ජීවිතය යනු එතරම්ම අනියත ප්‍රපංචයක් බව ජීවත්ව සිටිනා කාලය තුළදී අවබෝධ කරගන්නේ මිනිසුන් කීයෙන් කීයද?

ජීවිතය තෘණ පතක් අග රැඳී පිණි බිඳක් ලෙස මීට සියවස් ගණනකට පෙර ආගමික ශාස්තෘවරුන් දේශනා කිරීමට හේතුවූ කාරණාව තවදුරටත් පසක් කළ මරණයකි, ප්‍රවීණ රංගනශිල්පිණි හයසින්ත් විජයරත්නගේ අනපේක්‍ෂිත මරණය.

ඇය දශක ගණනක් පුරා ලාoකීය ප්‍රේක්‍ෂකයින්ගේ ඇස් -කන් -මනැස් පිනවීමට කැපවී උන්නත්, කැමරා හා විදුලි බුබුළු ඉදිරියේ අයස්කාන්තව දිදුළුවත්, සම්මාන- ඇගයුම්- ප්‍රශංසා මැද සිය ප්‍රතිභාව විදහාපෑවත්, සළු -පිළි -අබරන හා රූපලාවන්‍යයෙන් හැඩ- වැඩ වූවත්, කළා ක්ෂේත්‍රයේ සැම ඇතුළු ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්නට පුණ්‍යවන්ත වූවත්, මිල -මුදල් -සැප සම්පත් මැද සුපිරි ජීවිතයක් භූක්ති වින්දත්, එක්‌ නොසැලකිලිමත් රියෙදුරෙකුගේ ක්ෂණික වරදක්‌ නිසාවෙන් ඇයට අවසන් ගමන් යන්නට වූයේ, මැදියම් රැයේ ගිරි හෙළක පාමුල අනතුරට පත්ව, තමාගේ ප්‍රියයන් කිසිවෙකුත් සමීපයේ නොමැතිව, නාදුනන පාලු ඉසව්වක වේදනාබරිතව, ඉස්පිරිතාලේ හිස් කොරිදෝවක තනිව , යකඩ ට්‍රොලියක් මත හුදෙකලාව නේද?

ජීවිතය යනු එතරම්ම අනියත ප්‍රපංචයක් බව ජීවත්ව සිටිනා කාලය තුළදී අවබෝධ කරගන්නේ මිනිසුන් කීයෙන් කීයද? අවසානයේ නියත ලෙස තමන් සමග ඉතිරිවන එකම සත්තාව වන්නේ ජීවිතය තුළ අප මේ පොළොව මත ඉතිරිකර යන යහපත් යමක් පමනමය. ඒ අනුව, ධම්ම පදයේ එන ගාථාවක් මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ, එය මීට දශක දෙකහමාරකට පමණ පෙරාතුව මා විසින් නිර්මාණය කළ මාගේ ප්‍රථම ටෙලි වෘතාන්තයේ තේමා පාඨය වූ බැවිනි.

” මේ මගේ දරුවන්ය -මේ මගේ ධනය යැයි
සිතා වෙහෙසෙන්නා අනුවණ නොවේද?
තමාට -තමන් වත් හිමි නොවන කළ
දරුවෝ කොයින්ද? ධනය කොයින්ද? ”

මේ අස්තීර ජීවන සංචාරයෙන් එතෙරව, තම ආත්මය නිවී සනහන මාර්ගය වෙත ළඟාවන්නට ඇයට ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි!
– ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද (fb)

Leave A Reply

Your email address will not be published.

20 − nineteen =