ගුරුපාර අපිට හොඳයි

පුළුන් වගේ සිඟිති සුරතල් දෙපා තබා ඇවිද ගිය, බොරළු කැටයෙන් සුදුවැල්ලෙන් අඩිපාර ඇන්ද ගුරුපාර ගමේත්, නගරයේත් අපි කොයි කාගේත් දෙපා හරි ආදරෙන් සිප ගත්තා. කොළොම්තොට ගොස් කන්තෝරුවෙන් කහවණු රැගෙන එන පෙරේරා මහත්තයාටත්, ගමේ කෙතේ දාදිය වගුරුවමින් ගොවිතැන් බත් කරන සයිමන් ගොවි මහත්තයටත් වෙනසක් නොකර හවසට ගෙදරට එන්න පාර කිව්වෙත් මේ ගුරුපාරමයි. හැමදා උදයේ ගංදෑලෙන්, ඕවිටෙන් පැන ඒදණ්ඩෙන් එගොඩ වුණු ලොකු ඉස්කෝලෙ මහත්තයා පැංචන්ට, පැංචියන්ට මං සලකුණු දිගේ ලෝකය දකින්න පාර කියන්න පාසල වෙත ගියෙත් මේ ගුරුපාර දිගේමයි.

අම්මගෙ අතේ එල්ලිලා, තාත්තගෙ කර මතින්, පෙම්වතිය, පෙම්වතා සමඟ දොඩමලු වෙමින් ජීවිතය ඇහින්ද මේ ගුරු පාරෙ මතකය අපේ හදවත්වල ඉහළින්ම තිබුණා. ගමේ ඉපදිලා ජීවිතය සොයාගෙන නගරයට ගිය කොයි කවුරුත් අවුරුද්දකට එක් වරක් හෝ ගුරුපාරෙන් ගෙදර ආවෙ සොබාදහමේ සුන්දරත්වය විඳගනිමින්. ඒත්, එදා ගමේ ඇළේ, දොළේ, වෙල් ඉපනැල්ලෙ කෙළි සෙල්ලම් කරපු පුංචි බට්ටො බට්ටියො අද කරදඬු උස්මහත් වෙලා රටට, ලෝකෙට සේවයක් කරන්නට ගුරුපාර දිගේම කොළඹ ගිහින්. පවසන විටත් දෙනෙතට කඳුළු පිරුණත්, කරුණක් නම් ගමෙන් ගිය හැමෝටම ගම අමතකම වෙලා.

ඒ අතර නගරයේ සංවර්ධන ප්‍රතිපත්ති ගම හොයාගෙන ආවෙ ඉතා වේගයෙන්. දන්නෙම නැතුව ගුරුපාර වැහිලා ගිහිල්ලා. කොන්ක්‍රීට් දාලා, මහා මාර්ග හදලා ගුරුපාරෙ පොදිගහපු මතකය පමණක්ම අද ඉතිරි වෙලා.

සංවර්ධනයට අප ගරහනවා නොවෙයි. නමුත්, මේ සංවර්ධනය එක්කම අද අපිට ගොඩක් දේවල් නැති වෙලා. සංවර්ධනය යැයි පවසමින්, කොන්ක්‍රීට් බදාම ලෝකයක් නිර්මාණය කරන්නට පෙළැඹිලා. ඒ සංවර්ධනයත් එක්ක මිනිස්කම සංවර්ධනය කර ගන්න අපිට අමතක වෙලා. කොන්ක්‍රිට් සංවර්ධනය ඇතුළෙත් පොළොවට බරක්ම වුණු ලොකු ලොක්කො අල්ලස් ගන්නවා නම්, කොමිස් ගහනවා නම්, වංචාව, දූෂණය රජයන සමාජයක් එක්ක ඒ පාර දිගේ ගමට එන්නෙ දූෂණ සහ අපරාධ නම්, ඒ සංවර්ධනය අපිට එපා.  සෙනෙහස, ආදරය, ගැමි අසිරිය පිරුණු ගමේ ගුරුපාර අපිට ඊට වඩා හොඳයි.

■ ශානුක කුමාරසිංහ
Leave A Reply

Your email address will not be published.

seventeen − 16 =