“ගුරුවරයාගේ හෘද සාක්ෂියෙන් ද ඇසිය යුතු පැනයක් තිබේ”

ගුරු අරගලයට ජය වේවා !……..

ගුරු අරගලය ඉතා ප්‍රබල තැනකට පැමිණ ඇත. පොදු සමාජයේ ද, යහපත් පුරවැසියන් ගේ සහය ද, ඒ සඳහා හිමිව තිබේ. එය සතුටට කරුණකි. බැලූ බැල්මට මෙය වැටුප උදෙසා කරන සටනක් ලෙස පෙනුණ ද ,මේ ගුරු අරගලය ඊට එහා ගිය දැවැන්ත සටනකි.
ඒ ගුරුවරයාගේ අභිමානය ..
ගුරු වෘත්තික භාවය, උදෙසා සටනකි…
එමෙන්ම තම දරුවා වෙනුවෙන් ද,
රට වෙනුවෙන් ද,
අනාගතය වෙනුවෙන් ද ,සටනක්..
මේ සටනට අප එක් විය යුත්තේ ගුරුවරයෙක් ලෙස ම පමණක් නොවේ. දෙමව්පියන් වැඩිහිටියන් හා පුරවැසියන් වශයෙන් ද අප මේ සටන කළ යුතු ම ය..
ඒ ගුරුවරයා දෙවියෙක් කිරීමට හෝ බඹයෙක් කිරීමට හෝ නොව ඔහු වෘත්තිකයෙක් කිරීමටය..
මන්ද සමාජයක දිශානතිය තීරණය කරන අධ්‍යාපනයෙහි පෙරගමන් කරුවන් වන්නේ ගුරුවරුන් ය.
ගුරුවරුන්ට ගරහන බොහෝ දෙනෙක් සිටිති. ඒ එසේ ගරහන අයගේ වරදක් නොවේ.
ඒ අයට ජීවිතයේ කවදාවත් හොඳ ගුරුවරුන් හමුවී නොමැති නිසා ය.
ගුරුවරයා සම්බන්ධ නිර්වචන අදාළ නොවේ. එහෙත් ගුරුවරයා කවුරුන්දැයි හඳුනා ගත හැකි පිරිසක් සිටිති.
ගුරුවරයා කවුරුන්දැයි හොඳින්ම දන්නේ සිසුවා ය.
හොඳ ගුරුවරයෙක් කිසිසේත් දෙවියෙක් නොවේ.
හොඳ මිනිසෙකි, මිත්‍රයෙකි, මග පෙන්වන්නකි, විටෙක පාලකයෙකි. එවැනි ගුරුවරු හමුවූ කිසිවෙක් කිසි දින ගුරුවරුන්ට නොගරහති.
රජයේ ගුරුවරු, ටියුෂන් ගුරුවරු කියා ගුරුවරුන්ගේ හොඳ නරක වෙන් කළ හැකි නොවේ, ගුරුවරයා ගුරුවරයෙකි. සමහර විට ඔබ ජීවිතේ ඔබේ හොඳම ගුරුවරයා ඔබට හමු වී ඇත්තේ පාසලකින් හෝ ටියුෂන් පන්තියක දී හෝ විය හැක.
ගුරු වෘත්තියෙහි පමණක් නොව ඕනෑම වෘත්තියක තම වෘත්තියට නිගා දෙන පුද්ගලයෝ සිටිති .
එය වෘත්තියක වරදක් නොවන අතර පුද්ගලයන්ගේ ප්‍රශ්නයකි.
පුරවැසියන්ගේ ප්‍රශ්නයකි.
මේ රටේ අධ්‍යාපනයෙන් සාදන ලද පුරවැසියන්ගේ ප්‍රශ්නයකි.. ඔවුන් අපට ගුරුවරුන් වශයෙන් ද, වෛද්‍යවරුන් වශයෙන් ද ,වෙළෙන්දන් වශයෙන්ද, දේශපාලඥයින් වශයෙන් ද, ඕනෑම ආකාරයකින් හමුවේ.
ගුරුවරයාගෙන් දේවත්වය අපේක්ෂා කරන ඔබ ඔබේ දරුවා දෙවියකු කරන්නට වෙහෙස නොවන්නේ මන්ද ?
ඔබ හදන්නේ ඔබේ දරුවා වෙනත් ඉහළ වෘත්තිකයෙක් කිරීමට ය.
ඒත් ඔබ ගුරුවරයාගෙන් දෙවියෙක් බලාපොරොත්තු වේ.
කන්නන්ගර මැතිතුමා දේශපාලඥයෙකි.
ඒත් ඔහු අපූරු පුරවැසියෙකි. එතුමන් රටකට පුරවැසියන් බිහි කිරීමට කැප වූවෙකි.
එහෙත් බහුතරයක් දේශපාලනඥයින් බිහි කරන්න හදන්නේ,
නූගතුන්.. නිවටයන්.. ඒ තම පැවැත්ම වෙනුවෙනි.
ලාභ අපේක්ෂාවෙන් වෙනුවෙන් චරණ අන්ධයින් ට එය නොතේරේ.
දෙරණ වාද පිටියේදී ඔබ එවැනි අය දුටුවාද..?
නැතිනම් ඔබ තවමත් අන්ධ ය.
ඇස් ඇරීම සඳහා මේ සටන ජය ගත යුතුම ය.
ඉන් නොනැවතී කොළ පුරවන බොරු අධ්‍යාපනය වෙනුවට ඇත්ත අධ්‍යාපනය වෙනුවෙන් ද සටන් කළ යුතුය.
ගුරු වෘත්තික භාවය දියුණු කරගත යුතුය. එනම් තම දරුවා ඇත්තටම තමන්ට ආදරය කරන ගුරුවරයකු බවට පත්විය යුතුය.
නියම ගුරුවරයෙක් යනු හොඳ සටන්කරුවෙක් ය.
මතක තබාගන්න ඔබේ දරුවාට ඉගැන්වීම සුදුසු ම එවැනි ගුරුවරු ය. මේ අරගලය එවැනි දිගුවකට ද යා යුතුය…

එසේ නොවුණහොත් ගුරුවරයාට තම හෘද සාක්ෂියෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඉතිරි විය හැක..
ගුරුවරයාට, කාලකන්නි යනුවෙන් අමතන පාලකයින් බිහි කිරීම, එය අනුමත කරන නායකයින් බිහි කිරීම, එවැනි පාලකයින් තෝරන ඡන්දදායකයින් බිහි කිරීම කළේ ඇයි නුඹලා..?
– මිහිර බණ්ඩාර හේරත්

Leave A Reply

Your email address will not be published.

10 + 4 =