ආණ්ඩුවත් වසන් කරන ගෑස් අර්බුදයේ ඇත්ත කතාව

ගෘහස්ථ ගෑස් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයන් නිසා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවන්ට පත් වී සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන ගෑස් සැපයුම් දෙකෙන් එකක් වන ලාෆ් ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළ තුළ මිල දී ගැනීමට නොමැති වීම නිසා පොදුවේ ගෑස් හිඟකමක් මෙන්ම ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට අමතර දුෂ්කරතාවක් ද ඇති කර තිබේ. ඊට අමතරව ලිට්‍රෝ ගෑස් සඳහා කරනු ලැබූ ධාරිතාවයේ සහ මිලෙහි සංශෝධනය විසින් ද ගැටලුව තවත් සංකීර්ණ කර තිබේ.

සංශෝධන විජ්ජාව

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ධාරිතාව ලීටර් 24.5 සිට ලීටර් 18 දක්වා අඩු කිරීමට කටයුතු කරනු ලැබූයේ මතු වී ඇති අර්බුදය අතරතුර ය. නැව් ගාස්තු ඉහළ යාම, ඩොලර් හිඟය නිසා ඇති වී තිබෙන ආනයන ගැටලු හේතුවෙන් මිල ඉහළ දැමීමට ඔවුන් කර තිබූ ඉල්ලීමට නිසි විසඳුමක් ලබා නොදීම නිසා මේ තීරණය ගනු ලැබූ බව ඔවුහු පවසති. ඊට මැදිහත් වෙමින් ආණ්ඩුව සඳහන් කළේ, පහළ දැමූ ධාරිතාවට සාපේක්ෂව ගෑස් මිල ද සංශෝධනය කිරීමට පියවර ගත් බව ය. ඒ අනුව රුපියල් 1,493.00කට තිබූ ලීටර් 24.5ක ගෑස් සිලින්ඩරයක් වෙනුවට රුපියල් 1,150.00 සිට රුපියල් 1,250.00 දක්වා දිස්ත්‍රික්ක වශයෙන් මිල කාණ්ඩ යටතේ ලීටර් 18ක ගෑස් සිලින්ඩරයට මිල උපරිම මිලක් නියම කරනු ලැබී ය.
බැලූබැල්මට මෙය ආණ්ඩුව මැදිහත් වී ජනතාවට සාධාරණයක් ඉටු කිරීමක් සේ පෙනෙන්නට තිබේ. එහෙත්, මේ මිල ගණන් සහ ප්‍රමාණයන් ඇසුරෙන් කළ වෙනස්කම ජනතාව රවටමින් කළ විජ්ජාවක් බව පෙනී යන්නේ මේ සංශෝධන අතර සම්බන්ධය හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව ය. ධාරිතාව පහළ දැමූ විට ඊට සරිලන මිලක් නියම කළේ යැයි ආණ්ඩුව කියා සිටිය ද, රුපියල් 1,493.00කට ලීටර් 24.5ක ගෑස් සිලින්ඩරයක් අලෙවි වන විට එහි ගෑස් ලීටරයක මිල රුපියල් 60.93කි. එසේ නම්, ලීටර් 18ක මිල විය යුත්තේ 1,096.89කි. එහෙත් ලීටර් 18ක සිලින්ඩරයක එක් ලීටරයක් රුපියල් 63.89ක් ලෙස කොළඹ දීත්, රුපියල් 69.45ක් ලෙස යාපනයේ දීත් පමණක් නොව ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ පස් දෙනකුගෙන්
යුත් රාජපක්ෂ පවුල නියෝජනය කරන හම්බන්තොට දී රුපියල් 67.60ක් ලෙසත් මිල ඉහළ දමා ඇත. එම මිල ගණන් යටතේ පැරැණි ධාරිතාවෙන් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා දෙන්නේ නම් රුපියල් 72.52කින් කොළඹ දීත්, රුපියල් 208.27කින් යාපනයේ දීත්, රුපියල් 163.40කින් ද ඇතුළුව දිවයින පුරා ගෑස් මිල වැඩි වී තිබේ.
මේ අනුව පැහැදිලි වන්නේ ගෑස් ධාරිතාව අඩු කිරීමත්, නව මිල සංශෝධනයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ ආණ්ඩුව අතර ගැටුමක් ලෙස පෙන්වමින් ජනතාව රවටා ගෑස් මිල වැඩි කිරීමට කරනු ලැබූ විජ්ජාවක් බවය.

ලාෆ් ගෑස් හිඟය

මේ වන විට වෙළෙඳපොළ තුළ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට හැකියාවක් නැත. ඊට හේතුව එම සමාගම විසින් ගෑස් ආනයන නවතා දැමීම ය. ගෑස් ආනයනය සඳහා ණය පහසුකම් ලබා දීම බැංකු විසින් නවතා දැමීම මීට හේතුව ලෙස එම සමාගම විසින් පවසා තිබේ. මේ වන විට ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදාහරින මාබිම මධ්‍යස්ථානය වසා දමා ඇති අතර, එම සමාගමේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය 26 වන දිනයේ සිට වසා දමා තිබේ. නැවතත් ලබන පළමු වන දා සිට මාබිම පර්යන්තය විවෘත කිරීමට සැලැසුම් කර තිබෙන බව ද සමාගම විසින් එහි සේවකයන්ට දන්වා තිබේ.

කෙසේ වෙතත්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර කර ගෑස් යොදා සිදු කරන වෙනත් සේවාවන් අඛණ්ඩව සැලැසීමට එම සමාගම කටයුතු කරමින් සිටී. එම කටයුතු සිදු කරමින් සිටින්නේ මෑන් පවර් සමාගම් හරහා ලබා ගත් සේවකයන් යොදා ගනිමිනි.

ලාෆ් සමාගමේ අර්බුදය

සමාගමේ අර්බුදයේ ඉතිහාසය පිළිබඳ විමසීමේ දී 2020 මැයි මාසයේ 21 වන දින පියදාස කුඩාබාලගේ ලාෆ් හෝල්ඩිංග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් වීම තීරණාත්මක සිදුවීමකි. කුඩාබාලගේ යනු මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකි. එසේම සමාගම් තුළ බල හුවමාරු සිදු කිරීම සඳහා අර්බුද නිර්මාණය කරන්නකු බවට ප්‍රචලිත පුද්ගලයෙකි. මීට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු ආයතන සහ සමාගම් ගණනාවක කළමනාකාරීත්වයට මැදිහත් වූ මොහු කුප්‍රකට තැරැවුකරුවෙකි. මේ බංකොළොත්වීම ප්‍රකාශයට පත් වන්නේත් මොහු පැමිණ වසර දෙකක් ඉක්ම ගිය පසුව ය.

ලාෆ් සමාගම මෙරටේ ගෑස් ඉල්ලුමෙන් මෙටි්‍රක් ටොන් 60,000ක් සැපයීමේ හැකියාව පවතින අතර, හම්බන්තොට පිහිටු වූ නවතම ටර්මිනලයෙන් මෙටි්‍රක් ටොන් 30,000ක් බෙදාහැරීමේ හැකියාව ලබාගෙන තිබේ. එහෙත් මේ වන විට ලාෆ් ගෑස් සමාගම රුපියල් බිලියන 22ක පමණ ණය බරකට මුහුණ දෙමින් සිටින අතර දේශීය බැංකු මේ වන විට මෙම සමාගම සලකන්නේ බංකොළොත් වූ ව්‍යාපාරයක් ලෙසටය.

බළලා මල්ලෙන් එළියට

බංකොළොත් වී තිබෙන ලාෆ් ගෑස් සමාගම සමඟ රජයේ ගෑස් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම සමඟ ඒකාබද්ධ කිරීමක් (merger) මහා භාණ්ඩාගාරය යෝජනා කර ඇත්තේ, මෙවැනි තත්ත්වයක් තිබිය දී ය. ලිට්‍රෝ ගෑස් සමාගමේ ධාරිතාව මෙටි්‍රක් ටොන් 8,000කි. එය ද මේ වන විට දුවන්නේ අලාභ පිට ය. එහි ප්‍රධාන ආයෝජකයා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ය. ලිට්‍රෝ සමාගම පූර්ණ රාජ්‍ය සමාගමකි. ඒ අනුව ආණ්ඩුවේ යෝජනාවත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානියා වශයෙන් සිටි කුඩාබාලගේත් අතර පැහැදිලි සම්බන්ධයක් පෙනී යයි.

ලිට්‍රෝ ගෑස් කරන ප්‍රකාශ

මෙවැනි තත්ත්වයක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වුව ද, රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිඟයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය ජූලි 20 වැනිදා ය. එහි සභාපති තෙෂාර ජයරත්න සිය නිවේදනය මඟින් සඳහන් කර තිබුණේ, ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද, එම ධාරිතාව ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බව ය. ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සඳහා ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගම සූදානම් බවත් ඔහු කියා සිටියේ ය.

ලිට්‍රො සභාපතිවරයා එසේ කියා සිටියද ඒ ආකාරයෙන් නිවේදනයකින් හෝ කට වචනයට එවැන්නක් සිදු කළ නොහැකි ය. ඒ සඳහා දැනට යෝජිත සමාගම් ඒකාබද්ධ කිරීම හෝ රජයට පවරා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ. එය සිදු කළ යුත්තේ විධිමත් ක්‍රමවේදයක් අනුව ය. එසේම එහි දී දැනට ලාෆ් සමාගම ගෙවීමට ඇති රුපියල් බිලියන 22ක ණය මුදල ගෙවීම සම්බන්ධ වැඩපිළිවෙළක් තිබිය යුතු ය. දැනටත් පාඩු පිට පවත්වාගෙන යන ලිට්‍රෝ ගෑස් සමාගමට මේ සියල්ලට තිබෙන විසඳුම සහ වැඩපිළිවෙළ කුමක් ද යන්න පැහැදිලිව ඉදිරිපත් කර නැත.

සියලු බර ජනතාවට

මේ සඳහා දැනට යෝජිත කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ, ලාෆ් සමාගම සතු කොටස්වලින් 70%ක් රජයටත් 30%ක් ලාෆ් සමාගමටත් හිමි වන පරිදි රජය විසින් ලාෆ් සමාගමේ කොටස් මිල දී ගැනීමට ය. ඒ අනුව මේ සූදානම් වන්නේ එක් අතකින් මිල ස්ථායීකරණයේ නාමයෙන් ලාෆ් සමාගමේ ණය බර රජයේ කරට ගන්නට ය. ආණ්ඩුව එයට කියන්නේ මෙය ppp ගනයේ (public private partnership) ගිවිසුමක් බවය. එසේ නම් බිලියන 22ක අලාභය බේරා ගැනීමට වෙළෙඳ ලෝකයේ සිදු වන පළමු සමාගම් ඒකාබද්ධ කිරීම සහ සමාගමක පාඩුවක් ආණ්ඩුවකින් කර ගැසූ පළමු අවස්ථාව මෙය වනු ඇත.

කෙසේ වෙතත්, මේ සියල්ල පසුබිමේ අත යට ගනුදෙනු සහ ගජමිතුරු සම්බන්ධයන් රැසක් තිබෙන බව නම් පැහැදිලිය. කුඩාබාලගේ ලාෆ් සමාගමට පත් කිරීම එහි සභාපතිත්වය දරන වෑගපිටිය එකඟ වීමත්, කුඩාබාලගේ පැමිණ පසුගිය කාලය පුරා එහි සේවකයන් වරින්වර වන්දි ලබා ඉවත් කිරීමත්, මෑන්පවර් සමාගම් හරහා නැවතත් එම සේවකයන්ගේම සේවය ලබා ගැනීමට කටයුතු කිරීමත් මේ ගනුදෙනුවල ප්‍රතිඵල ය.

ඒ වෙනුවට රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් සහ රටේ ගෑස් අර්බුදයක් ඇති නොවීමට ආණ්ඩුව සද්භාවයෙන් මැදිහත් වන්නේ නම්, කළ යුත්තේ බැංකු දෙක හරහා ණයකරුවන්ගේ ඈවර කිරීමක් හරහා හෝ පරාටේ වෙන්දේසියකින් තම ණය අය කර ගැනීමට කටයුතු කිරීම ය. එවිට වෙළෙඳපොළ අතික්‍රමණය කිරීමට විභවය ඇති සමාගමක් ලාෆ් සමාගමේ වත්කම් මිලට ගෙන නැවතත් ගෑස් වෙළෙඳාම සිදු කරනු ඇත.

සිදු විය යුත්තේ එය වුව ද, ආණ්ඩුව මේ කරන ගජමිතුරු සංග්‍රහ සහ අත යට ජාවාරම් නිසා සමාගම් සතු ණය මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඒ ණය බරත්, ජනතාව මුළා කරමින් සිදු කරන මිල වැඩි කිරීමත්, ඇති වෙමින් තිබෙන ගෑස් හිඟය නිසා මතු වන දුෂ්කරතාත් අවසානයේ පැටවෙන්නේ ජනතාව මත ය. ඒවා එසේ වන්නට ඉඩ දීමෙන් ආණ්ඩුව වග කියන්නේ ජනතාවට නොව, තම හිතමිතුරන්ට බව හොඳින්ම පැහැදිලිය.

-චතුර දිසානායක 

 

Leave A Reply

Your email address will not be published.

seventeen − 14 =