ජනතා සටන කොයිබට ද?

බාල වයස්කාර මෙහෙකාර දැරියක පිළිස්සී මිය යාම පදනම්ව සිදු වූ මරණ පරීක්ෂණයේ දී ඇය බොහෝ වරක් දූෂණයට ලක්ව ඇතැයි හෙළි විය. මෙහි දී ඇය මෙහෙකාර සේවයේ යෙදැවූ බදියුදීන් පට්ට ගැසීම හැර ආණ්ඩුවට ඒ සම්බන්ධ වගේ වගක් නොමැත. වැදගත් වන්නේ ඇයගේ මරණයට සාධාරණය ඉටු කිරීම මෙන් ම මෙවන් දරුවන්ට අනාගතයේ දී වන එවන් ලිංගික අපචාර මැඬලීම සඳහා ක්‍රියා කිරීමයි. ඒ සඳහා මේ අපරාධයට වගකිව යුතු එහි හවුල්කරුවන් සොයාගැනීමයි. බදියුදීන් හෝ තවත් පිරිස් මේ අපරාධයට හවුල් නම්, ඔවුනට දඬුවම් දීම අවශ්‍ය ය. ඒ සඳහා සත්‍යය සොයා ගැනීමට කඩිනම් පරීක්ෂණ ඇරැඹිය යුතු ය. එහෙත්, සියල්ල ආණ්ඩුවේ ජාතිවාදී මිම්මට ද, ඔවුන් නියෝජනය කරන ධනපති පන්තිය රැකීම පමණක් වෙනුවෙන් ද වෙන් වී තිබේ. මරණ දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා ඇතුළු එම පන්තියේ ඇස් මේ බාල වයස්කාර මෙහෙකාර දැරියට වූ අසාධාරණය වෙත යොමුව නැත.

ගම්මන්පිලට ගෙනා විශ්වාස භංගයෙන් ආණ්ඩුව තම අර්බුදය උපරිම ලෙස සමනය කර ගත්තේය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර මතභේද, විශේෂයෙන් ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර ප්‍රශ්නය මුළුමනින්ම යට ගියේ ය. ගම්මන්පිලලා, වීරවංශලා එළවා දමන මට්ටමට ඔඩු දිවූ ‘මණ්ඩලේ කචල්’ යටපත් විය. ආණ්ඩුව තමන් ශක්තිමත් යැයි පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් පෙන්වී ය.

ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගයේ දී සාම්ප්‍රදායික නිල විපක්ෂයේ හැසිරීම මෙයට දෙවැනි නැත. ආණ්ඩුව ‘බැරිය වෙණ ගායනා පෙර සේ’ යැයි දපා සිටිය දී සජිත්ගේ විපක්ෂය එයට තිරිහන් වීමට අවස්ථාව සලසාලී ය. ගම්මන්පිලට ගෙනා විශ්වාස භංගයෙන් ආණ්ඩුව තම අර්බුදය උපරිම ලෙස සමනය කර ගත්තේය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර මතභේද, විශේෂයෙන් ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර ප්‍රශ්නය මුළුමනින්ම යට ගියේ ය. ගම්මන්පිලලා, වීරවංශලා එළවා දමන මට්ටමට ඔඩු දිවූ ‘මණ්ඩලේ කචල්’ යටපත් විය. ආණ්ඩුව තමන් ශක්තිමත් යැයි පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් පෙන්වී ය.

“සිස්ටම් වෙනස් කරනවා” කියමින් මොකක් හෝ වෙනස් කර වසර දෙකහමාරක් පමණ ‘දිය සිඳෙන තුරු’ බලා සිටිමින්, ‘කණකොක් වත’ රකින පිරිස් ද විපක්ෂයේ සිටිති. මොවුන් කලබලයෙන් කැසකවන්නේ කුමන, කවුරු හෝ එකතු කරගෙන බලවේගයක් හදා ආණ්ඩුව පෙරළන්නටය. පෙරළා මී ළඟ අවුරුදු පහ සඳහා තමන්ට බලය ලබා ගන්නට ය.

ඔවුහු තත්ත්වයන් නොසලකා, සැබෑ සමාජ පරිවර්තනය නොදැන, මහපොළොවේ නොවන සිතේ විප්ලව කරන්නෝ ය. තමන් නොදැන කරනුයේ, සමාජ පරිවර්තනයකට සූදානම් වන ජනතා අරගල වෙනතකට යොමු කිරීම බව ඔවුහු නොදනිති.

මේ සියල්ල දැන හෝ නොදැන කරනුයේ, තව දුරටත් සැබෑ සටනක් විකාශනය වීමට බාධා කොට ලත් තැනින්ම ලොප් කරන තත්ත්වයට පත් කිරීමයි.

කොතලාවල පනත සම්මත කර ගැනීමට දතකන ආණ්ඩුව දැන් 1978 විශ්වවිද්‍යාල පනත ද සංශෝධනය කිරීමට පිඹුරු පත් සකසා ඇත. මේ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද සිය බලවත් විරෝධය පළ කොට ඇත. ඒ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), කොතලාවල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම හකුළා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අතර, ගුරුවරුන් තම ඉල්ලීම් ඉල්ලමින් මහපාරේ ය. ගොවි ජනතාව ජීවිතය ඉල්ලා මහපාරේ ය. ඒ අතර මිය ගිය දැරිය වෙනුවෙන් යුක්තිය ඉල්ලන ජනතාවගේ හඬ ද ඉදිරියෙනි.

මේ කවර විරෝධතා මතු වුව ද, ආණ්ඩුව කරන ඕනෑම ජනතා විරෝධී වැඩකට අත උස්සන තුනෙන් දෙකේ බහුතරයක් ආණ්ඩුවට තිබේ. ඒ නිසා සැබෑ ජනතා වුවමනාවන් ජයග්‍රහණය කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත පුළුල් මහජන බලයක් නිර්මාණය කළ යුතුව තිබේ. ආණ්ඩුවට වාසි පිට වාසි අත්කර දෙන සජිත්ලාගේ තකතිරු විපක්ෂයට එය කළ නොහැකි ය. දුමින්දලා ද, රාජපක්ෂලා ද, සජිත්ලා ද, රනිල්ලා ද, මෛත්‍රීලා ද නියෝජනය කරන්නේ එකම පන්තියක් බව බොහෝ දෙනාට අමතක වන්නේ ය.

ජනතාවාදී අරමුණු ජය ගැනීමට හැක්කේ මේ සියලු බලවේග පරිණත, සැබෑ ප්‍රගතිශීලි බලවේගයක් වටා ගොනු වීමෙන් පමණක් බව සටහන් කර තැබිය යුතු ය●

Leave A Reply

Your email address will not be published.

11 + twelve =