මේ කියුබාවට සහාය වීමට කාලයයි

කියුබාව සිය ‘අබ්දලා’ (Abdala) එන්නතට අමතරව දෙවන කොවිඩ්-19 එන්නත වන‘සොබර්නා-2’ (Soberana-02) එන්නත පරීක්ෂා කිරීම අවසන් කර ඇති බව පසුගිය සතියේ ‘රොයිටර්’ හි මාක් ෆ්‍රෑන්ක් සඳහන් කර තිබුණා. මේ එන්නත් වර්ග දෙකම සියයට 90ක් ඉක්මවා කාර්යක්ෂමතාවක් දක්වන බවට තහවුරුව තිබෙනවා. කියුබාවෙන් පිටත වෙනත් විදේශීය රාජ්‍යයන් හි ‘ෆයිසර්’, ‘මොඩර්නා’, ‘ඇස්ට්‍රාසෙනෙකා’ වැනි බහුජාතික සමාගම් නිෂ්පාදන මත යැපෙන බොහෝ කාර්මික රටවල් මෙන් නොව කියුබාව තමන්ගේම එන්නත් නිපදවා ඇති එකම ලතින් ඇමෙරිකානු රටයි. ගෘහස්ථ පරිභෝජනය සඳහා දැනටමත් එන්නත්වලින් සියයට 80ක් නිපදවන කියුබාව වේගවත් එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තියෙනවා.

මේ වන විට ‘අබ්දලා’ (Abdala)  එන්නත පමණක් මාත්‍රා මිලියන 6ක් පමණ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. දැන් කියුබානුවන්ගේ එන්නත් කිරීමේ ප්‍රයත්නයට හරහට ඇත්තේ, සිරින්ජර හිඟයයි. වසර ගණනාවක් තිස්සේ කියුබාව විසින් අඛණ්ඩව ලබා දී ඇති පරාර්ථකාමී ලෝක වෛද්‍ය ආධාර අත්දැකීම් අතර කියුබාවට වෛද්‍ය උපකරණ හිඟයක් ඇති බව වටහා ගැනීම ම කනගාටුවට කරුණක්.

ඇමෙරිකානු සම්බාධක මධ්‍යයේ කොවිඩ්-19  වසංගතයට එරෙහිව එන්නත් හඳුන්වා දීමට කියුබාව සමත් වීම ජාත්‍යන්තර ලිබරල් පුවත් පත් පවා අගැයුමට ලක් කළා. ප්‍රංශයේ සුප්‍රකට ලිබරල් පුවත් පතක් වන ‘Les Echos’ ඒ අතර පෙරමුණේ පුවත් පතක්. කියුබාවේ ‘ෆින්ලේ’ (Finlay) ආයතනයේ එන්නත වන ‘අබ්දලා’ සම්බන්ධයෙන් ඔවුන් පවසනුයේ, ජාත්‍යන්තර හා ඇමෙරිකානු සම්බාධක හමුවේ අමුද්‍රව්‍ය, තාක්ෂණික හිඟ ද ඇතිව අවසර පත් ද නොමැතිව ඔවුන්ගේ උත්සාහය පුදුමසහගත බවයි.

බාධා කිරීම් නිසා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද, කියුබාව දැනටත් ලොව පුරා රටවල් 59ක වෛද්‍ය නිලධාරීන් 29,000ක් පමණ සේවයට යොදවමින් සිටියි. අප්‍රිකානු කලාපයේ දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාවන් වෙත කියුබානු සහයෝගයේ හස්තය තවමත් දිගු වෙමින් තිබේ. කොවිඩ්-19 ප්‍රහාරය තම බිම වෙත නොනවත්වා ප්‍රහාර එල්ල කිරීමේ දීත්, කියුබාව අනෙකුත් ජාතීන්ට දක්වන සහයෝගය එහි වෛද්‍ය ජාත්‍යන්තරවාදයේ හොඳින්ම ස්ථාපිත ප්‍රතිපත්තියේ කොටසක්.

බොහෝ රටවල් කොවිඩ්-19 මඟින් යටපත් වීමට එරෙහිව කියුබාව රටවල් 40කට වෛද්‍ය ආධාර සැපයීම කරයි. වෛද්‍යවරුන් සහ සෙසු සහායකයන් 5,000ක් පමණ සමඟ බි්‍රගේඩ් 57ක් ඒ සඳහා යොදවා තිබෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි ගෝලීය සටනේ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් කියුබාවට ජාත්‍යන්තර සම්මාන හිමි වුණා.

1960 තරම් දුරක දී චිලී භූමිකම්පාවෙන් රෝගාතුර වූ ජනයාට සහාය රැගෙන කියුබානු වෛද්‍ය කාර්ය මණ්ඩල එහි ගොස් තිබුණා. 1963 දී කියුබන් වෛද්‍යවරුන් ඇල්ජීරියාවේ ජාතික වෛද්‍ය ක්‍රමය ස්ථාපනය කිරීමට සහාය දුන්නා. 2010දී හයිටියේ භූමිකම්පාව සිදු වූ විට කියුබාවේ වෛද්‍යවරුන් 4,003 දෙනකු සමඟ කියුබානු වෛද්‍ය නිලධාරීන් 403 දෙනකු එහි ගියා.

2013 සිට 2016 දක්වා කාලය තුළ බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානය උදවු ඉල්ලා සිටි විට කියුබාව දෙවරක් නොසිතා ඊට එක් වුණා. යුක්රේනයේ ‘චර්නොබිල්’ පිපුරුම වූ විට පීඩාවට පත් ළමයින් 23,000කට කියුබාව ප්‍රතිකාර කළා.

ඉබෝලා මැඬලීම පිණිස 165 දෙනකුගෙන් යුත් කියුබානු වෛද්‍යවරුන්, සහ සහායක කණ්ඩායම වෛද්‍යාධාර උපකරණ සමඟ සියාරාලියොන් වෙත ගිය අවස්ථාව.

1960 සිට මේ දක්වා දළ වශයෙන් රටවල් 150කට අධික සංඛ්‍යාවක කියුබානු වෛද්‍ය නිලධාරීන් 4,20,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියා. මේ වෛද්‍ය කණ්ඩායම් ලොව පුරා සැත්කම් 1,45,00,000කට අධික ප්‍රමාණයක් සිදු කළා. ළමයින් 44,70,000ක් කියුබානු ප්‍රතිකාර ලද අතර ජීවිත 87,00,000ක් බේරාගෙන තිබෙනවා.

සිය පරිත්‍යාගශීලී සියලු‍ දායකත්වයන් සහ ජයග්‍රහණ තිබිය දීත්, මේ නිශ්චිත මොහොතේ කියුබාව තවමත් එක්සත් ජනපද අවහිර කිරීම් නිසා පීඩාවට ලක්ව තිබෙනවා. සම්බාධක මඟින් කොවිඩ්-19ට එරෙහිව කියුබානුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ කියුබානු දිවයිනට ප්‍රවේශ වීම දැඩි ලෙස සීමා කළා. ‘ග්ලෝබල් හෙල්ත් පාට්නර්ස්’ (Global Health Partners) සංවිධානය වාර්තා කළේ කියුබාවට සිරින්ජර් මිලියන 20ක් පමණ අවශ්‍ය බවයි. දැනට සපයා ඇත්තේ එයින් මිලියන 4ක් විතරයි.

බොහෝ ධනවත් රටවල් ලජ්ජාවට පත් කරන කියුබාවේ ජාත්‍යන්තර වෛද්‍ය දායකත්වයට ගරු කිරීමක් වශයෙන් කියුබාවේ සිරින්ජර හිඟය සහ කියුබාවේ වෛද්‍ය ප්‍රයත්නයන් සඳහා ආධාර ලබා දෙන ලෙස බොහෝ දෙනා ලෝකයෙන් ඉල්ලා සිටිනවා. ‘හවානා ටයිම්ස්’ (Havana Times) හි ලේඛකයකු වන  මයිකල් විගින් (Michael Wiggin) විසින් “මම සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. ඔබට ගෝලීය සෞඛ්‍ය හවුල්කරුවන් හරහා පරිත්‍යාග කළ හැකියි” යනුවෙන් විවෘතව ඉල්ලීමක් කර තිබුණා.

“කියුබාවේ කොවිඩ්-19 රෝගීන් වැඩි වීමත් සමඟ අප කියුබානු ජනතාව ගැන සිතිය යුතු ය. දශක ගණනාවක් තිස්සේ කියුබාව ලොව පුරා රටවල් කෙරෙහි සිය ත්‍යාගශීලීභාවය සහ මානුෂිකභාවය පෙන්වා ඇත. දැන් ඔවුන්ට උපකාර අවැසියි. මේ අපේ වාරයයි. ප්‍රතිඋපකාර කිරීම අපේ වගකීමයි” ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජනපද නගර 15ක් පමණ කියුබානු සෞඛ්‍ය සේවය වෙනුවෙන් සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. සිය කියුබානු සගයන් සමඟ සහයෝගයෙන් සේවය කිරීමට වෛද්‍ය, අධ්‍යයන ආයතන හා ඖෂධ ආයතන දිරිමත් කරන ලෙස සියැටල් නගර සභාව ඉල්ලා තිබුණා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒකපාර්ශ්වික තීන්දුවක් වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ත්‍රස්තවාදයට අනුග්‍රාහකයන් ලෙස සලකන රටවල් ලැයිස්තුවට විකාරසහගත ලෙස කියුබාව ඇතුළත් කිරීම, එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවල, සංවිධානවල සහ පුද්ගලයන්ගේ හෙළාදැකීම් දැන් තවත් උත්සන්න කර තිබෙනවා.

කියුබාව මේ ව්‍යාජ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීම ආපසු හරවන ලෙස සියැටල් නගර සභාව (වොෂිංටන් ප්‍රාන්තය) ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටියා. සියැටල් හි මොනිකා මාටිනස් සිමන්ස් විසින් අත්සන් කරන ලද මෙම යෝජනාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කියැවෙන්නේ කියුබාව තනි නොකර එය සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම් ආරම්භ කළ යුතු බවයි.

යෝජනාවට අමතරව නව ප්‍රතිකාර, එන්නත් සහ දියුණු සෞඛ්‍ය සේවයක් ඇති කියුබාව සමඟ සම්බන්ධතා ඇති කළ යුතු බව සියැටල්-කිං කවුන්ටි සෞඛ්‍ය සේවා සේවකයන් ඉල්ලා සිටිනවා. ඒ ලෝකයේ විවිධ ප්‍රදේශවල කියුබානු වෛද්‍ය බළකායන් ගණනාවක වැඩකටයුතු උදාහරණයක් ලෙස උපුටා දක්වමින්.

ඇමෙරිකානු සම්බාධක මධ්‍යයේ කොවිඩ්-19  වසංගතයට එරෙහිව එන්නත් හඳුන්වා දීමට කියුබාව සමත් වීම ජාත්‍යන්තර ලිබරල් පුවත් පත් පවා අගැයුමට ලක් කළා. ප්‍රංශයේ සුප්‍රකට ලිබරල් පුවත් පතක් වන ‘Les Echos’ ඒ අතර පෙරමුණේ පුවත් පතක්. කියුබාවේ ‘ෆින්ලේ’ (Finlay) ආයතනයේ එන්නත වන ‘අබ්දලා’ සම්බන්ධයෙන් ඔවුන් පවසනුයේ, ජාත්‍යන්තර හා ඇමෙරිකානු සම්බාධක හමුවේ අමුද්‍රව්‍ය, තාක්ෂණික හිඟ ද ඇතිව අවසර පත් ද නොමැතිව ඔවුන්ගේ උත්සාහය පුදුමසහගත බවයි. ඒ අතර ඉරානය විසින් කියුබාවේ ‘සොබර්නා-2’ එන්නත ප්‍රවර්ධනය කිරීමට ද කියුබාව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.

“කියුබාව 1982 සිටම එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් තිබෙන රටකි. ඔවුන් ලබා දෙන සේවය ඔස්සේ ඩොලර් බිලියන 4-5ක ආර්ථික ආදායමක් රටට ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ ඔවුන් සොයා ගන්නා එන්නත් අනෙකුත් අසල්වැසි රටවල සෞඛ්‍ය සේවාවන් සමඟ එක් වී ඒවා සංවර්ධනය කරමින්, බෙදා-හදා ගන්නවා. ඔවුන් කවදාහරි කියාවි යුරෝපයේ අපි බුද්ධිමය අයිතීන් ඉදිරිපත් කරමින්, පේටන්ට් බලපත්‍රවලින් එන්නත් බෙදාහැරීමට බාධා කරමින්, ලාභය සොයා දිව යද්දී, අපගේ ආර්ථික සම්බාධක හමුවේ දහස් ගණනින් ජනතාව වසංගතයෙන් බේරා ගත්තේ ඔවුන් ය කියා” සඳහන් කරමින් ‘Les Echos’ පුවත් පත තම කතුවැකිය අවසාන කරනුයේ ප්‍රංශ වෛද්‍යවරියක වන ඈන් සීනීක්වයර්ගේ (Anne Sénéquier – IRIS) ප්‍රකාශයක් එලෙස උපුටමින්.

මේ අතර කියුබානු විප්ලවයේ නායකයන්ට සහයෝගය දැක්වීම සහ එක්සත් ජනපද රජය විසින් ප්‍රවර්ධනය කරන ලද දේශපාලන අස්ථාවරත්වය සහ අස්ථාවර කිරීමේ ව්‍යාපාර ප්‍රතික්ෂේප කිරීම සඳහා පසුගිය දා දහස් ගණන් කියුබානුවන් හවානාහි ලා පිරගුවා චතුරස්‍රයට රැස් වුණා.

“බොරුව, අපකීර්තිය හා වෛරය නැවැත්වීමට ඉඩ හරින්න. කියුබාව වෛරයට දැඩි ලෙස ආසාත්මික වන අතර, එය කිසි විටෙකත් වෛරයේ දේශයක් නොවනු ඇත. අපට ආදරය කිරීමට කාලය සොරා ගන්නා වෛරයෙන් යහපත් කිසිවක් ලැබිය නොහැකි යැ”යි රැස්ව සිටියවුන් අමතමින් ජනාධිපති ඩියෙස් කැනල් අවධාරණය කළා.

මේ සියල්ල පිටුපස සැලැසුම්සහගතව එක්සත් ජනපද පාලනය ඇති බව පැහැදිලිව පෙනෙද්දී, ඊට එරෙහිව එක්සත් ජනපදයේම මිනිස් හදවත් ඇත්තන් කියුබාව රැකගන්න ලෝකයේ සහාය ඉල්ලා සිටීම විස්මයදනවන ඇත්තක්.

ඒ ඇත්ත විසින් කියුබාවට පවතින සිරින්ජර හිඟය පරාජය කරනු ඇත්තේ, කියුබාව දශක ගණනාවක් ලෝකයට දුන් දේට කෘතගුණ සැලකීමක් වාර්තා කරමිනි.

■ අජිත් ජයශාන්ත
Leave A Reply

Your email address will not be published.

thirteen − 8 =