කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සංවිධාන 67 ක් එක්වෙයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට පාර කපන බවත් ඊට එරෙහිව සටන්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ආගමික සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශවයන් 67 ක සන්ධානයක් ලෙස ‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාර’ ලෙස සංවිධානයක් වැඩ ආරම්භ කර තිබේ.
මේ අනුව ‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාර’ අද (27) කොළඹ 03, CMU ශාලාවේදී සිය ප්‍රථම මාධ්‍ය හමුව පවත්වන ලදී.
මෙම මාධ්‍ය හමුවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසුවේ ආණ්ඩුවට තියෙන බලයත් සමඟ ඕනෑම කුණුගොඩකට අත උස්සලා සම්මත කරන බවත් නිදහස් අධ්‍යාපනයේ වටිනාමක දන්නා දරුවො පාරිලිමේන්තුවේ ඉන්නවා නම් ඔවුන්ට හෘද සාක්‍ෂියට එකඟව මේකට අත උස්සන්න බෑ කියන්න පිට කොන්දක් තිබුණොත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවත් පැවසීය.

මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කී මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසුවේ එල්ල වන දැවැන්ත විරෝධය පිළිබඳව අවධානය යොමු කර පාර්ලිමේන්තුවට ගෙන ඒම පවා අත්හිටුවිය යුතු බවද අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පිරිස අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලංකා ගුරු සේවා සංගමයේ සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, කම්කරු අරගල මධ්‍යස්ථානවේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, නීතිඥා කෞෂල්‍යා ආරියරත්න සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි යන පිරිස විය.

මෙම සංවිධාන 67 අතරට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යන ප්‍රධාන වෘත්තීය සමිති ඇතුළු සංවිධාන මෙම සන්ධානයට ඇතුළත්ව තිබේ.

 

 

Leave A Reply

Your email address will not be published.

three × two =