බැසිල්ට බය වෙච්ච ගෝඨා කියපු කතාව…

පහුගිය ජනාධිපතිවරණය අමුතු ම වර්ගයේ ජනාධිපතිවරණයකි. මෙතෙක් කාලයක් අපේක්‍ෂකයන් වූයේ යම් දේශපාලන පක්‍ෂයක පුද්ගලයෙක් ය. නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී වූවකු නොවේ ය. හිටපු හමුදා නිලධාරියෙකි. ඒ නිසා ම ජනතාව බහුතරයක් හිතුවේ, එය විශේෂ වූ සුදුසුකමක් කියා ය. කුණු වෙච්ච දේශපාලනඥයකුට වඩා රාජ්‍ය නිලධාරියකු ජනාධිපති වීම රටට යහපත් කියා ය. එපමණක් නොව ඔහු ආරක්‍ෂක ලේකම් ධුරය හොබවන කාලයේ ඔහු පිළිබඳව මාධ්‍ය මඟින් හැදූ චිත්‍රයක් ද තිබුණේය.

ඔක්කොට ම වඩා ප්‍රධාන වූයේ මහින්ද රාජපක්‍ෂගේ මල්ලී වීම ය. ගෝඨාභය ආවාට පස්සේ රට මුළුමනින් ම වෙනස් වේවි යැයි බොහෝ දෙනා කල්පනා කළහ. විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ ඇති වූ ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය ජනතාවගේ පැත්තෙන් වැඩිමනත් ලෙස සැලැකුවේ ය. “වැඩ කරන අපේ විරුවා – රට හදන අපේ විරුවා” යැයි කියමින් ඡන්දය දුන්හ. ඒ වෙලාවේ ඡන්ද ගන්න පාවිච්චි කර ගත්තේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය සහ අමු ම අමු ජාතිවාදයයි. සිංහල බෞද්ධ උරුමය රැකගැනීමේ ආරක්‍ෂකයා ලෙස වෙස්වලාගෙන පැමිණි ගෝඨාභය රාජපක්‍ෂට බහුතරයක් ජනතාව හසු වුණේ ය; රැවටුණේ ය.

‘ස’ යනු ‘දෙරණ’ පුම්බන බැලුම වන අතර, ‘පුතාණෝ’ යනු මහරාජා පුම්බන බැලුම ය.  මේ දෙකෙහි ම ඇතුළත හිස් ය; හුළං ය.’ මේ සමාජ මාධ්‍ය සටහනකි. ඇත්ත කතාව ඒක ය. මාධ්‍යවලින් පුම්බන බැලුම්බෝලවල හුළං ඉතා ම කෙටි කාලයකින් බැස යයි. ගෝඨාභයට සිදුව ඇත්තේ එයයි.

ඒ මොහොතේ ඇතැම් අය ගෝඨාභය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් ඉදිරිපත් කළහ. රාජපක්‍ෂ පවුලේ ඉන්න අන්තිම දුර්වලතම පුද්ගලයා මොහු යැයි කිව්වේ ජවිපෙ ලාල් කාන්ත ය. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කිව්වේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් නොවුණු ගෝඨාභයට ඒක කරන්න බැහැ කියා ය. කොහො ම වුණත්, රට වැටිලා තිබුණු අරාජිකත්වයත් එක්ක යම් හෝ සහනයක් ලැබේවි යැයි පිරිසක් බලාපොරොත්තු වූහ.

ගෝඨාභය බලයට පත් වී මේ වන විට හරියට ම අවුරුද්දයි, මාස හතක් ගෙවී තිබේ. ගෙවිච්ච කාලය තුළ දිගින්දිගට ම පෙන්නුවේ අසාර්ථකත්වයන් ය. වැඩ බැරිකම ය. පටන් ගත්තේ ම වැඩ කරන්න බලය මඳි යැයි කියාය. ඒ නිසා ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ද දුන්නේ ය. ඊට පස්සෙ අසීමිත බලතල තහවුරු කර ගන්න විසිවැනි සංශෝධනයත් සම්මත කර දුන්නේ ය. දැන් වැඩ කරන්න බලය නැහැ කියන්න කිසිදු හේතුවක් ඇත්තේ නැත. පළාත් සභා සියල්ල ඇත්තේ, ඔහු විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් අතේ ය. පළාත් පාලන ආයතන බහුතරයක බලය ඇත්තේ ඔහුගේ ම පක්‍ෂයට ය. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන සියලු ආයතනවල බලය ලබා දී තිබිය දීත්, දිගින්දිගට ම අසාර්ථක ය. එහෙම නැහැ කියන්න ගිහිල්ලා තව තවත් අසාර්ථක යැයි ඔප්පු කළේ ය.

රටේ ආර්ථිකය ගත්තොත්, අන්තිම අඩියට කඩාවැටිලා ය. ප්‍රධාන වශයෙන් ණය අර්බුදය, විදේශ විනිමය අර්බුදය, දවසින් දවස කඩාවැටීමේ අර්බුදය උත්සන්න වෙමින් පවතී. රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය මුළුමනින් ම අවුල් ජාලාවක් වෙලා ය. කිසි ම දෙයක් සාර්ථකව නිම කළා යැයි කියන්නට නැත. හැම දේ ම අනාගෙන ය තමන්ව දිනවන්න දර දිය ඇදපු හාමුදුරුවරු ප්‍රසිද්ධියේම විවේචනය කරන තැනට පත්ව ඇත. ඒ උන් වහන්සේලා බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවන නිසාවෙනි. එක්සත් ජාතික පක්‍ෂය රට විකුණුවේ ය; අධ්‍යාපනය පෞද්ගලිකකරණය කළේ ය. ඒ සියල්ල ම නන්දසේන කරන්නේ ය.

නැඟෙනහිර ජැටිය මහ දවාලේ ඉන්දියාවට විකුණන්න ගියේ ය. ජනතා විරෝධයෙන් යාන්තම් එය බේරා ගනු ලැබී ය. එහෙත්, බටහිර ජැටිය විකුණා දැම්මේ ය. අද වන විට කොළඹ වටිනා ඉඩම්, දේපළ සියල්ල විකුණමින් සිටියි. ගෝඨාභය ආවා ම අඩු ගාණේ රටේ නීතියවත් හරියට ක්‍රියාත්මක වේවි යැයි සිතපු ජනතාව කරකියා ගත හැකි දෙයක් නැති තත්ත්වයකට පත් වී සිටිති. දුමින්ද සිල්වා වැනි මිනීමැරුම් චෝදනා තිබූ අය ජනාධිපති සමාව දී නිදහස් කර ගත්තේ ය. ඒ මඳිවාට එළියට ආපු ගමන් නිවාස අධිකාරියේ සභාපතිකම ද දෙන්නේ ය. තමන්ගේ සහෝදරයන්ට, ඥාතීන්ට විශේෂ සැලැකිලි කරන්නේ නැහැ යැයි කිව්වේ ය. අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පවුලේ අය පත් කරන්නේ නැති බව ද කිව්වේ ය. මේ වන විට අගමැතිගේ පෞද්ගලික ලේකම් දෙවැනි පුතා යෝෂිත රාජපක්‍ෂ ය. පටන් ගත්තේ එතැනින් ය. ඊට පස්සේ දිගට හරහට වැඩේ කෙරුණේ ය. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් තනි පුද්ගලයකු වෙනුවෙන් වෙනස් කළේ ය. ඒ තම සහෝදරයා වන බැසිල් වෙනුවෙන් ය. බැසිල්ගේ ඇමෙරිකානු පුරවැසිකම තියාගෙන මුදල් ඇමැති ලෙස කටයුතු කරන්නට ඉඩ සැලැසුවේ ද ඔය කියන වැඩ කරන විරුවා ය.

එක පැත්තකින් මුළු රට ම මහා දැවැන්ත ආර්ථික අර්බුදයක ගිල්වා ඇත. අනෙක් පැත්තෙන් කිසිදු හිරිකිතයක් නැතිව දූෂිත පවුල් පාලනයක් පිහිටුවා ඇත. මෙය පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් තහවුරු කර ඇත. ඒ සියල්ල සිදු වන්නේ නන්දසේනගේ නායකත්වය යටතේ ය. තව දුරටත් රටේ බහුතර ජනතාව නන්දසේනට රැවටෙන්නේ නැත. රටේ කිසිවක් හරියට කර ගන්න බැරි වෙච්ච අන්තිම දුර්වලතම පාලකයා බවට ඔහු පත් වී අවසන් ය. එය දැන් මොන කයිවාරු ගැහුවත් වෙනස් වන්නේ නැත. බැසිල් මුදල් ඇමැති කරන කොට ම ආණ්ඩුවේ ම ගොඩක් අය බැසිල්ගේ පැත්තට හැරුණේ ය. ඒ ඔවුන් ගෝඨාභයගේ දුර්වලතාව දන්නා නිසා ය.

බැසිල් ගෙන ඒමෙන් සහ මුදල් ඇමැතිකම දීමෙන් ම ඔප්පු කළේ ගෝඨාභය දුර්වල හා අසමත් බව ය. ඒ නිසා ම වේගයෙන් කට්ටිය ගෝඨාභයගෙන් ඈත් වන්නට පටන් ගත්හ. හැමෝ ම හිතුවේ ඊ ළඟ ඡන්දෙට පවුලෙන් නම් කරන කෙනා බැසිල් කියා ය. දවස් දෙක තුනක් යන කොට ඇමතිවරු, මන්ත්‍රීවරු ගෝඨාභයව ගණන් නොගන්න තත්ත්වයට ආවෝ ය.  ගෝඨාභය කලබල වුණේ ඒකට ය. ඊ ළඟ සැරේ කෙසේ වෙතත්, මේ ඉන්න ටිකේවත් මුන් ටික මෙල්ල කර ගන්න වුවමනා ය. ඊ ළඟ සැරයක නම් දිනන්න තියා හිතන්නවත් බැරි බව ඔහු දන්නේ ය. ඔහු විතරක් නොව ආණ්ඩුවේ හැමෝ ම දනිති. එළිපිට කියා ගන්න බැරි වුණාට හැමෝ ම කසුකුසු ගාන්නේ ඒ ගැන ය. මේකට කලබල වුණු ගෝඨාභය හදිසියේ ම මාධ්‍ය ප්‍රධානීන් කැඳවූයේ ය. ඒ හමුවේ දී තමන් ඊ ළඟ වතාවෙත් ජනාධිපතිවරණයට එන බව කිව්වේ ය. ඒ වෙන මොන හේතුවක් නිසාවත් නොවේ ය. බැසිල් පත් කරලා දවස් දෙක තුනක් යන කොට ඇතුළේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, නිලධාරීන් හැමෝ ම බැසිල් පස්සේ යන්න වීමත් සමඟ ය. ඒ ප්‍රකාශය හදිසියේ කරන්න වූ ඇත්ත හේතුව එයයි. එහෙම නැත් නම්, දේශපාලනය ගැන පුංචි හෝ දැනුමක් ඇති අයකුට තේරෙන දෙයක් වන්නේ ආයේ නම්, ගෝඨාභයට දිනන්න තියා ඉල්ලන්නවත් චාන්ස් එකක් නැති බව ය.

‘ස’ යනු ‘දෙරණ’ පුම්බන බැලුම වන අතර, ‘පුතාණෝ’ යනු මහරාජා පුම්බන බැලුම ය.  මේ දෙකෙහි ම ඇතුළත හිස් ය; හුළං ය.’ මේ සමාජ මාධ්‍ය සටහනකි. ඇත්ත කතාව ඒක ය. මාධ්‍යවලින් පුම්බන බැලුම්බෝලවල හුළං ඉතා ම කෙටි කාලයකින් බැස යයි. ගෝඨාභයට සිදුව ඇත්තේ එයයි. දැන් ඉතින්, “මේ රට දකුණු ආසියාවේ වේගයෙන් ම සංවර්ධනය වන රට බවට පත් වීම ගෝඨාභය රාජපක්‍ෂ පාලනය තුළ යථාර්ථයක් බවට පත් කළ හැකි යැ”යි නාමල් රාජපක්‍ෂ කිව්වාට කවුරුවත් විශ්වාස කරන්නෙ නැත. ඔහුට පමණක් ස්වයං වින්දනයක යෙදීමට එසේ සිතීමට පුළුවන් ය.

ඇත්ත කතාව මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු බහුතරයක් ගෝඨාභයට බැරි බව දනිති. විස්ස සංශෝධනය නිසා ඒ ගැන කට අරින්නේ නැත. එහෙත්, ඔවුහු තැන් තැන්වල, අහුමුලුවල කතාබහ වෙති. ජනතා විරෝධය උත්සන්න වත් ම අනිවාර්යයෙන් ම මෙය පුපුරා යනු ඇත. ඡන්දය දුන් ජනතාව දැන් බල බලා ඉන්නේ ගෝඨාභයව ඉක්මනින් ගෙදර යවන්නේ කොහොම ද කියා ය. අද වැඩියෙන් ම කලකිරීම සහ වේදනාව ඇත්තේ, ඡන්දය දුන් අයට ය. ඒ එක පැත්තකින් තමන් රැවැට්ටවීම පිළිබඳ කනගාටුවෙන් ය. අනෙක් පැත්තෙන් බොරු කතා කියලා, හැඟීම් අවුස්සලා ඡන්දය ගැනීම නිසා ය. මෙච්චර කෙටි කාලයක් තුළ අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට පත් වුණු ගෝඨාභය ඉක්මනින් ගෙදර යවන්නේ කොහොම ද යැයි ඔවුන් අසන්නේ ඒ නිසාවෙනි. ඒ අතරේ ආයෙත් වතාවක් එනවා යැයි කිව්වා ම නහුතෙට ම කේන්ති ගොස් ඇත්තේ ය. එය වෛරයක් බවට ම පත් වී තිබේ. “වාහන නෑ… බයික් නෑ… කහ නෑ… ලුණු නෑ… ටයිල් නෑ… පෝර නෑ… කැඳ නෑ, …ට මොළේ නෑ…” කියන්නේ ඒ නිසා ය; කේන්තිය වැඩිකම නිසා ය. ආයෙත් එන්න හිතාගෙන ගෝඨාභය හීන දකිනවා නොව දැනට තියෙන එක බේරා ගන්න ඒ කතාව කිව්ව බව නම් පැහැදිලි ය. ආයේ ඒම කෙසේ වෙතත්, ‘ඉතිරි අවුරුදු තුනහමාර යා ගන්න පුළුවන් වේවි දෝ’ යන ප්‍රශ්නය නම් ඔහුට ඇති බව පැහැදිලි ය. ජනතාව ඉන්නේ අවුරුදු තුනහමාර නොව හෙට අනිද්දා ම ගෙදර යවන්න සූදානමක ය●

ජගදාක්‍ෂි

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

five × one =