ජාතිවාදී ලේබලයෙන් ඉවතට…

වසර 2500ක ප්‍රෞඪ අභිමානවත් ඉතිහාසයක් ගැන ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ජාතිවාදය මත පදනම් වූ ගැටුම් ගණනාවක්ම හමු වේ. එය දැනටත් එසේ ම ය. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ජනතාව අතර කාලයෙන් කාලයට කුමන හෝ කරුණක් හේතුකොටගෙන මතභේදාත්මක තත්ත්වයන් ඇති වන අතර, ඇතැම් ඒවා ගැටුම් දක්වා වර්ධනය වන අවස්ථා දැනටත් හමු වෙමින් තිබේ. ඒ තවමත් ගැටුම්වලට සම්බන්ධ නොවූ විශාල පිරිසක් සමාජය තුළ පීඩාවට පත්ව ජීවත් වෙමින් සිටිය දී ම ය.

කුඩා අවධියේ අපට සියලුම ජාතීන්ගේ ආගමික සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව යම් දැනුමක් පාසලින් ලැබිණි. එහෙත්, ලාංකික සිත් තුළ එය රඳාපවතින්නේ කෙතරම් කාලයක් ද? ඒ පාසල් අධ්‍යාපනය තුළම වරින්වර, ජාති වාත්සල්‍යය යැයි කියමින් වක්‍රාකාරයෙන් ජාතිවාදයම සිත් තුළට කා වැද්දීම ඊට හේතුවක් නොවුණේ ද? සියලුම මිනිසුන් රතු රුධිරයට හිමිකම් කියන සමාජයක හිතින් නිර්මාණය කර ගත් ජාතිභේද, කුලභේද කුමක් සඳහා ද? පාසලෙන් මෙපිට දී ද අපට හමු වන්නේ ඒ පොදු සත්‍යය වෙනුවට ජාතිවාදී බෙදා වෙන් කර ගැනීම් ම නොවේ ද? මෙරට සිට තවත් රටකට ගිය විට අප ශ්‍රී ලාංකිකයන් ලෙස මිස සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ලෙස ජාතිකත්වයක් සඳහන් නොකරද්දී, රට තුළ මෙවැනි බෙදා ගැනීමක් කුමකට ද?

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් කුඩා අවධියේ සිටම දරුවන්ට සියලුම ජනතාව එක සමාන බව වටහා දෙමින්, ඔවුන් සමඟ සමඟියෙන් ජීවත් වීමට හුරු කිරීම අවශ්‍ය ය. අන් අය තමන්ට කරනවාට අකැමැති කිසිවක් අනෙකාට තමන් සිදු නොකිරීමට ඉගැන්විය යුතු ය. එය පාසල තුළ, තමන් ජීවත් වන පරිසරය තුළ පමණක් නොව අදහන ආගම තුළ ද සිදු කළ හැකිය.

ඒ හරහා ජාතිවාදය කියන ලේබලය මුල් කරගනිමින් ගැටුම් ඇති වීම වළක්වා ගැනීමට අනාගතයේ දිනක හැකි වුවහොත්, ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුම දෙනාට අභිමානයෙන් අවට ලෝකය දෙස දෙපයින් නැඟී සිට බැලීමට කාලයක් උදා වනු ඇත.

වයි. බී. තිළිණි නිසංසලා

කැලණිය විශ්වවිද්‍යාලය

 

Leave A Reply

Your email address will not be published.

14 + nine =