එළිමහන් අලි හිරකඳවුරක මිය ගිය කල්ලඩි දළ කොටා

හොරොව්පතාන එළිමහන් අලි හිරකඳවුරේ හිර කරලා හිටපු ‘කල්ලඩි දළ කොටා’ කියන ඇතා කුසගින්නේ අකාලයේ මරණයට පත් වූ පුවත පසුගිය දා දැනගන්න ලැබුණා. නමුත්, එම මරණය හොරොව්පතාන එළිමහන් අලි හිරකඳවුරේ සිදු වූ පළමු අලි මරණය නෙවෙයි. ඒ වගේම අපි කොච්චර කනගාටුවට පත් වුණත්, එය අවසන් අලි මරණයත් නොවෙයි. ඒ වගේම මිථ්‍යාවක් වන ‘එළිමහන් අලි කඳවුර’ කියා හඳුන්වන එළිමහන් අලි හිරකඳවුර හොරොව්පතානෙන් අවසන් වෙන්නෙත් නැහැ. මේ හිර කඳවුරු ඇතුළත කොතරම් අලි මැරුණත්, වගේ වගක් නැතිව මේ වන විට ලු‍ණුගම්වෙහෙරත් අලු‍තෙන් එළිමහන් අලි හිරකඳවුරක් ඉදි වෙනවා.

කල්ලඩි දළ කොටා කියන මෙම ඇතා පුත්තලම, කල්අඩිය, සිමෙන්තිගම ප්‍රදේශයෙන් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කළ අසරණයෙක්. මේ කඳවුරේ මේ සතාව ගාල් කළේ 2018 ජූලි 03 දින. ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වූ අඩි 8යි අඟල් 6ක් පමණ උස වූ මෙම ඇත්රජු ගාලට ඇතුළු කරන අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවල දැක් වේ.

නිරෝගී ඇතකු කුඳලා හිරකඳවුරක ගාල් කර වසර තුනකට දින කිහිපයක් තිබිය දී මිය යාම ස්වාභාවික මරණයක් නොව ඝාතනයකි. පරිසරවේදීන් මෙන්ම සත්වවේදීන් ද මේ අසාර්ථක අලි රැඳවුම් මධ්‍යස්ථාන අලින්ගේ එළිමහන් හිරකඳවුරු බව පුන පුනා පෙන්වා දෙද්දීත්, බීරන් සේ සිටි බලධරයන් විසින් තවත් සද්දන්තයකුගේ අවසන් කටයුතු සිදු කර තිබේ. නෑසූකන්ව සිටිනා මේ පාලකයන් එකක් මඳිවාට තව සිරකඳවුරු පෝලිමක් හදමින් මේ වනසන්නේ යෝධ පරපුරක ජීවිතයි.

කල්ලඩි දළ කොටා යනු ඒ යෝධ පරපුරක තවත් එක් ඛේදජනක මතකයකි.

සුපුන් ළහිරු ප්‍රකාශ්
ඡායාරූපය: කුෂාන් ජයසුන්දර

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

eleven − 9 =