මාධ්‍ය-දේශපාලන කැන්වසය ඉදිරිපස නැඟීසිටි සුදුත් නැති කළුත් නැති යෝධයාගේ ත්‍රිමාණ රූපකාය

දශක තුනකට මෙපිට ලංකාවේ මාධ්‍ය-දේශපාලන කැන්වසය මත තබා අතිසූක්ෂම ගවේශනයකට බඳුන්කළ යුතු යෝධ මිනිසෙකි, නික්මගොස් තිබෙන්නේ.
මේ යෝධයා සුරලොවින් බට තනිකර සුදුපාට සුරදූතයෙක් නොවේ.
අපායෙන් මතුවූ තනිකර කළුපාට අසුරයෙකුත් නොවේ.
මේ ලෝක දෙකෙන් ම ගෙනා සුදු – කළු දෑතට ගෙන අනා සිය ආලේඛ්‍ය මූර්තිය අර කැන්වසය ඉදිරියේ සියතින්ම ත්‍රිමාණව අඹාගත් යෝධයෙකි.
එබැවින් ඔහු අතහැර පසුගිය දශක තුනක මාධ්‍ය ඉතිහාසය හෝ දේශපාලන ඉතිහාසය හෝ මාධ්‍ය-දේශපාලන ඉතිහාසය හෝ ලියන්නට මොනම කෙරුම්කාරයෙකුටවත් පුළුවන්කමක් නැත‍.
ගැටලුව වන්නේ ඒ ඉතිහාසය ඊට අවශ්‍ය දිගු පුළුලින්, ගැඹුරින් හා අපක්ෂපාතීත්වයෙන් ලිවීමට තරම් ශාස්ත්‍රවන්තයෝ ඇකඩමියානු අරුතින් අන්ත දිළිඳු යාචක තත්ත්වයකට වැටීඇති අපේ කොදෙව්වේ අද සිටිත්ද යන්න යි‍‍.
එබැවින් ඔහු නොසිටියානම් තියෙන්නට තිබූ ලංකාව ගැන තොරොම්බල් හීනත්, ඔහු සිටි ලංකාව ගැන සරුවපිත්තල වාගාලංකාරත් පමණක් ලංකා ගුවනත බොල් හුළං රැලි තව ටික දවසකට කලම්බාලනු ඇත‍.
ඒ කාරිය කරගැනීමට කාට කාටත් ඇති අයිතියට ගරුකරමින්, මේ මිනිසා ගැන මට කියන්නට ඇති කාරණා කිහිපයක් මම ද ලංකා ගුවනත බොල් හුළං රළමත මෙසේ පාකරමි.
2018 දී අනිද්දා පුවත්පතට ලිපියක් ලියන ‘ටැබූ සබ්ජෙක්ට්ස්’ නම් ලියුම්කරු, මේ දැවැන්තයා මෙවැනි ප්‍රකාශයක් තමන්ට කළ බව සටහන් කළේයයි කේ සංජීව සිය මුහුණුපොතේ ලියා තබයි.
‘මා දක්ෂයෙක්. මා ඒ බව දන්නවා. මා සිංහලයෙක්ව උපන්නා නම් මේ රටේ ජනාධිපති පදවිය දක්වා අනිවාර්යයෙන්ම ගමන් කරනවා. මා සුළු ජාතියකට අයත් වීම නිසා එසේ කරන්ට බැරිවුණා’
මේ ප්‍රකාශය සත්‍යයක් නම් (එය අසත්‍යයක්ය යි සැකකරන්නට මට කරුණු නැත) ඔහුගේ සද්දන්ත රූපකායට ඇතුළුවීමට ඇති එක් බලවත් යතුරක් අප අත පත්වෙයි‍.
දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනැගුවා පමණක් නොව, ඒ මාධ්‍ය අධිරාජ්‍යයේ බලයෙන් ද, සිය ව්‍යාපාරික ශක්තියෙන් ද ලංකාව පාලනය කරන අදෘෂ්‍යමාන හස්තයක් වීමට ඔහුට ඇවැසි වූ බව අප අමතක කළ යුතු නැත‍. ප්‍රධාන දේශපාලන දහරා දෙකටම තමන්ගේ සුවච කීකරු ගෝලයන් රිංගවා ඔවුන් තීරණාත්මක නියෝජිත මන්ත්‍රණසභාවල ස්ථානගත කිරීමට ඔහුට අවශ්‍ය විය. එය අනාගත සිහිනමය වැඩපිළිවෙළක් හා ගැටගැසී නොතිබුණේය යි කවුරුන් හෝ ශපත කරත්ද?
මේ වුවමනාවේ මාරාන්තික ලෙස ඇලී ගැලී සිටීම නිසා ඔහු ඇතැම් දේශපාලන නායකයන් සමග පුද්ගලික වෛර හදාගත්තේ ය.
අවසානයේ සිය බලවත් මාධ්‍ය ජාලය ඒ වෛර පිරිමහන්නට පාවිච්චි කිරීමෙන් ලංකා දේශපාලනයට නිශේධාත්මක බලපෑම් පවා කළේ ය.
ඒ අනුව මාධ්‍ය දෑවැන්තයකුගේ පෞද්ගලික වෛර පිරිමැසීම් කොයියම් ම ප්‍රමාණයකින් හෝ රටේ සමස්ත දේශපාලනය මතින් ද ගියේ ය‍.
එහෙත් අනෙකුත් මාධ්‍ය ගොළු වූ, බිහිරි වූ අන්ධ වූ කාලවකවානුවල ඔහුගේ මාධ්‍ය අධිරාජ්‍යය ඒ ගොළු – බිහිරි – අන්ධ බව තමන්ගේම වූ ආකාරයකට බිඳදැම්මේ ය. අනෙකුත් මාධ්‍ය හංගා තැබූ සත්‍යයට ඔහු රට නිරාවරණය කළේ ඔහුගේ ම ක්‍රමවේදයකට ය.
ගැරහුම් මුරුගසන්වැහි වැටුණේත් ප්‍රශංසා මල්වැහි වැටුණේත්, එතැනින් නොනැවතී බෝම්බ ප්‍රහාර කඩාවැටුණේත් ඒ ක්‍රමවේදය නිසාවෙනි.
2005 මැද සිට 2009 ආරම්භය දක්වා ලංකාවේ දියත්වූ මාධ්‍ය නිදහස උදෙසා වූ අරගලයට ඉහළ ම මාධ්‍ය ආවරණය ලබාදුන්නේ ඔහුගේ මාධ්‍ය ජාලය යි. එය හුදෙක් ඒ අරගලයේ යෙදීසිටියවුන්ගේ ඉල්ලීම මත සිදුවූ මාධ්‍ය ආවරණයක් නොවේ.
ඔහුගේ මාධ්‍ය ජාලය ස්වේච්ඡාවෙන් සිදුකළ දෙයකි.
ඔහුගේ මාධ්‍ය ජාලය යනු ඇත්ත වශයෙන් ම ඔහු ය.
ඒ අනුව එය ඔහු ස්වේච්ඡාවෙන් සිදුකළ දෙයක් යයි කීමේ බරපතල වරදක් මට නොපෙනේ.
අපේ මාධ්‍ය නිදහස උදෙසා අරගලයට කොතරම් පුළුල් මාධ්‍ය ආවරණයක් ලබාදුන්නත්, එදා ඒ සටනේ පෙරමුණ ගෙන සිටි අප සිටියේ ඔහුගේ මාධ්‍ය ජාලය අතේ දුරින් තබාගෙන ය.
ඒ අතේ දුර ආක්‍රමණය කිරීමට ඔහු කිසිවිටෙකත් සිය මාධ්‍ය ජාලය මෙහෙයවූයේත් නැත.
ඒ ඔහු සුරලොවින් ආ සුදු මිනිසෙක් නිසා නොවේ.
සුදු කළු යහමින් කලවම් කරගත් අළුපැහැ කලාපයකින් ආ මිනිසෙක් නිසාවෙනි.
අපත් ඔහුත් සම්මුඛ වූ අවසන් අවස්ථාව පිළිබඳ මනස් රූපරාමු පෙළක් මා මතකයේ නිදන්ව පවතී.
ඒ 2008 වසරේ, අප ඉතාම දුෂ්කර, අවදානම් සහගත කාලයක් ගතකරමින් සිටි කාලවකවානුවකි.
ඔහුගේ ඇරැයුමෙන් ඔහුගේ කාර්යාලයේ දී ඔහු හමුවූ තිදෙනාගේ කණ්ඩායමට පෝද්දල ජයන්තත් , උවිඳු කුරුකුලසූරියත් මාත් අයත් විය.
එය ඉතාම සුහද, සැහැල්ලු ප්‍රසන්න හමුවකි.
එහෙත් අප සිටියේ අප ඉදිරියේ තැබූ අතිසූක්ෂම ස්කෑනර් යන්ත්‍රයක් අබිමුව ය යන හැගූම ඒ හමුව පුරාම අප තුළ නිරන්තරයෙන් විය.
තමන් ද සිටින්නේ තමන් ඉදිරියේ තැබූ අතිසූක්ෂම ස්කෑනර් යන්ත්‍ර තුනක් ඉදිරියේ ය යන හැඟුම ඒ හමුව පුරා ඔහු තුළ ද නිරන්තරයෙන් බලපැවැත්වූ බව අපි තේරුම්ගතිමු.
ඒ සංශයවාදී හැඟුම් එසේම තිබියදීත් ඉතා සුහද සැහැල්ලු පිළිසඳරක යෙදීමට අප දෙපාර්ශවයට ම හැකිවිය.
ඔව්! ඔහු මහාරාජා විය.
ඔහු නික්ම යන්නේ මහාරාජාවරයකු ගේ යුද්ධයක් හිටිහැටියේ නිමවීමෙන් මුළුමනින් ආලපාළුවී යා හැකි යුදබිමකිනි.
රටේ දියත්ව ඇත්තේ ධර්ම යුද්ධයක් නොවන බැවින් ධර්ම චක්‍රයක් පමණක් කරකවමින් එන මහාරාජාවරයෙක් වෙනුවට අළුපාට කලාපයක යුද වදින මහාරාජාවරයෙක් ඇවැසියය යි තමන්ම තීරණය කර, ඒ යුද්ධයට තමන් ම අභිෂේක කරගත් මහාරාජාවරයෙක් දැන් ඇදවැටී අවසන් ය.
මේ මහාරාජා අතින් අතහැරුණු අවිය මේ අසුර යුද්ධයේ දී ඔසවන්නට සමතෙක් මේ මොහොතේ සිටින්නේදැ යි බොහෝ දුරබැහැරක සිටින මම ඇත්තටම නොදනිමි‍‍
– සනත් බාලසුරිය (fb)

ඡායාරුපය අන්තර්ජාලයෙන්

Leave A Reply

Your email address will not be published.

3 × five =