ඇසළ සෑය මැද හළු විය ශ්‍රී පතුල

ඇසළ’ යන අකුරු තුන බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ, එක්තරා සංස්කෘතික අසිරියක් පිළිබඳව ය. ඒ ඇසළ පෙරහැර ය. නැති නම්, දළදා පෙරහැර ය. මේ සංස්කෘතික අසිරිය තුළ බොහෝ දේ සඟවා තිබෙන්නේ ය. පෙරහැරට පණපොවන කලා ශිල්පීන්ගේ දහදිය, කඳුළු, මහා මෙරක් වේදනා සහ කුල පීඩනය යනාදී කිසිවක් පෙනෙන්නේ නැත. ඒ සියල්ල මහාචාර්ය සුනිල් ආරියරත්න ‘පෙරහැර’ නම් ගීතයට කැටි කර ඇත්තේ ය. නන්දා මාලිනී එය ගායනා කරන්නී ය.

‘ඇසළ යනු ජූලි මාසයයි.’

එතකොට ‘ඇසළ සෑය !’ ‘ජූලි සෑය ද?’

වැඩිහිටි පරපුරේ බොහෝ දෙනකුට දැන් කිසියම් ඉඟියක් ලැබී තිබිය හැකි ය. ‘ජූලි සෑය’ කටට හුරු වී තිබෙන ලෙස ‘කළු ජූලියයි’. තවත් වඩාත් හොඳින් කියන්නේ නම්, ‘අසූතුනේ කළු ජූලියයි’.කළු ජූලිය ගැන දන්නා බොහෝ දෙනකු ඇතැම් විට නොදන්නා දෙයක් දැනගැනීමට සහ දන්නා දෙයක් තවත් හොඳින් කියවා ගැනීමට පෙළැඹවීම මෙම සටහනේ මුඛ්‍ය අරමුණ ය.

“මිනිසා මයි ලොව දෙවියන් වන්නේ

මිනිසා මයි ලොව තිරිසන් වන්නේ…”

එතකොට ‘ශ්‍රී පතුල දවා හළු කළ !’ ඒ මොකක් ද? කියවා ගැනීම තිබෙන්නේ මේ තුළ ය. දැන් මේ කියවා ගැනීම පටන් ගන්නේ කොතැනින් ද?

1948දී නිදහස ලබන විට මෙරට ආර්ථිකය ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වූ තැනට ඔසවා තැබීමේ අතිමූලික කාර්යභාරය විශේෂයෙන් ම දෙමළ සහ මුස්ලිම් ජාතිකත්වයන් විසින් සිදු කරන ලද්දේ ය. ඔවුන් විසින් එතෙක් පැවැති සීමිත ආර්ථික ක්‍ෂේත්‍ර ප්‍රසාරණය කරනු ලැබී ය. එහි දී සමාජ-සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ද නව අවස්ථා සොයා ගන්නා ලදී. සිංහල ගීතය, සිංහල චිත්‍රපට සහ සිංහල නාට්‍ය කණ්ඩායම් බිහි වූයේ ඒ අනුව ය.

නිදසුනක් ලෙස පළමු සිංහල කතානාද චිත්‍රපටය දැක්විය හැකි ය. ඒ 1947 ජනවාරි 21 වැනි දින තිරගත තළ ‘කඩවුණු පොරොන්දුව’ ය. එහි නිෂ්පාදක එස්. එම්. නායගම් ය. අධ්‍යක්‍ෂණය ජෝතිෂ් සිංහාගේ ය. සංගීතය නාරායන අයියර්ගේ ය. ෆකීර් සාලේහ් සංස්කරණය කර ඇත. වේශනිරූපණයෙන් කේ. ප්‍රභාකර් දායක වී ඇති අතර, ප්‍රධාන නිළිය ඩේසි ඩැනියෙල්ස් ය. පසු කලෙක ‘සිංහල සිනමාවේ නිළි රැජින’ ලෙස හැඳින් වූ රුක්මණී දේවී එදා ඩේසි ඩැනියෙල්ස් වූවා ය.

සිංහල බෞද්ධයාගේ සංස්කෘතික ජීවිතය නව ලෝකය සමඟ ඒකාත්මික කරන ලද්දේ මෙලෙස ය. ‘කඩවුණු පොරොන්දුවෙන්’ බිහි වූ මෙරට සිනමාලෝලීන්ට මේ ශිල්පීන්ගේ පැටිකිරිය කිසිසේත් ම අදාළ නොවී ය.

සටහන අනවශ්‍ය ලෙස දීර්ඝ නොකර මූලික ම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එනිසා 1948 සිට දශක තුනක් මෙපිටට රිටිපැනීමට සිදු වන්නේ ය.

ඒ 1977 ජූලි මාසයයි. ‘නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක් බිහි කිරීමේ’ ඡන්ද පොරොන්දුව මූලික වීමෙන් ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක සාතිශය බහුතර පාර්ලිමේන්තු නියෝජනයකින් බලය පිහිටු වීය. මෙතැනින් ඉදිරියට කතාබහ යන්නේ ‘නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජය‘ තුළ ය.

නිදහස්, නිවහල් පැත්තකට දමා ‘ධර්මිෂ්ට’ සමාජය ගොඩනැඟීම ජේ. ආර්. ජයවර්ධන ඇරැඹී ය. ඒ මුලින් ම 1977 ජූලි 21 වැනි දින රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ශ්‍රී ලංකාකාරයන්ගේ මෙන් ම වාමාංශිකයන්ගේ ද ලේ හැලීමෙන් ය; දේපොළ කුඩුපට්ටම් කිරීමෙන් ය. ඉන් මාසයක් හෝ ගත වීමට පෙර ධර්මිෂ්ට සමාජයේ දෙවැනි අත්තිවාරම දැමී ය. ඒ දෙමළ ජනතාව තුන්සිය ගණනක් සංහාරය කළ ලේ මත ය. 1977 අගෝස්තු මස දෙවැනි සතිය අවසායේ දී යාපනයේ සිට කොළඹ බලා පැමිණි දුම්රියක මඟීන් දෙදෙනකු අතර සිදු වූ බහින්බස් වීමක් පදනම් කරගෙන ය. එක් අයෙක් සිංහල හා අනෙකා දෙමළ වීම නිසා අගෝස්තු 15-16 දෙදින රට පුරා විවිධ ස්ථානවල දෙමළ ජනයා සංහාරයට ලක් කෙරිණ; දේපොළ කොල්ලකනු ලැබිණ.

මේ වන විටත් එක්තරා පිරිසක් එක්තරා කටයුත්තක නිරතව සිටින්නට ඇති බව නො අනුමාන ය. මෙම එක්තරා පිරිසගේ එක්තරා කටයුත්තේ ප්‍රතිඵල 1978 අප්‍රේල් 14 වැනිදා සිංහල, දෙමළ අලුත් අවුරුදු නැකතින් හා හාපුරා කියා දොරට වැඩම වී ය. ඒ ‘ශ්‍රී පතුල’ ය. ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය ය.

වයස අවුරුදු හැටේ සීමාවට ආසන්න සහ හැට ඉක්ම වූ වැඩිහිටි පිරිසට මතක් වන දේ හරි ය; මොහිදීන් බෙග්ගේ හැඟීම්බර සුගායනීය හඬය.

“සකල සත ම බොදු බැතියෙන්
නමදින දුරහැර හැම බේදේ
සුගත තථාගත ලෝක සිවන්කර
සම්බුදු සිරිපාදේ… සිරිපාදේ…”

බෙග් මාස්ටර්ගේ හැඟීම්බර සුගායනීය හඬින් පණපෙවුණු තවත් ගීතයක් විය.

“මිනිසා මයි ලොව දෙවියන් වන්නේ
මිනිසා මයි ලොව තිරිසන් වන්නේ…”

ඔබ දන්නවා ද? මොහිදීන් බෙග් මේ සිංහල වචන ගායනා කළේ ඔහු දන්නා වෙනත් භාෂාවකින් ලියාගෙන ය. ඒ විතරක් නොවේ. බොදු බැති ගීතයක් නම්, ඔහු එය ගායනා කරන්නේ ඊට අදාළ සියලු ම පසුබිම සහ එයින් ජනනය කෙරෙන හැඟීම් ගැන කවුරුන් හෝ පණ්ඩිත තෙරුන් වහන්සේ නමකගෙන් දැනගෙන, තේරුම් ගැනීමෙන් පසුව ය.

ගීත රචනා කර තිබෙන්නේ කරුණාරත්න අබේසේකර සහ ධර්මසිරි ගමගේ යන දෙදෙනා ය. බෙග් මාස්ටර්ට අමතරව එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ ලතා වල්පොල ආදීන් විසින් ගීත ගායනා කරනු ලැබී ය. හිස් කඩදාසියක් මත ලියැ වී තිබෙන සිංහල ගීත රචනාවලට හැඟීම්, දැනීම් එක් කර පණ දී ඇත්තේ කවුරුන් ද කියා ඔබට අනුමාන කළ හැකි ද? බොදු බැතිබර හැඟීම්වලට පණ පොවන ඒ තනු හා සංගීත නිර්මාණය කර ඇත්තේ, එම්. කේ. රොක්සාමි ය; රොක්සාමි මාස්ටර් ය.

තවත් අවශ්‍ය ම නම් කීපයක් කෙටි විස්තරයක් සමඟ සටහන් කළ යුතු ය. වේශනිරූපණය ජේ. ජේ. යෝගරාජාගේ ය. නිෂ්පාදක එම්. එල්. ෆවුස් ය. ශබ්ද පරිපාලක මර්වින් බේන්ස් වන අතර, ශබ්දාගාරය  කඳාන, එස්. පී. එම්. ස්ටූඩියෝව ය. මේ සියල්ල ඒකාත්මික කර ‘ශ්‍රී පතුල’ සිංහල සිනමා නිර්මාණය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ, කේ. වෙන්කට් ය. දැන් ටිකක් නවතින්න ! ‘කේ. වෙන්කට්’ කියන නම ඉදිරියේ නවතින්න. 1977 අගෝස්තු දෙමළ සංහාරයකින් ධර්මිෂ්ට සමාජය ඉදි කිරීමට මුල්ගල් තැබූ අවස්ථාවේ සිට ගෙවී ගියේ මාස අටකට ආසන්න කාලයක් ය. එවකට තිබූ ගුවන්විදුලියෙන් නැඟි මේ ගී හඬ එල්. පී. තැටිවල ද ගබඩා වී රට පුරා පින්කම්පොළවල නින්නාද දුන්නේ ය. පන්සලක් පන්සලක් ගාණේ ගී හඬ පැතිර ගියේ ය.

සිංහල බෞද්ධ ජනයාගේ ආගමික භක්තිය දල්වන ගී හඬ එක පැත්තකින් නින්නාද දීම ඇරැඹී ය. අනෙක් පැත්තෙන් සිංහල සිනමා වංශකතාවට තවත් චිත්‍රපටයක් එක් වී තිබුණේ ය. නිකම් ම සිංහල චිත්‍රපටයක් නොවේ. බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත්සතන් සනහන චිත්‍රපටයක් ය.

1947 ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් ආරම්භ වූ සිංහල සිනමා වංශකතාවේ තවත් එක් චිත්‍රපටයක් ය. එදා ‘කඩවුණු පොරොන්දුවේ’ එස්. එම්. නායගම්, ජෝතිෂ් සිංහා, නාරායන අයියර්, කේ. ප්‍රභාකර්, ෆකීර් සාලේහ් සහ ඩේසි ඩැනියෙල්ස් ඒකාත්මික වීමක් ය. ඉන් දශක තුනක් මෙපිටට රිටිපැනීමෙන් හමු වන ‘ශ්‍රී පතුල’ සිංහල චිත්‍රපටය ය.

එකී ඒකාත්මික වූ හදවත්වල තිබෙන විචිත්‍ර සුන්දරත්වය බලන්න ! කේ. වෙන්කට්, එම්. කේ. රොක්සාමි, ජේ. ජේ. යෝගරාජා, එම්. එල්. ෆවුස්, මර්වින් බේන්ස්, මොහිදීන් බෙග්, කරුණාරත්න අබේසේකර සහ ධර්මසිරි ගමගේ ය. තවත් පුංචි තැනකින් ගත්තොත්, ‘මිනිසා මයි ලොව දෙවියන් වන්නේ’ ගීතය පමණක් ගත්තත් සෑහේ. මොහිදීන් බෙග්, එම්. කේ. රොක්සාමි, කරුණාරත්න අබේසේකර සහ මර්වින් බේන්ස් ය. සිංහල බෞද්ධයාගේ සමාජ, සංස්කෘතික ජීවිතය වඩාත් පුළුල් නිම්හිම් දක්වා ගෙන යාමේ කාර්යභාරය කොතරම් ද?

ඊ ළඟට හමු වන්නේ ‘ශ්‍රී පතුල’ දවා හළු කළ හෝරාවයි.

ඒ 1978 අප්‍රේල් 14 වැනිදා සිට යාන්තම් වසර පහකුත්, මාස තුනක් ඉක්ම ගිය තැන ය. ‘ඇසළ සෑය’ බුර බුරා නැඟී යාමෙන් ධර්මිෂ්ට සමාජය ඉදි කිරීමේ තවත් අදියරක් ය. 1983 ජූලි අවසන් සතියයි. ‘අසූතුන කළු ජූලියයි’.

කොළඹ අහස උසට ගිනිදැල් හා කළු දුම්රොටු බුර බුරා නැඟෙමින් තිබිණ. රටේ තවත් බොහෝ ප්‍රදේශවල ද එසේ ම විය. ‘බාල්දිය’ යනුවෙන් හරියට උච්චාරණය කළ නොහැකි පිරිස් පණ කෙන්ද රැකගැනීමට සරණක් සොයමින් ඒ මේ අත දිවයමින් සිටියෝ ය. වාහන කට්ටක් තිබූ අය ඒවාට නැඟීගෙන ය. නැතිවුන් දෙපාවලට වාරු දෙමින් ය. තම තමන්ගේ මුළු ජීවිත කාලය පුරා හරිහම්බ කර ගත් සියල්ල එක්කෝ ගින්නේ දැවෙන්නේ ය. නැති නම්, කොල්ලකෑමට ලක් වෙමිනි. වස්තු, දේපළ පමණක් නොවේ. ජීවිත පවා පණපිටින් ගිනි තැබෙන්නේ ය.

නිශ්චිත අරමුණක් ඇතිව හෝ නැතිව කාර් එකක් මේ ගිනි මැද්දෙන් දෙහිවල ප්‍රදේශයේ පාරක ධාවනය වෙමින් පැවැතිණි. කාර් එකේ පිටුපස ‘ශ්‍රී පතුල’ චිත්‍රපටයේ රීල් කෑන් කීපයක් ය. තව එල්.පී. තැටි ද ගණනාවක් ය.

“මිනිසා මයි ලොව දෙවියන් වන්නේ මිනිසා මයි ලොව තිරිසන් වන්නේ’ ගීතයත්, ‘සකල සත ම බොදු බැතියෙන් නමදින දුර හැර හැම බේදේ’ ගීතයත් ඒ තැටි තුළ වේදනාවෙන් ඉකිබිඳිමින් ය. ඊ ළඟ නිමේෂයේ සිදු වන නියත දේ ගැන ‘ශ්‍රී පතුල’ චිත්‍රපටයේ රීල් කෑන් සහ එම ගීත අඩංගු එල්. පී. තැටි එක්ව ඉකිබිඳිමින් ය; වැලපෙමින් ය.

කාර් එක එක් තැනක දී නතර කිරීමට නියෝග ලැබිණි. එය නතර කළහු ජයග්‍රහණයෙන් ඔදවැඩී ගියෝ ය. තවත් එකෙක්…!

කාර් එකේ සිටි මිනිසා වචන තෝරමින්… “මම තමයි, ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය හැදුවේ. මේ තියෙන්නේ චිත්‍රපටයේ රීල් කෑන්. මේ තියෙන්නේ මොහිදීන් බෙග් කියන ‘සුගත තථාගත ලෝක සිවන්කර සම්බුදු සිරිපාදේ’ කියන සින්දු තැටි…” කාර් එකෙන් එළියට ඇද ගත් මිනිසා කියන දේ ඇසීමේ ඕනෑකමක් කිසිවකුට නොවී ය.

එළියට ඇද ගත් මිනිසා යළි කාර් එක තුළට ඔබා පයින් පෑගී ය. මේ මිනිසා කේ. වෙන්කට් ය. මොහොතින් කාර් එක ගිනි ජාලාවකින් වෙළී, ගිනි දලු බුර බුරා ඉහළ නැඟිණ. පණපිටින් සිටි කේ. වෙන්කට් ද ඒ තුළ ය. ‘ශ්‍රී පතුල’ දවා හළු කරනු ලැබී ය. ‘ධර්මිෂ්ට සමාජය’ නිර්මාණය කිරීමේ තීරණාත්මක  කඩඉමක් ය ඒ.

මෙරට ‘සිංහල බෞද්ධයන්ගේ’ සමාජ, සංස්කෘතික ජීවිතවල නිම්හිම් පුළුල් කිරීමේ සංස්කෘතික ප්‍රාග්ධනය ශ්‍රී පාදය තරම් උසට ගොඩනැඟූවන් ද, සමාජ, සංස්කෘතික දේපොළ ද දවා හළු කරනු ලැබී ය.1980 ජූලි වර්ජකයන් 80,000ක් කනත්තට යැවීමට පාරම්බා එළියට ඇදදමා මෙරට සමාජයේ ‘සංස්කෘතික ක්‍රයශක්තිය’ සුනුවිසුණු කරනු ලැබී ය. සරලව කියන්නේ නම්, කලාව, සාහිත්‍යය රසවිඳීමේ ආර්ථික හැකියාවක් තිබූ අත්තිවාරම ගලවා දමනු ලැබී ය. ඉන් වසර තුනකට පසුව අසූතුනේ කළු ජූලියේ දී සංස්කෘතික ප්‍රාග්ධනය ගිනි තබා අළු දූවිලි කරනු ලැබී ය.

එදා ශ්‍රී පතුල දවා හළු කළවුන්ගේ වර්තමානිකයෝ දැන් කැලණි ගඟ දෙබෑ කරගෙන එන නයි නටවන්නාහ. මේ සියල්ල කරනු ලබන්නේ ‘දූවිලි හෙවත් නිලමැස්සන්ගේ පාරාදීසයක්’ බවට පත් වූ රටක ය.

■ ප්‍රියදර්ශන දයාරත්න

 

Leave A Reply

Your email address will not be published.

14 + four =