බලය විසින් මෙහෙයවන ලද පුද්ගලයාගේ ඉරණම ගැන කියන “බූමාටු”

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම බලය විසින් මෙහෙයවන ලද පුද්ගලයින් තමාට, තම අවට සිටින අයට පමණක් නොව, ලෝකයට පවා ගෙන ආවේ විනාශයයි. බලය නම් අඳුරු අවිය අත දරන්නා බොහෝ විට එම අවියෙන්ම අවසානය ළඟා කරගන්නා බව ඉතිහාසය පවා සාක්ෂි දරන්නකි. ආර්. කේ නාරයන් නම් ඉන්දීය ලේඛකයා විසින් රචිත The Man-Eater Of malgudi නම් නවකතාව මගේ මතකයට නැගෙයි. මල්ගුඩියට පැමිණෙන වාසු නම් චර්ම ශිල්පියෙක් (සතුන්ගේ සම්වලට පුළුන් පුරවා බොරු සතුන් සකසන්නෙක්) එහි මුද්‍රණ ආයතනයක හිමිකරු වන නටරාජ් ගේ මුද්‍රණ ආයතනයේ අටල්ලෙහි නවාතැන් ගනී. අධික හස්ත බලයක් තිබූ වාසු එහි බලයෙන්ම නටරාජ්ගේ ජීවිතය වියවුලට ඇද දමයි. එමෙන්ම මල්ගුඩියේ සාමයද බිඳ දමයි. අවසානයේදී ඔහු මියයන්නේ නළලේ වැසූ මදුරුවෙකුට එල්ල කරන ලද පහරකින් මොළයේ නහර පුපුරා යාමෙනි. වාසු සතු වූ බලය ඔහුගේම විනාශයට හේතු විය. මෙකී කාරණය රෝහිත බ්‍රහ්මචාරී ගේ බුමාටු නවකතාව තුළ ද වෙනස් මානයකින් ස්ථාපනය වන අතර ඔහු කතාව ඉන් ඔබබට ගෙනයයි. රෝහිත බ්‍රහ්මචාරී ගේ බූමාටු නවකතාව කියවා අවසන් කළ විට නැවතත් මේ කතාව මගේ මතකයට නැගිණි.

නවකතාවේ පසුබිම (setting)

බූමාටු නවකතාව පදනම් වන්නේ යන්ත්‍ර, මන්ත්‍ර තන්ත්‍ර ආදි ගුප්ත විද්‍යාව භාවිත කල පැරණි කාල සමයකි. බූමාටු හරහා රෝහිත නැවතත් අපිව විදානේලා, ගුරුන්නාන්සේලා සිටි කරත්තයෙන් ගමන් ගිය යුගයට කැඳවාගෙන යයි. එහිදී ඔහු නවකතාවේ පසුබිම ඉතා සූක්ෂමව ගොඩනගයි. මෙවැනි නවකතාවකදී නවකතාවේ පසුබිම තුළ පාඨකයාට අවිශ්වාසයක් ජනනය නොකර ඔහුව රඳවා ගැනීම නවකතාකරුවෙකුට ඇති ප්‍රභලම අභියෝගයයි. රෝහිත එම අභියෝගය හොඳින් ජයගෙන ඇති බව පෙනෙයි. කතාව ආරම්භයේ සිටම අවසානය දක්වාම එම පසුබිම තුළ පාඨකයා අතරමං කරවයි. එවිට අප සිටින්නේ ස්මාට් පෝන් භාවිත කරන, සූම් සංවාද තියන ලෝකයක නොව ඉහත කී පැරණි ලෝකයේයි.
අතීතයේ පැවති යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කළ සමාජය සහ එකී සමාජය තුළ ජනතාවගේ හැසිරීම් ව්‍යාජ උත්කර්ෂයට නැගීමකින් තොරව ලියන්නට කතුවරයා උත්සාහ කරනු පෙනේ. එනිසාම එක් අතකින් මේ නවකතාව එම පැරණි විශ්වාස ශක්තිමත් කරන්නේද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. කෙසේ වුවද නවකතාව ගලායන ආකාරය සහ එයින් සමාප්තිය දෙස බලන විට ඔහුගේ අරමුණ ඉන් ඔබ්බට ගිය පුළුල් එකක් බව අවබෝධ වෙයි.

නවකතාවේ සැකැස්ම (Plot)

කතාවට පසුබිම් වන්නේ පොඩිගුරු නම් අති දක්ෂ මන්ත්‍රාචාරියෙකුට කැළයේදී විශාල ගෝනකු පහරදීමේ සිද්ධියක් සමගිනි. පොඩිගුරුම පවසන ලෙස එම ගෝනා ඔහු මින් පෙර කිසිදාක දැක නැති දැවැන්ත සත්වයෙකි. ජීවත් වේයැයි විශ්වාස කල නොහැකි තරම් බලසම්පන්න සතෙකි. පොඩිගුරු සැකකරන්නේ මෙය කිසිවෙකු විසින් තමා වෙත එවන ලද පිල්ලියක් බවයි. ඉන්පසුව ඇරඹෙන්නේ එම පිල්ලිය කැපීම සඳහා පොඩි ගුරු ගන්නා උත්සාහයයි. එහිදී පොඩිගුරුට සහ ඔහුගේ සගයා වූ කළුවාට පොඩිගුරුගේ වේශයෙන්ම පැමිණෙන පුද්ගලයෙකු උපදෙස් ලබා දෙයි. ඔහුගේ උපදේශය නම් පිල්ලිය ආපසු නොයවා එය එවූ කෙනා සහ හේතුව සොයාගන්නා ලෙසය. මෙම වර්ථමාන කතාව දිවෙන අතරේම කතාව වරින්වර පොඩිගුරු ගේ අතීතයට ද ගමන් කරයි. එයින් කතාව පරම්පරා තුනක් සම්බන්ධ කෙරෙන පුළුල් අවකාශයකට පැතිරී යයි. නවකතාවට දීප්තිමත් ආලෝකයක් ලැබෙන්නේ මෙම අතීත කතාව සම්බන්ධ වීමත් සමඟිනි.

චරිත ගොඩනැංවීම
පොඩිගුරු

මෙහි පොඩිගුරු නම් චරිතය තමන් දන්නා ශිල්පයේ කෙළ පැමිණියෙකු මෙන්ම, දක්ෂ වුවත් බලය විසින් මෙහෙයවනු ලැබූ චරිතයකි. ඒ බව කතාවේ සනාථ වන්නේ පහත අවස්ථා වලිනි.
“යකුන් හා පෙරේතයින් කොහොමත් පොඩිගුරුට බයය. වදුරැස්සකොටුවේ පොඩිගුරා ගුරුන්නාන්සේ තොවිල් පොළට පැමිණියේය යන සංඥාවෙන්ම ඇතැම් යකෙක් පෙරේතයෙක් ආතුරයා අතහැර නික්මෙන්නේය. “
“දෙවි දේවතාවුන් පොඩිගුරුට බියවීද? නැතහොත් පොඩිගුරු දෙවියන් කෙරෙහි තබා තිබූ බිය හා සැක දුරැ කර ඇතිද?” 84 පිටුව
දැඩි පෞරුෂය විසින් ඔහු තුළ ඇති කරන ලද ශක්තිය ඔහු හොඳට මෙන්ම නරකට ද භාවිත කරයි. පොඩිගුරු කියන ලෙසම ඔහුට එවැනි පිල්ලියක් එවන්නට තරම් දක්ෂයෙක් සිටී යැයි සිතිය නොහැකිය. එසේ නම් මේ රීරි පිල්ලිය එවා ඇත්තේ කවුරුන්ද? රෝහිත සමස්ථ කතාව තුළම පාඨකයාගේ කුතුහලය රඳවා ගන්නේ මේ කාරණයෙනි.

හාමිනා

නවකතාවේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකිය හැකි පොඩිගුරුගේ දෙවන බිරිඳ වන හාමිනා සාම්ප්‍රදායිකත්වය සහ නූතනත්වය අතර සිටින චරිතයක් ලෙස දැකිය හැකිය. ඒ ඇය සියල්ලන්ටම හොරා පළමු දිනයේ දුටු පොඩිගුරු සමඟ පැමිණීමත්, අවසානයේදී පොඩිගුරු ගේ සහෝදරයා වන සුබයා සමඟ එකට වාසය කිරීමත් හරහාය. එහෙත් ඇය නවකතාව පුරාම පෙණි සිටින්නේ පොඩිගුරුගේ ආවතේව කරමින් සිටින සාම්ප්‍රදායික කාන්තාවක් ලෙසය.
නවකතාව තුළ සුබයා, කළුවා වැනි සෙසු චරිත එතරම් ප්‍රභල ලෙස ගොඩ නොනැංවෙන්නේ පොඩිගුරුගේ චරිතයේ ඇති ප්‍රභලත්වය නිසාම බව පෙනේ. කෙසේ වුවද මහ නුගේ නම් දැවැන්ත නුග ගස මෙම කතාවේ චරිතයක් ලෙස ක්‍රියාකරන බව පෙනෙයි. එය පොඩිගුරුගේ පෞරුෂය සංකේතවත් කරන අතර අවසානයේදී පොඩිගුරු ගේ පෞරුෂය දියවී යාමත් සමගම අභාවයට පත්වේ.
සමස්තයක් ලෙස කතාවේ ස්ත්‍රී චරිත නිරූපණයේදී කතුවරයා සාම්ප්‍රදායික කාන්තාවන් නිර්මාණය කරන බව පෙනෙයි. එකල තත්වය සමඟ එය යම් දුරකට සමපාත විය හැකි වුවද, ප්‍රබන්ධ කතාකරුවා සූක්ෂම විය යුතු තැනක් ඇත. අතීතයේ පැවති යමක් අපට නිවැරදිම මේ විදිය යැයි පැවසිය හැකි නොවේ. එනිසාම අතීතය පැරණි ප්‍රවාද වලින්ම ස්ථාපනය නොකර කාන්තා චරිත මීට වඩා සියුම් ලෙස නිර්මාණය කරන්නට තිබුනා යැයි හැඟේ. මන්ද මෙතුළින් යම්තාක් දුරට සාම්ප්‍රදායික භාර්යාව, සැමියා ගේ සියලු දේ දරා ඉන්නා භාර්යාව ට යම් වැදගත්කමක් ඉස්මතු වීමක් පෙනෙන හෙයිනි. එය සමාජය තුළ බාර්යාව පිළිබඳ එම පැරණි අදහස යළි ස්ථාපනය කිරීමට රුකුල් දෙන්නක් විය හැකිය.

ඝට්ටනය (Conflict)

සෑම නවකතාවකම කේන්ද්‍රීය අර්බුදයක් ඇත. බොහෝ විට එම අර්බුදය විසඳීමට විවිධ චරිත දායක වෙයි. කතාව ගලාගොස් එය උච්චතම (Climax) අවස්ථාවට පැමිණෙයි. මෙම කතාව තුළද ඇති කේන්ද්‍රීය අර්බුදය නම් පොඩිගුරුට පිල්ලිය එවූයේ කවුරුන්ද යන්නයි. කතාවේ හරය බහා ඇත්තේ, නැතහොත් මෙම කතාව වර්ථමානයට ගලපා ගත හැකි අවස්ථාව මතුවන්නේ මෙම උච්චතම අවස්ථාවේදීය. පොඩිගුරු අවසානයේදී පිල්ලිය එවූ තැනැත්තා දැනගන්නා අතරම එයින් ඔහු තුළ ඇති කරන කම්පනය නවකතාවේ දිශාව වෙනස් කරයි. තමාගේ බලයම තමාගේ විනාශයට හේතු වූ බව මෙන්ම තමන්ගේ පවුලේ විනාශයට ද හේතුවූ බව දැනගන්නා පොඩිගුරු සත්‍යය අවබෝධ කරගන්නට පටන් ගනී. මෙය මහායානයේ කියවෙන ශුන්‍යතාවයට එළඹීමක් වැනිය. (එය දීර්ගව විස්තර කළ යුත්තකි)

භාෂා භාවිතය

කතුවරයා නවකතාවට උචිත භාෂාවක් යොදගන්නා අතරේම උප භාසාවල නව්‍ය වචන කැඳවාගෙන එයි. විශේෂයෙන් ප්‍රාදේශීය ව්‍යවහාර, පැරණි ජනකතා, මිත්‍යාවන් ඔහු සංකේත ලෙස නවකතාව තුළට ග්‍රහණය කර ගෙන තිබීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම කෘතිය පුරාම ඔහු මායාකාරී තානයක් (Mythical tone) රඳවා ගන්නට සමත් වේ. එය පාඨකයා තුළ ද තිගැස්මක් ඇතිකරවයි. විශේෂයෙන් වාකය ඛණ්ඩ යොදාගනිමින් දිගු වාක්‍ය තැනීමට ද කතුවරයා සමත් වී තිබේ. එය මෑතකදී අත්දකින ලද වෙනස් අත්දැකීමකි.
සංකේත භාවිතය
නවකතාව තුළ සංකේත කිහිපයක් දකින්නට ලැබෙයි. බූමාටු දෙවියා, මහ නුගය, ගෝනා එවැනි සංකේත කිහිපයකි. මහ නුගය පොඩිගුරුගේ පෞරුෂයට සමපාත වන ආකාරය මීට පෙර දී විස්තර කළෙමි.

අවසානය

සමස්ථයක් ලෙස නවකතාව සුවිශේෂි සලකුණක් ලෙස සැලකිය හැකිය. කතුවරයා මෙම කෘතිය හරහා ඔහුට නව මානයන්ගෙන් යුත් කතාවක් ගොඩනගන්නට හා එය වර්ධනය කරන්නට හැකියාව ඇති බව පැහැදිලිව පෙන්වයි. එමෙන්ම කුතුහලය සහිත කතාවක් තුළ යම් දාර්ශනික ආස්ථානයන් මතු කරන්නට ද සමත්කම් දක්වයි. (මෙය තවත් වර්ධනය කරගත යුතු අංගයකි) එමෙන්ම කතුවරයා යම් දීර්ග අධ්‍යනයක්, කැපකිරීමක් කර ඇති බව පෙනෙයි. අවසානයේදී බලයෙහි මෙහෙයවීම පුද්ගලයෙකු තුළ ඇතිකරන බලපෑම සහ ඉන් මිදීම පිළිබඳ යථාව අවබෝධ කරගැනීම පිළිබඳව පාඨකයාට නැවත නැවත සිතන්නට කාරණා ඉතිරි කරයි. බූමාටු සමග ඒ විටෙක භයංකර, විටෙක කුතුහලය පිරුණු සංචාරයේ යෙදෙන්නට ඔබට ඇරයුම් කරමි. එය නැවුම් අත්දැකීමක් බව සහතික කර කිව හැකිය.
‘සරසවි’ ප්‍රකාශනයක්
පළමු මුද්‍රණය 2020
-රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

3 − 3 =