ඔබේ දරුවා සුරක්ෂිත ද?

අතීතයේ දී ගැහැනු දරුවකුට සමාජය තුළ වැඩි ආරක්ෂාවක් හිමි විය යුතු බවට වැඩිහිටියන් අතර මතයක් පැවැතිණි. ඒ අනුව අතීතයේ පටන් අද දක්වාම ගැහැනු දරුවන්ට සමාජය තුළ වැඩි ආරක්ෂාවක් ලබා දීමට වැඩිහිටියෝ කටයුතු කරති. වර්තමානය තුළ ගැහැනු දරුවන්ම පමණක් නොව භේදයකින් තොරව දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන තත්ත්වයක් ලෝකය පුරා දැකගත හැකි ය. දිනෙන් දිනම පිරිහීමට පත් වෙමින් පවතින සමාජය තුළ දරුවන් සම්බන්ධව සිදු වන අකටයුතුකම් අහන්නට දකින්නට ලැබීමම ඒ බව මනාව කියාපායි.

බොහෝ විට සමාජයේ බාහිර පුද්ගලයන්ගෙන් සිදු වන අකටයුතුකම්වලට අමතරව දරුවන්ට සමීපම පුද්ගලයන්ගෙන් සිදු වන අකටයුතුකම් ද නිතර නිතර අසන්නට ලැබීම මහත් ඛේදවාචකයකි. මෙහි දී දරුවන් පිළිබඳව දෙමාපිය වගකීම ඉතාමත් ඉහළ මට්ටමක පැවැතිය යුතු අතර දෙමවුපියන් කෙරෙන් දරුවන් දුරස් වන ඕනෑම මොහොතක දරුවාගේ අනාරක්ෂිත බව වැඩි වනු ඇත. මෙහි දී බොහෝ දරුවන් තමන්ට සිදු වන අකටයුතුකම් පිළිබඳව නිසි දැනුම්වත් වීමක් නොමැතිකම, නැතහොත් ඒ පිළිබඳ කිසිවකුට හෝ කීමට බිය වීම, ලැජ්ජාව ආදී කාරණා මත බොහොමයක් දරුවන්ට සිදු වන පීඩනීය තත්ත්වයන් සැඟව යන අතර, ඒ හරහා සමාජයට පැමිණෙන දරුවා බොහොමයක් හීන පෞරුෂ තත්ත්වයන්ගෙන් පෙළෙයි. ඒ හරහා රටට, ලෝකයට විශාල වටිනාකමක් ලබා දිය හැකි දරුවන් නිරපරාදයේ මුළුගැන්වීම හෝ ප්‍රචණ්ඩකාරී චරිත ලෙස සමාජයට ඉදිරිපත් වීම හෝ සිදු වනු ඇත.

තමා වටිනා පුද්ගලයකු බවත්, කිසිවකුට තම ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදිය යුතු බවත්, වෙනත් කටයුත්තක් සඳහා හෝ තමාට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් දරුවන්ට වටහා දිය යුතු අතර, කුඩා කල පටන්ම දෙමවුපිය ආදරය, රැකවරණය හමුවේ දෙමවුපියන්ට විවෘතව  කතා කිරීමට දරුවාට ඉඩකඩ සැලැසිය යුතුය.

සෑම දරුවකුටම පාහේ නිසි වයසේ දී ලිංගික අධ්‍යාපනය ලබා දීම ඉතාමත් වැදගත් වන අතර, ඒ හරහා දරුවන්ට තමාට යම් අයකු වෙතින් අකටයුත්තක් වන්නේ නම්, එය නුසුදුසු ක්‍රියාවක් බව හෝ අවබෝධ වනු ඇති අතර, ඒ පිළිබඳව වැඩිහිටියන් දැනුම්වත් කිරීමට ද දරුවාට හුරු කළ යුතු ය. මෙහි දී සමාජය දරුවන්ට නිදහසේ සිටීමට සුදුසු තත්ත්වයට පත් කිරීම පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවන බව වර්තමාන සමාජය තුළ සිදු වන ළමා අපචාර, අපයෝජන හමුවේ පෙනී යයි. එබැවින්, නිරන්තරයෙන්ම දරුවාට සමාජය තුළ ඇති අනාරක්ෂිත බව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දීම දෙමවුපියන්ගේ අනිවාර්ය වගකීමකි. තව දුරටත් සමාජය තුළ එවැනි අකටයුතුකම් සිදු වන විට නිශ්ශබ්දව සිටීම වෙනුවට හඬ නැඟීමක් සිදු කළ හැකි නම්, එය අදාළ අකටයුතුකම් සිදු වන දරුවන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ගේ අනාගතය ද සුරක්ෂිත කිරීමට දරන වෑයමක් වග සිතට ගත යුතු ය.

අප කිසිවකු නොසිතන පරිදි නොසිතන පුද්ගලයන් අතින් බොහෝ විට දරුවන් විවිධ අකටයුතුකම්වලට ලක් විය හැකි අතර, දරුවකුට නිදහස විඳින්නට ඉඩ දිය යුත්තේ දරුවාගේ ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම හරහා නොව නිරන්තරයෙන් දරුවන් පිළිබඳව අවධානය යොමු කරමින් ය. තමා වටිනා පුද්ගලයකු බවත්, කිසිවකුට තම ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ නොදිය යුතු බවත්, වෙනත් කටයුත්තක් සඳහා හෝ තමාට බලපෑම් කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් දරුවන්ට වටහා දිය යුතු අතර, කුඩා කල පටන්ම දෙමවුපිය ආදරය, රැකවරණය හමුවේ දෙමවුපියන්ට විවෘතව  කතා කිරීමට දරුවාට ඉඩකඩ සැලැසිය යුතු ය. ඒ හරහා දරුවාගේ අනාගත සුරක්ෂිතතාව වර්ධනය වේ. සමාජය අනාරක්ෂිත යැයි දරුවා සමාජයට ඉදිරිපත් කිරීමෙන් වැළැකී සිටීම දරුවාට කරන විශාල හානියකි. එමෙන්ම දෙමවුපියන්ට දරුවන් කෙරෙහිම ඇස ගසා සිටීමට ඇතැම් විට නොහැකි විය හැකි ය. විය යුත්තේ සමාජයට අවතීර්ණ වන දරුවාට කුඩා කල සිටම සමාජයේ ජීවත් විය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත්භාවයක් ලබා දීම මෙන්ම හැකි සෑම විටම දරුවන් පිළිබඳව අවධානය යොමු කිරීමයි. දරුවන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති, එවැනි සිදුවීම් බොහොමයක් අසන්නට ලැබෙන කාල වකවානුවක ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මල් කැකුළු වන් දරු පැටවුන් රැකගැනීම කෙරෙහි මුළු මහත් සමාජයේම අවධානය යොමු විය යුතුය.

එල්. බී. එස්. දිල්හාරා

කැලණිය විශ්වවිද්‍යාලය

Leave A Reply

Your email address will not be published.

11 − seven =