ඇතුළේ අවුල යට ගැසූ විශ්වාසභංගය

දවසින් දවස ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කලකිරීම වර්ධනය වෙයි. ඒ නිසාම ආණ්ඩුව ඇතුළේ ඉන්න අයත් කලකිරෙයි. බොහෝ ඇමැතිවරු, මන්ත්‍රීවරු නායකත්වය කෙරෙහි දැඩි කලකිරීමෙන් පසුවෙති. බොහෝ ඇමැතිවරු, මන්ත්‍රීවරු තැන් තැන්වල කසුකුසු ගෑවෝ ය. ඒත්, කිසි කෙනෙක් මූණට මුකුත් කියන්නේ නැත. ජනතා විරෝධය වැඩි වන විට මේ කලකිරීම තව තවත් වැඩි වන්නේ ය. නන්දසේන ගෝඨාභය ආණ්ඩුවේ නායකයා වුණාට ඇත්තට ම යටින් මෙහෙයවන්නේ බැසිල් රාජපක්‍ෂ බව කවුරුත් දන්නා දෙයකි. එය එහෙම වී ඇත්තේ, නන්දසේනට රට පාලනය කරන ආකාරය පිළිබඳව මෙලෝ දැනුමක් නැති නිසාවෙනි. ආර්ථිකය ද, කාබනික පොහොර ද, කොරෝනා වසංගත පාලනය ද සියල්ල මෙහෙයවන්නේ බැසිල් ය. රට මෙතරම් වූ අවුල් ජාලාවකට, විනාශයකට පත් කිරීමේ ප්‍රධාන භූමිකාවක් දැරුවේ ඔහු ය. අදටත් එය එසේ ම ය. ඒ විතරකුදු නොව බොහෝ අයට ඇමැතිකම් දීම, නොදීම සහ දීපු ඇමැතිකම්වල විෂයයන් තීරණය කිරීම යන සියල්ල සිදු කළේ බැසිල්ගේ වුවමනාවටය. මේ හේතුව නිසා ම ඔහු පිළිබඳව අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් උත්සන්න වෙමින් පැවැතියේ ය.

මෝරමින් තිබූ බැසිල් විරෝධය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ දී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමේ හැකියාව ඇති කළේ ඔහුගේ වුවමනාවට ය. යම් මන්ත්‍රීකමක්, ඇමැතිකමක් ගත්ත බැසිල්ගේ ම ගෝලයෝ එහෙයියන් ලෙස ඔහුව අගය කරති. එහෙත්, දේශපාලන චලනයන් ගැන යම් හෝ අවබෝධයක් ඇති අය ඔහුට අකැමැතිය. ඒ වාගේ ම තනතුරු වරප්‍රසාද නොලැබුණු අය ද ඔහුට අකැමැති ය. මොන දේ කරන්න ගියත්, හැම දේට ම ඇඟිලි ගහන එක නිසා ඒ අර්ථයෙන් ද ඔහුට අකැමැති ය. ගෝඨාභයගේ බලයෙන් ඔළුව උදුම්මවාගෙන ඉන්න අර්ථයෙන් ද ඔහුට අකැමැතිය. විවිධ හේතු මත දැඩි බැසිල් විරෝධයක් පසුගිය කාලය පුරා ආණ්ඩුව ඇතුළේ අළු යට ගිනි පුපුරු මෙන් ඇවිළෙන්නට පටන් ගත්තේ ය. අවසාන කාලය වන විට එය එළිපිට ම පත්තු වුණේ ය. ඒ තත්ත්වයත් එක්ක ආණ්ඩුව ඇතුළේ බරපතළ දෙදරීමක් ඇති වුණේ ය. පුපුරා යන්නට ඔන්න මෙන්න තත්ත්වයකට ද පත් වුණේ ය.

ඇවිළෙන විරෝධයට ඉන්ධන!

අවසාන වශයෙන් මෙය එළියට ආවේ තෙල් මිල වැඩි කිරීමත් එක්ක ය. තෙල් මිල වැඩි කළ විගසම බැසිල්ගේ ගෝලයා කාරියවසම් නිවේදනයක් නිකුත් කළේ ය. එයින් කියැවුණේ එයට ගම්මන්පිල මුළුමනින්ම වගකිව යුතු බව ය. ඒ නිසා ම ඔහු ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව ය. ප්‍රහාරය ආවේ කොතැනින් ද යන්න දැන ගත් ගම්මන්පිල ඇත්ත කතාව රටට හෙළි කළේ ය. තෙල් මිල වැඩි කළේ ජනාධිපතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ඉහළ ම පෙළේ කමිටුවක් මඟින් බව කීවේ ය. මුදල් ඇමැතිවරයා නොහොත් මහින්ද රාජපක්‍ෂගේ අනුමැතියෙන් බව ද කීවේ ය. අභ්‍යන්තර ආරංචිමාර්ගවලට අනුව බැසිල් ද මෙය හොඳින් දන්නේ ය. සමහර ඇමැතිවරු එකවර වැඩි නොකර අවස්ථා කිහිපයක දී වැඩි කරන්නට යෝජනා කළහ. එහෙත්, බැසිල් කියා ඇත්තේ, “එතකොට හැම දා ම මිනිස්සු බණිනවා. ඒ හින්දා එකසැරේ ම වැඩි කරලා දාන්න” කියා ය. “එතකොට ඔය බණින එක බැණලා ඉවර වෙලා යනවා” කියාය. එහෙවු බැසිල් ගෝලයා ලව්වා ලියුමක් යැව්වේ, ඇතුළේ තිබුණු ගැටුම් නිසාවෙන් ය. අනෙක් පැත්තට රටේ ජනතාවගේ අවධානය ඒ නාඩගම පැත්තට හැරවීමට ය. ඇත්තට ම සිද්ධ වුණේ ඒක ය. තෙල් මිල වැඩි කිරීමත් එක්ක මතු වුණු බරපතළ ආණ්ඩු විරෝධය පැත්තක හිටපු ගම්මන්පිලගේ බැරිකම පැත්තට කැරැකුණේ ය. ගම්මන්පිල කළේ ආණ්ඩුව ගත්ත තීරණය ජනතාවට දැනුම් දීම ය. කොයි දේටත් පෙත්තප්පු වාගේ කෑ ගහන ඔහු මේ වැඩේටත් කෑගැහුවේ ය.

පෙත්තප්පුලාගේ රාජකාරිය

ඇත්තට ම ගම්මන්පිල කියන්නේ, නිකම් ම නිකම් පෙත්තප්පු කෙනෙක් විතර ම ය. ආණ්ඩුවේ ඉහළ පෙළේ තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට නැත. බොහෝ තීන්දු තීරණ ගන්නේ අයියලා, මල්ලිලා එකතු වෙලා ය. මූණිච්චාවට කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමක් කරන්නේ ය.

විපක්‍ෂයේ දේශපාලන උපක්‍රමය විය යුතුව තිබුණේ, ආණ්ඩුවේ අවුල සමනය කිරීම නොවේ. අවුල තව තවත් අවුළුවාලීම ය. එයට අවශ්‍ය ඉන්ධන සැපයීම ය. එහෙත්, මේ කරපු දෙයින් ආයෙත් වතාවක් සජිත්ගේ පිලේ ඉන්න අය ම ආණ්ඩුවට ඡන්දය දෙන තත්ත්වයක් ඇති කර ගත්තේ ය. මරාගෙන මැරෙන තත්ත්වයේ හිටපු අය යම් කාලයකට හෝ එකතු කර දුන්නේය.

එයට හොඳ ම උදාහරණය කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය ඇමෙරිකාවට විකුණා දැමීම ය. අදාළ විෂයභාර ඇමැතිවරයා ඩලස් අලහප්පෙරුම ය. ඔහු විසින් මේ පිළිබඳ ජාත්‍යන්තර ටෙන්ඩර් පවා කැඳවා තිබිණි. වෙනම ම කාර්යාලයක් හා සේවක මණ්ඩලයක් පවා පත් කර තිබිණි. ඒ කිසිවක් නොතකා බැසිල් එක්වර ම කැබිනට් පත්‍රිකාවක් දැම්මේ, ඇමෙරිකානු සමාගමකට විකුණා දැමීමට ය. ඇත්තට ම මෙය පටන්ගෙන තිබුණේ ද මහින්ද මුදල් ඇමැතිව සිටි කාලයේ ය. ඒ කියන්නේ, මහින්ද, බැසිල් දෙදෙනාගේ ම අවබෝධයෙන් ය. මෙය ගෝඨාභය නොදන්නවා යැයි සිතීම විහිළුවකි. සියල්ල සිදු වන්නේ එලෙසින් ය. මෙවැනි බොහෝ දේ සිදු වෙමින් පවතී. ඒ නිසා ම අභ්‍යන්තර අවුල් බරපතළ තත්ත්වයකට දිනෙන් දින වර්ධනය වුණේය. අහුමුළුවල, තැන් තැන්වල පවුලේ භූමිකාව ගැන ආණ්ඩුව ඇතුළේ ම කසුකුසුවක් ඇති වුණේය. කලකිරීමත්, එපා වීමත් සමඟ එය තදබල දෙදරා යාමක් දක්වා වර්ධනය වී තිබිණි.

සජිත්ගේ ටිකිරි මොළේ!

විපක්‍ෂයේ වගකීම වන්නේ මේ තත්ත්වය හරිහැටි තේරුම් ගැනීම ය. එතැනින් නතර නොවී හරිහැටි කළමනාකරණය කිරීම ය. එහෙත්, සිදු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. ආණ්ඩුව ඇතුළේ ගැටුම් ගැන හරිහැටි වූ අවබෝධයක් ලබා ගැනීමට සමඟි ජන බලවේගය අසමත් විය. විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාස මෙහි දී සලකා බැලුවේ මතුපිටින් වූ කරුණ පමණකි. මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණු කරුණ පමණකි. ඔවුන් සිතුවේ. සාගරගේ ලියුමත් එක්ක වැඩේ පත්තු කර ගත හැකි යැයි කියා ය. කලබල වෙලා හදිස්සියේ ම විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේය. අඩු ම තරමින් ඒ පිළිබඳව විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ සමඟ කතා කළේ නැත. තමන්ගේ පක්‍ෂයේ අය සමඟ හෝ නිවැරැදි සාකච්ඡාවක් කර ගත්තේ නැත. තුන් හතර දෙනෙක් එකතු වෙලා කලබලයෙන් යෝජනාවක් සකස් කරලා, මාධ්‍යවලට දුන්නේ ය. අන්තිමේ දී සිද්ධ වුණේ, ආණ්ඩුවේ ගැටුම් තිබූ සියලු දෙනා එකතු වීම ය. සජිත් කළේ වෙන්වෙලා, බෙදිලා, මරා ගන්න තත්ත්වයට මෝරලා තිබුණු අවුල ලිහා දීම ය. ඇතුළේ මොන ගැටුම්, ප්‍රශ්න තිබුණත්, විපක්‍ෂයෙන් මේ වාගේ යෝජනාවක් එන කොට ඒකට විරුද්ධ වෙනවා යන්න තේරුම් ගත හැකි සරල සිද්ධියකි. එහෙත්, එවැනි පුංචි දෙයක් තේරුම් ගැනීමට තරම්වත් හැකියාවක් සජිත්ට නැති වීම දේශපාලන අපරිණතකම විදහා දැක්වීමකි. දැනටමත් ජනතාව කතා වෙන්නේ ‘සජිත් මෝඩයා’ කියා ය. ඒ කියන කතාව තවත් තහවුරු කිරීමක් මේ මඟින් සිදු වුණේ ය. විපක්‍ෂයේ දේශපාලන උපක්‍රමය විය යුතුව තිබුණේ, ආණ්ඩුවේ අවුල සමනය කිරීම නොවේ. අවුල තව තවත් අවුළුවාලීම ය. එයට අවශ්‍ය ඉන්ධන සැපයීම ය. එහෙත්, මේ කරපු දෙයින් ආයෙත් වතාවක් සජිත්ගේ පිලේ ඉන්න අය ම ආණ්ඩුවට ඡන්දය දෙන තත්ත්වයක් ඇති කර ගත්තේ ය. මරාගෙන මැරෙන තත්ත්වයේ හිටපු අය යම් කාලයකට හෝ එකතු කර දුන්නේ ය. රටේ ජනතාවගේ තෙල් මිල වැඩි කිරීම කෙරෙහි වූ විරෝධය වෙන පැත්තකට තල්ලු කළේය.

ගම්මන්පිල මාධ්‍යයට කිව්වේ ඒ කතාව ය. ඇතුළේ තිබුණු ගැටුම සමථයකට පත් කර දුන්නාට විපක්‍ෂයට ස්තුතියි කියා ය. ඒ අර්ථයෙන් ගත් කල විශ්වාසභංගය අමනෝඥ ක්‍රියාවක් බව පැහැදිලි ය. අද වෙන කොට සජිත්ගේ පිලේ බොහෝ අය ද ඒ ගැන කතා වෙති.

කේවට්ට ආචාරියෝ

එහාට මෙහාට පනින දයාන් ජයතිලක වාගේ අවස්ථාවාදීන් සජිත්ව ඇන්දුවාට පක්‍ෂිකයන්ට මේ බව වැටහෙන්නේ ය. දයාන් අද වෙන කොට සජිත්ගේ උපදේශකවරයෙක් ය. ලබා දුන් උපදෙස්වල තරම මේ වැඩෙන් ම තේරුම් ගත හැකි ය. අන්තිමට සිද්ධ වෙච්ච දේ පැත්තක හිටපු පෙත්තප්පු කෙනකු පොරක් කිරීම ය. බැසිල් හීන් නූලෙන් මේ අස්සේ මුදල් ඇමැති විය. දන්නෙ ම නැතිව ඇතුළේ අර්බුදයට තාවකාලිකව හෝ උත්තරයක් ලැබුණි. ජනතාවගේ වැඩි වුණු තෙල් මිල එහෙම ම ය. මේ තත්ත්වය තුළ නන්දසේනගේ ආණ්ඩුවට එරෙහිව සජිත් උත්තරයක් නොවන බවත් ඔප්පු කර ගත්තේ ය.

සමඟි ජන බලවේගයට යූ.එන්.පී.යෙන් ලැබුණු ලොකු කඳක් ඇති බව සැබෑ ය. එහෙත්, ඒ කඳට ගැළපෙන ඔළුවක් නැතිකම විශාල අඩුපාඩුවකි. පෙනෙන තෙක් මානයක ඔළුවක් ඇත්තේ ද නැත. චම්පික වෙන අතක් බලාගෙන ඇත්තේ, කඳට ඔළුවක් වෙන්න ඉඩක් නොදෙන නිසාවෙනි. ඒත්, ඒකට කිසිදු බලයක් මහපොළොවේ නැත. මහපොළොවේ නැති දෙයකට අදහසක්, සංකල්පයක් දුන් පමණට එය යථාර්ථයක් වන්නේ නැත. මින් තව තවත් ඔප්පු කර ඇත්තේ, පවතින නන්දසේන පවුල් පාලනයට එරෙහි සැබෑ විකල්ප බලවේගයක වුවමනාව ය. ප්‍රශ්නය වෙන දිශාවකට තල්ලු නොකර සෘජුව ප්‍රශ්නයට උත්තර සැපයිය හැකි විකල්ප බලවේගයක වුවමනාව ය●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

8 + 12 =