දිල්රුක්ෂි වහාම යලි සේවයේ පිහිටුවන්න තීන්දුවක්සේනාධිපතිගෙන් බිලියන දෙකක වන්දියකුත් ඉල්ලයි…

ඇවන්ගාඩ් හිමිකරු නිස්සංක සේනාධිපති විසින් සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන මාධ්‍යවල ප්‍රචාරය කළ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් සහ තමා අතර සිදුවූ දුරකථන සංවාදයක හඩපටයක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් එලෙස වැඩ තහනමට ලක් කිරීම වැරදි බවත් ඇය වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් නියෝග කර තිබේ.

තමන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක යෙදී සිටියදී නිස්සංක සේනාධිපති හිටපු ඇමතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා ලබාගෙන නිශ්ශංක සේනාධිපති මහතා තමා සමඟ කතා කිරීමට කැමති බව පවසා හිටපු ඇමතිවරයා මගින් දුරකථනය ලබා දුන් බවත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාවේ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්තාවක් ඇතුළුව ප්‍රවීණ වාර්තා තුනක් සනාථ කර ඇත්තේ මෙම පටිගත කිරීම සැලකිය යුතු ලෙස සංස්කරණය කර ඇති අතර එය මූලික වශයෙන් විකෘති කර ඇති බවයි.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක, වික්‍රමසිංහ මහත්මියට එරෙහි චෝදනා ගැන පරීක්ෂණයක් පවත්වමින් කියා ඇත්තේ මෙම හඬ පට පටිගත කිරීම ස්ථාන 10කදී සංස්කරණයට ලක් කර ඇති බවයි.

තමන් එම හඬපටය සංස්කරණය කළ බවට මූලික විමර්ශනයේදී නිස්සංක සේනාධිපති විසින් පිළිගෙන තිබේ. සංස්කරණය නොකළ හඩ පටය ලබාදීමට නිස්සංක සේනාධිපතිට නියෝග කර ඇතත් එය ලබාදීමට ඔහු අපොහොසත් වී ඇත.

මූලික විමර්ශනයේදී විශේෂඥයින් විසින් වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශය සටහන් කර නොතිබීම සහ ඔහුගේ දුරකථනය පරීක්‍ෂා කර නොතිබීම සම්බන්ධයෙන්ද පරිපාලන අභියාචනා විනිශ්චය සභාව සිය අවධානය යොමුකර තිබේ.

නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතන සංවාදයේ පටිගත කළැයි කියන හඬපටය අසත්‍ය, සංස්කරණය කළ සහ විකෘති කරන ලද්දක් බවට තමාගේ ස්ථාවය සනාථ කෙරෙන මොරටුව විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද විශේෂඥ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක් මූලික විමර්ශන කමිටුවට ලැබුණු බව ඇය පරිපාලන අභියාචනා විනිශ්චාධිකරයේ විභාගයේදී සඳහන් කර තිබිණි. එමෙන්ම ඇය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

මෙම අභියාචනයේදී ඇගේ ස්ථාවරය වී ඇත්තේ තමාගේ වැඩතහනම සහ අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී, නීතියට අනුකූල නොවන ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවයි. මෙම අභියාචනය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම ද නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ පිටපතක් එම කොමිසම 2021 මාර්තු අටවැනිදා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට ඉදිරිපත් කර තිබිණි.

එමඟින් අනාවරණය වී ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමඟ කතාකරමින් පටිගත කළ හඬපටය තමා විසින් සංස්කරණය කළ බවට නිශ්ශංක සේනාධිපති මහතා ද මූලික පරීක්ෂණයේදී පිළිගෙන ඇති බවයි.
මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ නිරීක්ෂණ අංක එක යටතේ සදහන් කර ඇත්තේ අදාල හඬපටය සංස්කරණය කරන ලද්දක් බවයි. නිරීක්ෂණ අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ අභියාචක විෂමාචාරයක් කර ඇති බවට එනිසා නිගමනය කළ නොහැකි බවයි.

එසේ තිබිය දී මූලික පරීක්ෂණයේ තීන්දුවෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවා කොමිසම ඇයට චෝදනාපත්‍රයක්ද නිකුත් කර තිබේ.පරිපාලන අභියාචනාධිකාරය විභාගය අවසන් කරමින් සිය දිර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර තිබේ.

මේ අතර නිස්සංක සේනාධිපති විසින් විකෘති කර බෙදා හරින ලද හඬ පට සහ වීඩියෝ පටය තුළින් තමාට සිදු වූ අපකීර්තියට වන්දි වශයෙන් රුපියල් බිලියන 02ක මුදලක් වහාම ගෙවිය යුතු බව පවසමින් හිටපු සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් සේනාධිපති එන්තර්වාසියක්ද යොමුකර ඇත. එය ගෙවීමට අපොහොසත් වුවහොත් වන්දි ඉල්ලා නඩු පවරණ බවද ඇය එම ලිපියේ සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.

1 + 17 =