“බැසිල් මුදල් ඇමති වුණේ කළු සල්ලි සුදු කරන්න”

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික
සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන නව මුදල් පනත නීතිවලින් හෙළිදරවු නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරවු කරන තැනැත්තන්ට දණ්ඩනයක් නියම නොකර සහන ලබා දීමට යෝජනා වෙනවා. ඔබ කොහොම ද මේ පනත ගැන දකින්නේ ?

මොළ හතක් තියාගෙන ආර්ථික මැජික් ශිල්ප දක්වන්නකු ලෙස හඳුන්වපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන පළමු මුදල් පනත තමයි මේ. ඔහු යෝජනා කරන මේ පනත බිඳවැටිලා තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම් වෙනත් කර්මාන්ත, එහෙමත් නැත්නම් කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයන් වෙනුවෙන් ගේන එකක් නෙවෙයි. අපි දන්නවා මේ වෙන කොට බැංකු ණය, ලීසිං ආදිය ගෙවා ගන්න බැරිව විශාල අර්බුදයකට ලක් වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙන බව. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබා දිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත්, ආණ්ඩුව මේ පනත ගෙනැවිත් තිබෙන්නේ ඒකට නෙවෙයි.

ඔබ කොහොමද එහෙම කියන්නේ ?

ඔබයි මමයි මේ සාකච්ඡාව කරන මොහොත දක්වා රටේ පවතින නීතිය අනුව හෙළිදරවු නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි පැනල ඉන්න හොර නඩයකට පහසුකම් සලසා දෙන්න නීතියෙන් ඉඩක් නැහැ. ඇමති බැසිල් මේ කරන්න හදන්නේ ඒ බැරි වැඩේ කරලා දෙන්න. මේක කළු සල්ලි සුදු කරන පනතක්.
ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයන්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොර දියේ මාළු බාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ හොර නඩයට සහන දෙන්න. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා පත් වීමෙන් පස්සේ විශාල සහන දෙන බව ලන්සා වැනි ඇමැතිවරුන් කීවා. තෙල් මිල අඩු කර සහන ලබා දී ජීවන බර අඩු කරන බව කීවා. හැබැයි බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා ගේන පළමුවෙනි පනත කළු සල්ලි සුදු කරන ලෝන්ඩරින් පනතක්.
දෙසැම්බර් 31කට කලින් මේ සල්ලි පාවිච්චි කරලා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒවගේම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිල දී ගන්න පුළුවන්. මේ වංචනික මුදල්වලින් ලංකාව තුළ දේපළ මිල දී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙසැම්බර් 31ට කලින් බැංකු ගිණුම්වල තැන්පත් කරන්නත් පුළුවන්. මේ සිද්ධ කරන්න යන්නේ 1%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කළ, වංචා කළ මුදල් නීත්‍යනුකූල කිරීමයි. මේ රට කරන සහ කරපු අය නිසා භාණ්ඩාගාරයේ පතුල හිස්වෙලා තියෙන බව ඇත්ත. ඒකට මුවා වෙලා අද සිද්ධ කරන්න යන්නේ තමන්ගේ ගජ මිත්‍රයන් විසින් අයථා මාර්ගවලින් හොයන ලද මුදල්වලට සුජාතභාවයක් ලබා දීම. දැන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා ඉදිරි කාලයේ දී සම්මත කරගන්න යන්නේ එවැනි බරපතළ පනතක්.
අපි දන්නවා කිසිවෙක් මුදල් උපයලා තියෙනවා නම්, ඒ උපයපු ආකාරය පැහැදිලි කරන්න ඕනේ. ඒ අනුව තමයි, ඒ මුදල් නීත්‍යනුකූල වෙන්නේ. එහෙම උපයපු ආකාරය නිවැරැදිව පැහැදිලි කරන්න බැරි මුදල් නීත්‍යනුකූල මුදල් හැටියට සලකන්නේ නැහැ. ඒ මුදල්, ඒ ආදායම් අනීතිකයි. ඒවාට කියන්නේ ‘කළු සල්ලි’ කියලයි. ඒවා උපයාගෙන තියෙන්නේ හොරකමින්. දැන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහත්තයා එහෙම හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි කියනවා. මේකේ තියෙන බරපතළම තත්ත්වයන් අතර එක සුවිශේෂී දෙයක් තමයි, දැනට නියම කර තිබෙන වැට් බදු නොගෙවා පැහැර හැර ඉන්න අයට ලැබෙන විශාල වරදානය. ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ වැට් බද්ද හැටියට 8%ක් සහ දඩ මුදල් හැටියට අවම වශයෙන් 2%ක් අහිමි වෙනවා. ඒ කියන්නේ, ඉතාමත් පැහැදිලිව, නීත්‍යනුකූලව ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ
10%ක මුදලින් ලැබෙන්නේ 1%යි.

ඒ කියන්නේ, මුදල් උපයපු මාර්ග පෙන්නන්න බැරි, ඒ නිසාම නීතියෙන් දඬුවම් විඳින්න ඕනෑ පිරිසකට සුජාතභාවයක් ලැබෙනවා කියන කාරණය ද?

ඔව්, පැහැදිලිවම ඔව්. ආදායම් මත, තමන් අත්පත් කරගත්ත දේපළ මත නීතිය හමුවට ගෙන ගොස් දඬුවම් ලබන්න ඕනෑ අය ආණ්ඩුවට 1%ක පගාවක් දීලා බේරෙන්න නීතියක් මේ ගෙනැවිත් තියෙන්නේ. මේකට අපූරු නමක් හදනවා. ‘ස්වේච්ඡාවෙන් හෙළිදරවු කිරීම මත බද්ද’ කියලා. ඇත්තටම මේක ආණ්ඩුවට දෙන පගා බද්දක්. මේකේ තියෙන බරපතළ තත්ත්වය පැහැදිලි වෙන්නේ අර්ථනිරූපණයන් තුළින්. වත්කම් හැටියට අර්ථනිරූපණවල දක්වා තිබෙන්නේ, “ශ්‍රී ලංකාව තුළින් යම් චංචල, නිශ්චල දේපළක්” කියලා. මේ මුදල් යොදවලා අර්ථකථනය කර තිබෙන දේපළක් මිල දී ගන්න අවසර තියෙනවා. අනෙක් පැත්තෙන් නිශ්චල දේපළ යන්න අර්ථනිරූපණය කර තියෙන්නේ, “ඉදි කරන ලද හෝ ඉදි කරමින් පවතින ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති යම් ගොඩනැඟිල්ලක් වේ” කියලා. චංචල දේපළ ගැන තියෙන්නේ “රත්තරන් ඇතුළුව ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පවතින සියලු‍ම ආකාරවල චංචල දේපළ ඇතුළත් වේ, නමුත්, මුදල් ඇතුළත් නොවේ” කියලා. මුදල් යනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ විදේශවල භාවිත වන මුදල් නම් කර තිබෙනවා.

ඔය කියන ආකාරයේ විදෙස් වත්කම්, ඒ කියන්නේ, විදේශවල නිශ්චල හෝ චංචල දේපළ හිමි සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අපේ රටේ ඉන්නවා ද?

ඔබ මාධ්‍යවේදියෙක් නිසා හරි නම් මමයි ඔය ප්‍රශ්නය ඔබෙන් අහන්න ඕනේ. ඔබ අහන විදිහට ඇත්තටම මේ රටේ සුළු ව්‍යාපාරිකයන්ට විදේශවල නිශ්චල හෝ චංචල වත්කම් තියෙනවා ද? අපි දෙන්නම දන්න එක්කෙනෙක්වත් නැහැ නේ. එහෙනම් මේ කාව ද නිදහස් කරන්න හදන්නේ ?
අපේ රටේ වත්කම් එළියට ගෙනියලා පිටරටවල පුරවැසිකම් ගත්, ඒ රටවල ගොඩනැඟිලි ඇතුළු වත්කම් තියෙන අයගේ දේවල් ලංකාවට ගෙනැල්ලා ආයෝජන හැටියට යොදවන්න සුජාතභාවය ලබා දෙනවා, කළු සල්ලි සුදු කර ගන්න ගෙනැවිත් තියෙන පනත. මේ බව විවිධ උපක්‍රමවලින් හංගලා තියෙන්නේ. පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු දේවල් පාර්ලිමේන්තුව මේ පනත් මඟින් වහනවා නම්, ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ වටේ යන්න ඕනෑ නැහැ. ඩේසි ආච්චිටම පුළුවන්, මැණික් මල්ල දීලා ආණ්ඩුවට 1%ක් පගාව දීමෙන් නිදහස් වෙන්න. ඇලෝෂියස්ලාටත් මහ බැංකුවෙන් වංචා කළ මුදල් පෙන්වලා 1%ක් පගාව දීලා ගැලවෙන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ටත් එහෙම බේරෙන්න පුළුවන්. මේ තමයි රාජපක්ෂ මාදිලියේ ‘සෞභාග්‍යයේ ක්‍රමය’.

ඒත්, මොන ආකාරයකට හෝ ඉතාමත් දුෂ්කර ආර්ථික තත්ත්වයක් තියෙන රටකට මේ ආකාරයට හරි මුදල් ලැබෙන එක වාසියක් නෙමෙයි ද?

ආර්ථිකය ශක්තිමත් කිරීම කියන්නේ විධිමත්, නීත්‍යනුකූල ආයෝජන ලැබීම. කළු සල්ලි සුදු කරන මේ විදිහට ආයෝජන දිරිමත් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. වෙන්න පුළුවන් සහ මේ අයට කර ගන්න ඕනෑ එකම දේ තමයි, කළු සල්ලි සුදු කිරීම. ඒක විතරයි වෙන්නේ. අර්ථනිරූපණවල දී ශ්‍රී ලංකාවේ යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගන්න කියලා නැවත විදේශවල තිබෙන චංචල හෝ නිශ්චල දේපළක් අයිති බව සඳහන් කරන්නේ ඒ නිසයි.
මේකේ බරපතළ තත්ත්වය වෙන්නේ රජයට නොගෙවා පැහැර හැර තිබෙන සියලු‍ම් වත්කම් සහ ආදායම් බදු අඩු තරමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් නිරාවරණය කර ගන්න බැහැ.
මේකෙන් දිරිගන්වන්නේ හොරකම. මේ හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපැයීම දිරිගන්වන්නේ. මේකෙන් කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙවෙයි. රාජපක්‍ෂ සමාගමේ
ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ අයථා මුදල් ඉපැයීම් දිරිගන්වන එක. එකම පවුලේ ඉතාමත් සමීප අය වැඩිම පිරිසක් ඉතාමත් වගකිව යුතු තනතුරු දරන කැබිනට් මණ්ඩලයක් තියෙන ලෝකයේ එකම ආණ්ඩුව මේක. ඒ අය එකතු වෙලා මේ තත්ත්වය තුළ ගෙනැවිත් තිබෙන මුදල් කෙටුම්පත ඉතාම බරපතළ බව කාටත් පැහැදිලියි. ආණ්ඩුවේ උදවියටත් පැහැදිලියි.
බැසිල් මුදල් ඇමැතිතුමා ගෙන එන මේ පනතින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිම තැනක යොදවයි කියලා සිහිබුද්ධිය තියෙන කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. කොටස් වෙළෙඳපොළට සහ බැඳුම්කර මිල දී ගැනීම්වලට වගේ තැන්වලට යන්නේ ක්‍ෂණික ලාභ ලබා ගන්න. මේ හොර සල්ලිවලට ආණ්ඩුවට ණය වීමේ හැකියාව දක්වා බලයක් හැදෙනවා.
මේ වෙලාවේ ආණ්ඩුව මැදිහත් වෙලා ආරක්ෂා කළ යුතු බැංකු ණයවත් ගෙවා ගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයන් ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. ආණ්ඩුවට ණය දෙන්න ඒ අයට හැකියාවක් නැහැ. අලු‍තින් දේපළ අත්පත් කර ගන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ. එහෙම තියෙද්දී, නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතව ඉන්න අය මේ පනතෙන් ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා.

ඔබේ පැහැදිලි කිරීම සහ ස්ථාවරය අනුව මේක බරපතළ තත්ත්වයක් ඇති කරන මුදල් පනතක්. ඔබ පක්ෂයක් විදිහට මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද?

එහෙම ක්‍රියාත්මක වීමේ එක පියවරක් තමයි, මේ නිශ්චිත කාරණය ගැන ඔබ අපෙන් ඉල්ලපු ගමන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම. එතැන දී අපි කරන්නේ මේ තත්ත්වය ජනතාවට පැහැදිලි කරන එක.
අපි කවුරුත් දන්නවා, ජනතාවගේ ජන ජීවිත අඩුම තරමින් පෙර පරිදිවත් පවත්වාගෙන යන්න කොරෝනා තත්ත්වය නිසා නොහැකි අවස්ථාවක් මේක. ආණ්ඩුව කල්පනා කරන්නේ ජනතාවට හෙණ ගැහුවත් තමන්ගේ සහ ගජ මිතුරන්ගේ වැඩේ කර ගන්න එක ගැනයි.
ඒ නිසාම පක්‍ෂයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. ජනතාවගේ බදු මුදල් වංචා කළ අය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර දැනගන්න අයිතියක් ජනතාවට තියෙනවා. මේ නිසා අපි මේ පනත් කෙටුම්පතට විරුද්ධව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට සාධාරණය ඒ තුළින් ඉෂ්ට කරන්න අපි උපරිම උත්සාහ ගන්නවා. මේ පනත සම්මත කර ගන්න ඉඩ දුන්නොත්, ඉදිරියේ දී ‘සෙලෙන්දිවා’ වැනි ආණ්ඩුවම සකස් කරන වෙනත් නීති-රීතිවලින් නිදහස් කරන මහජනතාවගේ දේපළ කොල්ලකන්න මේ මුදල් යොදවන්නත් අවස්ථාව ජාවාරම්කරුවන්ට ලබා දෙනවා. ඒකට ඉඩ දීම අපරාධයක්. ඒ නිසා මේ වෑයම පරාජය කරන්න නීත්‍යනුකූලව කළ හැකි, කළ යුතු සියලු‍ දේ අපි කරනවා.
සංවාදය: සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

3 × one =