ගුරුවරුන් මේ තරම් දුරට සක්‍රීය කිරීමේ වගකීම බාරගත යුත්තේ බලධාරීන්මය

ගුරුවරුන්ගේ අරගලය නොසිතූ ලෙස සියළු ගුරුවරුන් ඒකරාශී කරනා තොටුපලක් බවට පත්ව තිබේ. එසේම එය අසූව වර්ජනයෙන් පසුව කම්කරු පංතියෙහි පැවති නිදිමත ගතියද පහකරමින් තිබෙන ආකාරයක් පෙනේ. නිසැකවම එය අනාගතයේදී වඩා සක්‍රී්ය වෘත්තීය අරගලයන්ට මග පාදනු ඇත. රාජ්‍ය සේවයෙහි බොහෝ සේවාවන් පවතින්නේ අසහනයෙන් පිරිතිරී යමිනි. ගුරු සේවයෙහි අරගලය හුදෙකලා අරගලයක් නොකර සමස්ත රාජ්‍ය සේවයෙහිම මේතාක් නොවිසඳී පවත්නා ගැටළු විසඳාගතහැකි වේදිකාවක් බවට පත් කරගන්නට සියළු සේවාවන් සමගි වන්නේ නම් එය සියල්ලන්ගේම ජය වනු ඇත.

මේ වන විට ගුරු වැටුප දීප ව්‍යාප්ත සේවාවන්හී වැටුපට සමාන කිරීමට නොහැකි යයයි අදහස් පලවෙනුද පෙනේ. විශේෂයෙන් ඊට පරිපාලන සේවයද එරෙහි යයි කියනු ඇසේ. එසේ නම් එවැන්නක් කෙසේවත් නොකල යුතුය. කළ යුත්තේ ගුරු වැටුප ඊටත් ඉහලින් තබා එය සාධාරණීකරනය කිරීමයි. ගුරුවරයාට ඉහලම වැටුපක් ගෙවා ඔහු ආර්ථික වවශයෙන් තෘප්තිමත් තලයක තබා රටෙහි දුෂ්කර පාසල් වල සේවයද ගුරුවරුන්ට අනිවාර්ය කර, දක්ෂතම ගුරුවරුන් බිහි කිරීමටද මැදිහත්ව ඒ සියල්ල අතරේ ටියුෂන් ක්‍රමයද අහෝසි කර පාසැල් වේලාවෙන් පසුව අපේ දරුවන්ට සිය ළමා සහ යෞවන දිවිය දිය හැකි නම් ගුරුවරුන්ට වැඩිම වැටුප ගෙවුවාට කම් නැත. මන්ද යත් රටේ බහුතර දෙමවුපියන්ගේ සාක්කුවල මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරිවන හෙයිනි.

ස්ටාලින්ට මහින්ද ජයසිංහට හෙණ ඉල්ලා පලක් නැත. දැන් පෙනෙනා ආකාරයට ගුරුවරුන් මේ තරම් දුරට සක්‍රීය කිරීමේ වගකීම බාරගත යුත්තේ බලධාරීන්මය.

ගුරුවරුන්ට නිසි තැන නොදෙනා රටකට හෙටක් නැත. එසේම නියම ගුරුවරුන් බිහිකිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් නැති රටකටද හෙටක් නැත. අප දැන්වත් සියළු වැරදි නිවැරදි කරගත යුතුය. එයට කෝවිඩ් අවසන්වන තුරු බලා සිටිය යුතු නොවේ. කෝවිඩ් අතරේ පිස්සු කෙලින්නේ කෙසේදැයි අපට පෙන්නුවේ දේශපාලකයන්මය. එහෙයින් දැන් ඔවුන් මේ සාධාරණ අරගලයට කන් දිය යුතුය.

ගුරුවරයාට සාධාරණ එසේම දියයුතු වැටුප දීමට කවුරුන් හෝ එරෙහි වන්නේ නම් ඒ ගුරුවරුන්ගේ අගය නොදන්නෙකි. සෑම ගුරුවරයකුම පරිපූර්ණ නොවන බව ඇත්තය. අප පළමුවෙන් කළ යුත්තේ ඔවුන්ගේ දැවෙන පැණය විසඳීමයි. ඉන්පසු අප නියම ගුරුවරයා බිහි කරගැනීමටද ඒ හා සමග අරගලය ඇරඹිය යුතුය. අප කොතනින් හෝ ඇරඹිය යුතුමය. අපට පොකුරු මැණික්, නයි ධාතු, අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මිනිසුන් ලෙස ජීවත්වීමේ අයිතිය පමණි. දේශපාලකයා එය අපට දිය යුතුමය.
-චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

two + 20 =