බදූර්දීන් නිවසේ සිදුවීමෙන් අලුතින්ම සොයාගත් දේ

බදූර්දීන් නිවසේ සිදුවීමත් සමගින් ලාංකීය සමාජයෙහි නව සොයා ගැනීමක් සිදුව තිබේ. ඒ බාලවයස්කාරයන් නිවෙස්හී මෙහෙකාර සේවයෙහි යොදවා ගන්නා බවයි. මේ නව සොයා ගැනීම මගින් ඇති කර තිබෙනා ආතතිය ඉතා බරපතලය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලකයන් ඇවිස්සුනු කඩිගුලක් මෙන් දුව පැන කරනා මැදිහත්වීම් ආශ්චර්ය ජනකය. එහෙත් මා ජීවත්වන රටෙහි නම් මේ තත්වය වනාහී බළලකු වසා දමන්නට තැත් බෙට්ටක් මෙනි. නමුදු බදූර්දීන් නිවසේ සිදුවීම තුළින් හෝ නිදා සිටිනා සමාජයක් අවදිවීම හොඳය. එහෙත් එය යළි සිසිර නින්දට ඇදවැටෙන්නට නොදී පවත්වා ගැනීම ඉතා වැදගත්ය. මෙහිදී විවිධ පාර්ශවයන්ට කළ හැකි බරපතල මැදිහත්වීමක් තිබේ. ඒ රටෙහි නිවෙස් තුළ සිටිනා බාල වයස්කාර මෙහෙකරුවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමය. එසේ තම දරුවන් නිවෙස්වල වැඩට යවා ඇති දිළිඳු දෙමව්පියන්ගේ තොරතුරු එකතු කිරීමය. එසේම එවන් දෙමව්පියන් මගින්ම ඒ තොරතුරු ලබාගැනීමය. ඒ සමග උදක්ම දිළිඳුකම නිසාම සිය දරුවන් මෙහෙකාර සේවයට යැවීමට සිදුව ඇති පවුල් සඳහා වැඩ පිලිවෙලක් සැකසීමය.

ලංකාව නම් රටෙහි වතුකරයේ ළමයින් මෙහෙකාර සේවයට කැටුව ඒම ගැන ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය බොහෝ විට වර නැගෙනුයේ ගෙදර වැඩට ලෙච්චමී කෙනෙක් හොයනවා යනුවෙනි. මේ ලෙච්චමී යනු මෙහෙකාරියන් සඳහා වන පර්යාය පදයකි. මේ තත්වය සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය පමණක් නොව සිංහල මෙන්ම දෙමළ සමාජයද එකසේ වගකිව යුතුය. මෙහෙකාර සේවයට ළමුන් සෙවීම සම්බන්ධයෙන් අප කවුරුත් නිර්දේෂී නැත. මට මෙහිදී මගේ දෙමළ සොහොයුරියක් කිවු කතාවක් සිහිවෙයි. ඇය උඩරට වතුකරය ආශ්‍රිත පලාතකින් උගෙන අදවන විට ඉහලම තනතුරක් හොබවන්නියකි. ඇය වරෙක මා හා තමන් අධ්‍යාපනය ලබනා අවධියෙහි ලද අත්දැකීමක් පැවසුවාය. ඒ තම පාසලේ ඉගැන්වූ ගුරුවරුයකු වරෙක කී කතාවක් ගැනය. ඒ ගුරුවරයා අයත් වනුයේ වතුකරයෙන් පිටත දෙමළ සමාජයටය. ‘එයා අපිට කිව්වෙ උඹල ඒ තරං ඉගන ගන්න ඕනැ නෑ. එහෙම වුනොත් අපිට ගෙවල්වල වැඩට කවුරුත් නැතුව යනවා.” මේ ඇය තම ගුරුවරයා කී දෙය මට පැවසූ ආකාරයයි. විශේෂයෙන්ම වතුකර දෙමළ ජනයා ගැන තවමත් සිංහල සමාජයට නිසි අත්දැකීම් නැත. අප සමාජය බොහෝවිට ඔවුන් දෙස බලන්නේද ගර්හාත්මක අයුරිනි. දෙමලු පඩි ගත්ත වගේ යන අපහාසාත්මක යෙදුම් තවමත් අපේ මුවින් අනායාසයෙන් පිට වෙන්නේ මෙය අප තුළට කාවැදී ඇති ආකාරය හේතුවෙනි.
අසූව දශකයෙහි අග අත්අඩංගුවේ පසුවූ සමයෙහි අප සමග සිරකුටිය බෙදාගත් කඳුරට ජනතා පෙරමුණේ නායක චන්ද්රසේකරන්, ධර්මලිංගම් මාස්ටර් සහ කාදර් මාස්ටර් වැනි අය සමඟ මේ සම්බන්ධ කල කතා බහ තවමත් මගේ සිතෙහි කටුක සළකුණු ලෙස පවතී. ඒ අවධියෙහි කාදර් මාස්ටර් නම් විශ්ෂ්ට මාක්ස්වාදියා බ්ලැක් ගෝල්ඩ් ඇන්ඩ් රෙඩ් ටියර්ස් යනුවෙන් වතුකර කම්කරු ප්‍රජාව ගැන සිර කුටිය තුළ කෘතියක් රචනා කරමින් සිටි ආකරය මට මතකය.
අප පුරුදුව ඉන්නේ කිසියම් සිදුවීමක් සමග සැණෙන් අවදිව සැණෙන් නින්දට යාමටය. ඒ බොහෝ විට දේශපාලන වශයෙන් ලබනා උත්තේජනයක්ද සමගිනි. එහෙත් ඒ වෙනුවට අප වසා පවත්නා නිමක් නැති ඛේදයන් ගැන අපේ අවධානය සහ මැදිහත්වීම නොනසා පවත්වා ගැනීම අත්‍යවශ්‍යය.
බදුර්දීන් නිවසේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටුවිය යුතුය. මියගිය දැරිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුවිය යුතුය. එය අනිවාර්යයකි. එහෙත් ඒ සමගම සමාජයෙහි මැදිහත්වීමද අඛණ්ඩ විය යුතුය. අප අමතක නොකළ යුත්තේ එයයි.
ආර්ථිකය කොල්ලකාරීන් අත පවත්නා තාක් රටක සමාජ සාධාරණත්වය අපේක්ෂා කිරීම විහිලුවකි. අප කළ යුත්තේ මේ ක්‍රමයට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරත වීමයි. ඒ හැර අපට වෙන විකල්පයක් නැත. අප වටහාගත යුතු තවත් සත්‍යයක්ද මෙහි තිබේ. අප තවමත් රැවටිලිකාර දේශපාලකයන්ගේ වහලුන් පමණක් බවයි.
– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

5 × 1 =