නිවැරැදි ගමනාන්තයක් නොමැති නූතන ජනමාධ්‍ය

ලංකාවේ ජනමාධ්‍ය තමන් නිදහස් යැයි කියා ගන්නා ඒවා ය. පිට ඔපයට නිදහස් යැයි කීව ද, ඒවා තුළින් නිදහස් මතවාදයක් එළිදකින්නේ කලාතුරකිනි. අච්චු ගැසී, ලේබල් වැදී ඇති මෙම මාධ්‍ය තුළින් එළියට බසින්නේ ද අර අච්චුවේම අදහස් ය; ප්‍රවෘත්ති ය. මේ නිසා ලංකාවේ මාධ්‍යවේදීන් අඬු කඩනු ලැබු මකුළුවන් වැනි ය.”

මීට කලාන්තරයකට ඉහතදී හෙන්රි ඕබ්‍රියන් නම් මාධ්‍යවේදියා ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය අතීතයටත් වඩා අදට ගැළපෙන බව පසු කළ වසර ගණනාවක කාලය තුළ ලංකාවේ ජනමාධ්‍යවල ක්‍රියාකාරී ස්වරූපය දෙස බැලූ විට වඩාත් හොදින් තේරුම් ගත හැකි ය.

ජනමාධ්‍යවේදීන් දේශපාලන බලවතුන්ගේ  හෝ ව්‍යාපාරික ලෝකයේ අධිපතීන්ගේ අතකොළු බවට පත් වීම හේතුකොටගෙන ජනමාධ්‍යවේදීහු  ඔවුන්ගේ ඕනෑ-එපාකම්වලට අනුව මාධ්‍ය හැසිරවීම කරති. ඔවුන්ගේ ඕනෑ-එපාකම්වලින් සැකැසුණු මාධ්‍යයක් අපට අවශ්‍ය වන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍යවාදී වාර්තාකරණයක් හරහා සිදු වන සත්‍යය වූ හෙළිදරව්වකි.

සන්නිවේදන තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ මේ වන විට ජනමාධ්‍ය පවතින්නේ මිනිසුන්ට නැතිවම බැරි අත්‍යවශ්‍ය අංගයක් ලෙසට ය. නමුත්, මාධ්‍යවේදීන්ගේ වගකීම නිසි පරිදි ඉටු වනවා ද යන්න දෙවරක් සිතාබැලිය යුතු කරුණකි. මාධ්‍ය හරහා රටක්, ජනතාවක් සෞභාග්‍යය කරා ගෙන යාමට හැකි ය. නමුත්, එය එපරිද්දෙන්ම සිදු වීමට නම්, මාධ්‍යවේදියා ඔහුගේ වගකීම නිසි පරිදි ඉටු කළ යුතු ය.

පුවත් පත වූ කලි, මුල්ම සංවිධිත ජනමාධ්‍යය ලෙස අපට හඳුනා ගත හැකි ය. මුල්කාලීනව පාඨකයා අතර ඉතා ජනප්‍රිය, නැතිවම බැරි අනර්ඝ සේවාවක් ඒ හරහා සිදු විය. පසුකාලීනව ගුවන්විදුලියේ හා රූපවාහිනියේ සංක්‍රමණයත් සමඟ එකල පාඨකයෝ, ශ්‍රාවකයන්, ප්‍රේක්ෂකයන් බවට පත් වන්නට වූහ.

මෙසේ මාධ්‍ය අවකාශයන් වර්ධනය වී තිබුණ ද, වර්තමානය වන විට බොහෝ ජනමාධ්‍ය ක්‍රියාත්මක වන්නේ අතීතයේ තිබූ බොහෝ සාධනීය ලක්ෂණවලට පවා පහර එල්ල කරමිනි. මිථ්‍යාව සිය පෙරගමන්කරුවා බවට පත් කර ගනිමිනි. ඒ නිසා වර්තමාන ජනමාධ්‍ය තුළින් නිදහස් මතවාද එළිදකින්නට නොමැති තරම් ය.

එසේම පොදුජන රුචියට හෝ සදාචාරයට හෝ පටහැනි දේ පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම ආදී කිසිවක් නොකිරීමට වගබලා ගැනීම යහපත් මාධ්‍යවේදියාගේ වගකීම ය. නූතනයේ ජනමාධ්‍ය මේ තත්ත්වයෙන් බැහැරව ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබේ. මේ තත්ත්වයට ජනමාධ්‍ය උසිගන්වනු ලබන්නේ ද වාණිජ හා පටු දේශපාලන අරමුණු කේන්ද්‍ර කර ගත් මාධ්‍ය හිමිකාරීත්වයන් බව කිව යුතුම කරුණකි.

ජනමාධ්‍යවේදීන් දේශපාලන බලවතුන්ගේ  හෝ ව්‍යාපාරික ලෝකයේ අධිපතීන්ගේ අතකොළු බවට පත් වීම හේතුකොටගෙන ජනමාධ්‍යවේදීහු  ඔවුන්ගේ ඕනෑ-එපාකම්වලට අනුව මාධ්‍ය හැසිරවීම කරති. ඔවුන්ගේ ඕනෑ-එපාකම්වලින් සැකැසුණු මාධ්‍යයක් අපට අවශ්‍ය වන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍යවාදී වාර්තාකරණයක් හරහා සිදු වන සත්‍යය වූ හෙළිදරව්වකි.

ඒ නිසා අතීතයේ මාධ්‍යකරුවා ඉටු කළ යුතුකම්, වගකීම්, සදාචාරය, ඔවුන්ගේ සීමාවන් ආදී සියල්ල ම ද අද හෑල්ලුවට ලක් වෙමින් පවතී.

මේ අනුව බලන කල සත්‍යයෙන් බැහැරට ගිය නූතන මාධ්‍ය හරහා විදහාපාන්නේ අඬු කැඩූ මකුළුවන්ගේ ස්වරූප ම නොවේ ද? එසේ හෙයින්, සත්‍යය මත පදනම් වූ, සාර්ථක වාර්තාකරණයක් හරහා නිවැරැදි මංපෙතක් විවර කර, රටක සියලු ක්‍ෂේත්‍රවල සංවර්ධන අභිලාෂ මුදුන්පත් කර ගැනීම සඳහා නිවැරැදි මැදිහත් වීමක් කිරීමට සියලු ජනමාධ්‍යවලට කාලය එළැඹ ඇත.

පියුමි එදිරිසිංහ

කැලණිය විශ්වවිද්‍යාලය

Leave A Reply

Your email address will not be published.

15 − 8 =