කොතලාවල පනතට එරෙහිව පෙරමුණු රැසක් සටනේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව සංවිධාන ගණනාවක් පෙරමුණු රැසකට ගොනුවෙමින් සිටී. එළඹෙන අගෝස්තු 06දා පාර්ලිමේන්තුවේදී මෙම පනත පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුව මෙම පනත පසුගිය ජූලි 08 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනම ඡන්ද විමසීම පවත්වා කඩිමුඩියේ සම්මත කර ගැනීමට උත්සාහ කළ ද, එය අසාර්ථක විය. මේ වන විට අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි මහජන ව්‍යාපාරය, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය, කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය ලෙස පෙරමුණු කිහිපයකින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සංගම්, ගුරු සංගම්, වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, දෙමාපිය සංගම්, මාධ්‍ය සංවිධාන, කලාකරුවන්ගේ සංවිධාන, විද්වතුන්ගේ සංවිධාන, සිවිල් සංවිධාන ආදී වශයෙන් සංවිධාන ගණනාවක් මෙම පෙරමුණු සමඟ ඒකාබද්ධ වී සිටී. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ද පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ, මෙම පනත සංශෝධනය නොකර මුළුමනින්ම ඉවත් කර ගන්නා ලෙස ය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක්ම ප්‍රකාශ කරන්නේ තමන් ඉදිරිපත් කර ඇති සංශෝධන සිදු නොකළහොත් පනතට ඡන්දය ලබා නොදෙන බවය.

මේ වන විටත්, ඉදිරි දින කිහිපයේත් රට පුරාම දැනුම්වත් කිරීම් සිදු කිරීමත්, ආයතන ඉදිරිපිට හා නගරවල උද්ඝෝෂණ පැවත්වීමටත් කටයුතු යොදා තිබෙන බව ප්‍රකාශ වී තිබේ. පසුගිය 26දා විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉගැන්වීම්වලින් ඉවත්ව වර්ජන ව්‍යාපාරයක් දියත් කළහ. මේ සියලු සංවිධාන ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව පනත හකුළා නොගන්නේ නම්, ඉදිරි දින කිහිපය තුළ තමන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග උත්සන්න කරන බවයි.

Leave A Reply

Your email address will not be published.

1 + two =