අධිකරණ විනිසුරු ධුරයකට හමුදාවේ නීති අංශ ප්‍රධානියෙක් ?

අධිකරණ විනිශ්චයකාර ධුරයක් සඳහා හමුදාවේ නීති අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ අයකු පත් කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් අනාවරණය වේ.

ආණ්ඩුවේ ප්‍රධානියකුගේ දැඩි අවධානය මේ සඳහා යොමු වී ඇති බවත්, එවැනි පත් කිරීමක් සඳහා බාධා ඇද්ද යන්න සම්බන්ධයෙන් ඔහු විසින් තම නීති උපදේශකවරුන්ගෙන් විමසා ඇති බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වේ. විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලන කටයුතුවලට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන්ගේ මෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ද දැඩි අවධානයට යොමු වී තිබේ. ජනාධිපතිවරයා විසින් මේ වන විට එවැනි පත් කිරීම් 40කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබේ. ඒ අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීහු සහ ජනාධිපති කාර්යසාධක බළකා ප්‍රධානීහු ද සිටිති.

කෙසේ වෙතත්, අදාළ පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද සඳහන් කරන විශ්වාස කටයුතු ආරංචිමාර්ග, මේ උත්සාහයට ජනාධිපතිවරයාගේ සමීපතමයකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥවරයකුගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ද පවසා සිටී.

හමුදාවේ විශ්‍රාමික නීති නිලධාරියකුට පොදුවේ මෙවැනි විනිසුරු පත්වීමක් ලබා දිය හැකි ද යන්න සම්බන්ධයෙන් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් සඳහන් කළේ නියමිත වයස පිළිබඳ ගැටලුවක් නොමැති නම්, ඒ සඳහා ජනාධිපතිවරයාට බාධාවක් නැති බවයි. ජනාධිපතිවරයාගේ පත් කිරීම පාර්ලිමේන්තු කවුන්සිලය මඟින් අනුමත කරන්නේ නම්, මෙවැනි පත් කිරීමකට ජනාධිපතිවරයාට නෛතික බාධාවක් නැති බව ද නීතිඥවරයා පැවසී ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එතෙක් පැවැති ස්වාධීන ව්‍යවස්ථාදායක සභාව අක්‍රිය කෙරිණි. ඒ වෙනුවට දැන් ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තු කවුන්සිලයයි. පාර්ලිමේන්තු කවුන්සිලයට ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීමේ බලය නැති බව ද අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් පෙන්වා දී තිබිණි.

Leave A Reply

Your email address will not be published.

three × 3 =