙන් සංකල්පයක් තිබේ.

වචන හරඹ

මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය (War against Drugs), දිළිඳුකමට එරෙහි යුද්ධය (War against Poverty) වැනි වචන යොදා ගැනීම ද වක්‍රව මෘදු හමුදාකරණයක් ලෙස හැඳින්විය හැකි ය. යුද්ධය යන වචනය ඇසුණු විගස, ඒත් සමඟම හමුදාව, හමුදා නිල ඇඳුම සහ අවි-ආයුධ සිහියට එයි. යුද්ධය කරන්නේ කුමක් සඳහා ද යන්න සිහියට එන්නේත්, තේරුම් ගන්නේත් ඉන්පසුව ය. එම නිසා මෙවැනි අවස්ථාත් මෘදු හමුදාකරණයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.

හමුදාව රොමාන්තිකකරණය

ලංකාවේ දී පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල දී අප දකින විශේෂිත තත්ත්වයකි, හමුදාව රොමාන්තිකකරණයට ලක් කිරීම. ජනමාධ්‍ය, සංගීතය, චිත්‍රපට, ටෙලිනාට්‍ය ඇතුළු විවිධ අංශ ඔස්සේ මෙය සිදු කරනු දැකිය හැකි ය. හමුදාවේ පුරප්පාඩු පිරවීම සඳහා තරුණයන් ආකර්ෂණය කර ගැනීම ද මෙමඟින් සිදු‌ කෙරේ. එසේම දේශප්‍රේමය වැනි ජාතිකවාදී ව්‍යාපාර හරහා මතු කෙරෙන මතවාද සමාජගත කිරීම සඳහා ද මෙවැනි මෘදු හමුදාකරණයන් භාවිත කරනු ලබයි. මෙවැනි මතවාද සමාජගත කිරීම සඳහා යොදා ගන්නා ගීත සඳහා හමුදා ආචාර පෙළපාළි සංගීතයට සමාන සංගීතයක් භාවිත කිරීම ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේ දී ද බහුලව දැකිය හැකි තත්ත්වයකි.
කෙසේ වෙතත්, මේ මෘදු හමුදාකරණයේ ඇති විශේෂත්වය වන්නේ මෙමඟින් සිවිල් පරිපාලන ක්‍රියාවලියේ ස්ථිර වෙනසක් සිදු නොවීම ය. මේවා තාවකාලික හමුදාකරණ තත්ත්වයන් ලෙස ද හැඳින්විය හැකි ය.

දැඩි හමුදාකරණයේ දී සිදු වන්නේ කුමක් ද?

එහෙත් දැඩි හමුදාකරණයේ දී මෙසේ නොවේ. එහි දී හමුදාව ආණ්ඩු කිරීමේ හෝ සිවිල් පරිපාලනයේ හෝ ස්ථිර කොටසක් බවට පත් වේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් යටතේ හමුදාව තිබෙන්නේ සිවිල් පරිපාලනය යටතේ ය. හමුදාකරණ ලක්ෂණ බහුලව පවතින රුසියාවේ පවා තත්ත්වය එසේ ය. මීට හේතු වන්නේ සන්නද්ධ බලයට හිමිකම ඇති ආයතනය හමුදාව වීම ය. එය ඇතැම් තැනක දී න්‍යෂ්ටික බලය දක්වා විහිදුණු ප්‍රබල බලයකි. එම නිසා සෑම විට ම හමුදාව සිවිල් පරිපාලනයට යටත් කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.

හමුදා පුහුණුව

හමුදාව තුළ සංවිධානය වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමාසහිත වේ. හමුදාවට පුහුණුව ලබා දෙන්නේ අණ පිළිපැදීමට සහ එම අණට යටත්ව යුද්ධ කිරීමට ය. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව මැදිහත් කර ගැනීමේ දී, ඔවුන් තමන්ට ලැබුණු පුහුණුව අනුව කටයුතු කිරීමට පෙළැඹීම සාමාන්‍ය දෙයකි. විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ගතහොත්, ඔහු බොහෝ විට වසර හතළිහකට ආසන්න කාලයක් හමුදාවේ නියෝග සහ පුහුණු යටතේ ජීවත් වූ අයෙකි. එක්වරම ඔහු සිවිල් පරිපාලන කටයුතු මෙහෙයැවීම සඳහා ස්වයං පුහුණුවක් ලබන්නේ කෙසේ ද?

හමුදා – සිවිල් බලතුලනය

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ අවි දැරීමට නීත්‍යනුකූල බලයක් හිමි ආයතන සිවිල් පරිපාලනයට සම්බන්ධ කර නොගැනීම ය. අත්‍යවශ්‍ය තත්ත්වයන් යටතේ සිවිල් පරිපාලනයට මැදිහත් කරගන්නා හමුදාව එම කටයුතුවලින් පසු නැවත සිටි ස්ථාන වෙත ම යැවීමේ වැදගත්කම ඉස්මතු කෙරෙන්නේ ද එම නිසා ය. මේ නිසා නිරන්තරයෙන් ම හමුදා සහ සිවිල් අංශ දෙක අතර බලතුලනයක් පවත්වා ගත යුතු ය. එම බලතුලනය යම් ආකාරයකින් බිඳවැටුණහොත්, පෙර කී දැඩි හමුදාකරණයක අනතුරක් නිර්මාණය විය හැකි ය. ලංකාවේ මේ වන විට ඇතැම් පාර්ශ්ව බිය පළ කරන්නේ මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් ය.

හදිසි නීතිය මාසයකට පමණයි !

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් මේ තත්ත්වය බරපතළ ලෙස අවධානයට ගෙන ඇති බව තහවුරු කරන උදාහරණයකි, හදිසි නීතිය. හදිසි නීතිය යටතේ පොලිසියට හිමි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය හමුදාවට පැවරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමේ දී විශේෂයෙන් දක්වා ඇත්තේ මාසිකව හදිසි නීතිය දීර්ඝ කිරීමේ හෝ අවලංගු කිරීමේ කාර්යයත්, එය මාසිකව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කළ යුතු ය යන්නත් ය. මෙමඟින් පැහැදිලි කෙරෙන්නේ හමුදාව දිගින්දිගටම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට යොදා ගැනීමේ අනතුරයි.

තුනෙන් දෙක, සරල බහුතරය වෙයි

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේ දී මෙහි තවත් බරපතළ කරුණක් ද සඳහන් විය. එනම් මාස තුනකට වඩා එකදිගට හදිසි නීතිය දීර්ඝ කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගත යුතු ය යන්නයි. එහෙත්, පසුව කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එය සරල බහුතරයෙන් කළ හැකි බවට ලිහිල් කරන ලදී. එය බරපතළ තත්ත්වයක් වන්නේ හමුදා සහ සිවිල් බලතුලනය සඳහා ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරන ලද තුනෙන්දෙකේ අනුමැතිය ලබා ගැනීම තරමක් අසීරු කරුණක් වුව ද, සරල බහුතරය ලබා ගැනීම පහසුවෙන් කළ හැකි වීම ය.

ජනාධිපතිවරයාගේ වගවීම

කෙසේ වෙතත් මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථාවක් නැතත්, ජනාධිපතිවරයාට හමුදාව කැඳවීම කළ හැකි ය. එය අභියෝගයට ලක් කළ නොහැකි බලයකි. මෙය අභියෝගයට ලක් කළ නොහැකි වුව ද, ජනාධිපතිවරයා තමන්ගේ තීරණය සම්බන්ධයෙන් වගවිය යුතු ය. තමන් එවැනි තීරණයක් ගැනීමට සාධාරණ සහ පිළිගත හැකි හේතු පැහැදිලි කළ යුතු ය. එහෙත්, එවැන්නක් අපට ප්‍රායෝගික තලයේ දී දැකිය නොහැකි ය. මෙවැනි වගවන තත්ත්වයක් නොමැති නිසා ම, හදිසි නීතිය ලංකාව වැනි රටවල සාමාන්‍ය නීතිය බවට පත් වී තිබේ. ‘78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු කාලය ගත් විට ලංකාව පාලනය වී ඇත්තේ සාමාන්‍ය නීතියට වඩා හදිසි නීතිය යටතේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය විකෘතියක් බවට පත් කර තිබේ.

අභියෝගයට ලක් කළ නොහැකි ය !

මෙසේ හදිසි නීතිය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති සමාජයක, හමුදාකරණය (Militarism) මතවාදයක් බවට තහවුරු වී තිබේ. මේ නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට සම්බන්ධ කර ගැනීම ප්‍රශ්න කෙරෙනු පොදුවේ දැකිය නොහැකි ය. ඔවුන්ව සිවිල් පරිපාලනයට යොදා ගන්නේ ඇයි ? ඔවුන්ගේ හමුදා පුහුණුව නිසා ය, එය සිදුවන්නේ. අවස්ථා එකක දී හෝ දෙකක දී මෙය සිදු විය හැකි ය. එහෙත්, දිගින්-දිගටම එසේ සිදුවීම මඟින් මේ පත් කිරීම්වලට අලු‍ත් අර්ථයක් ලබා දෙයි. එය හුදෙකලා සිදුවීම් ලෙස කොයිතරම් දුරට හොඳ ද, නරක ද යන්න තීරණය කළ යුත්තේ කාලය සමඟ ය. එහෙත්, පොදුවේ ගත් විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන රටක පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙවැනි පත් කිරීම් යහපත් දෙයක් නොවේ. එහෙත්, ව්‍යවස්ථානුකූලව මේ පත්කිරීම් බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එය අභියෝගයට ලක් කළ නොහැකි ය.

කාර්යක්ෂමතා මතවාදය

මෙවැනි පත් කිරීම් සමාජයේ බහුතරය පිළිගන්නේ කාර්යක්ෂමතාව යන තැනින් ය. සිවිල් පරිපාලනය, දේශපාලනඥයන් අකාර්යක්ෂම, අසාර්ථක, දූෂිත බවට මතවාදයක් සමාජයේ තිබේ. එය සිවිල් පරිපාලනය සහ දේශපාලනඥයන් විසින් තව දුරටත් තහවුරු කරමින් සිටී. 1958දී පාකිස්ථානයේත්, 1962 බුරුමය හෙවත් වර්තමාන මියන්මාරයේත් සිදු වූයේ මේ මතවාදය පෝෂණය කිරීමේ උච්ඡ අවස්ථාවේදී සිදු වන දෙයයි. එනම් හමුදාව පාලනයේ වෙනසක් සඳහා සෘජුව මැදිහත් වීමය.

කළ යුත්තේ කුමක් ද?

මේ නිසා මෘදු හමුදාකරණය, දැඩි හමුදාකරණයක් දක්වා යන මාර්ගය
නිවැරැදිව තේරුම් ගත යුතු ය. අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි කරුණු, සමාජය තුළ ප්‍රශ්න කළ යුතු ය. ඊට අදාළ මැදිහත් වීම කළ යුතු ය. යුදවාදයට ගොනු වූ බහුතර මතයක් මෙන්ම දිනෙන් දින රාජ්‍ය බලය, මාධ්‍ය යොදා ගනිමින් තව තවත් එම මතය පෝෂණය කරන තත්ත්වයක් තුළ, නිර්යුදවාදී මතවාදයක් සමාජගත කිරීම දුෂ්කර ප්‍රයත්නයක් වීම අනිවාර්ය ය. එහෙත් යා යුත්තේ එම මාර්ගයේ ය.
(ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ‘හමුදාකරණය යනු කුමක් ද?‘ සාකච්ඡා මාලාවේ පළමුවැන්න පසුගිය 23දා පැවැත්විණි. මේ එහි දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් සිදු කළ අදහස් දැක්වීම් ඇසුරින් සකස් කෙරුණු ලිපියකි.)

සංවාදය ඇසුරින් සැකසුම
– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

17 − five =