බල්ලො කරේ -කොල්ලො හිරේ !

ජාතික මැතිවරණ දෙකක දී, මහා ජනවරමකින් පිදුම් ලබා, අසීමිත විධායක බලයෙන් ද, තුනෙන් දෙක ඉක්මවන ව්‍යවස්ථාදායක බලයෙන් ද, අනෙක් සකලවිධ බලයන්ගෙන් ද සන්නාහ සන්නද්ධ ආණ්ඩුවක්, මූල්‍ය හා මාධ්‍ය බලයෙන් අනූන ආණ්ඩුවක්, මේ නිකං සීයට තුනේ කබ්බන්ට ඇයි මෙච්චර බය ? එන්න අපි ටිකක් කතා කරමු. කතාව පටන් ගන්නට වෙන්නේ ටිකක් එහා සිට ය.
ඉතිහාසයේ තිබූ ආණ්ඩුවලින් ගොබ්බම ආණ්ඩුව වූ යහපාලන ආණ්ඩුව දෙකට බෙදී කුළල් කා ගැනීමත්, සොරකම් කිරීමත් හැර වෙන යමක් කළේ නැත. සුද්දන්ගේ වීදුරුවල ඉතුරු කර තබා යාමෙන් පසු වලවු කීපයක පරණ බෝතල්වලට හලා ගත් කුරුඳුවත්තේ අපිරිසිදු විස්කිවලට පොළොන්නරුවේ සීනි කරිඤ්ඤං කලවම් වී හැදුණු කටේ තියන්නට බැරි විපරීතය, ‘යහපාලනය’ නම් විය.
එහි දී සංහිඳියාව බාල ගණයේ මීඩියා ෂෝ එකක් වූ අතර, මුග්ධ යුදවාදයට එරෙහිව ඇත්ත මතවාදයක් මහ පොළොවේ රෝපණය කරන්නට ‘යහපාලනය’ අසමත් වූයේ ය. ජාතික ආරක්ෂාව, “ගහයි කියල හිතුවට මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ” ලෙවල් එකට වැටුණු අතර, ජාතිවාදයේ සර්පයා යටිබිම්ගතව එහා මෙහා ඇදෙමින් තිබුණු බව කිසිවකු ඇස ගැටුණේ නැත.
සිරිකොත දෙකට පැළී අද මොන මොන වාද බයිලා ගැසුව ද, එදා ඔය දෙපිල ම එකම සාදයක භේද නැතුව ජවුසං නැටූ බව සිහිපත් කර ගත යුතු ය. ඩීල් පිට ඩීල් දමමින්, ගේම් පිට ගේම් ගැසූ යහපාලනයේ තක්කඩි දෙබිඩි දේශපාලනය අද මේ රට පත්ව ඇති විකාරසහගත තත්ත්වයට එකට එකක් නොව එකට දාහක් වගකිව යුතු ය.

අදටත් මහ මොළකරුවෙක් හොයාගන්නට නැති කෲරතර සැලැසුමකට අනුව බෙලහීන යහපාලනයේ අප්‍රාණික දෙපා යටින් බිහිසුණු බෝම්බ පෙළක් පාස්කු ඉරිදාවක පුපුරා ගිය අතර, ඒ ගිනිදැල් සහ විලාපය මැද වර්ගවාදයේ කපටි සිනහව මතු විය. ඊට සමාන්තරව කලාපීය දේශපාලනයේ නූල් සූත්තර ඉතා කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ බව සිහිබුද්ධිය ඇතිවුන්ට රහසක් නොවේ.
ඉනික්බිති මර ජවන ජනවරම බවට පත් වූ අතර, බංකොළොත් දූපතක ඉරණම, සිය භේදය තවත් වසර පහ හයකට දිගු කර ගත්තේ ය. අලි පැටව් සොරකම් වන්නේත්, වලි පැටව් නිදහස් වන්නේත්, බලි පැටව් රූකඩ නටන්නේත්, ජොලි පැටව් බජව් දාන්නේත්, වැලි පැටව් පරිසරය භක්ෂණය කරන්නේත්, බිලි පැටව් ආයුධ පෙන්වන්නට රැගෙන යන්නේත් අන්න ඒ සන්දර්භය යටතේ ය.
ලංකාව යනු මේ වන විට කූඤ්ඤ ගසා පර්චස් ගාණට බෙදා වෙන් කර විකුණන්නට දමා තිබෙන වර්චස් නොවූ ඉඩමකි. මේකෙන් ඉඩම් කෑල්ලක් අරන් දාන්නට ලෝකයාට ඉඩප්‍රස්ථා විවෘත වී ඇති අතර, ලෝකයේ සිටින ලෝකයන් දෙන්නෙක්, තුන් දෙනෙක් ඉස්සරහට පැන ඔක්කොම ඉඩම් කෑලි තමන්ගේ නමට අරන් දාගෙන දාගෙන යන තත්ත්වයක් උදා වී තිබේ.

මේ රටේ ස්වාධීනත්වය තිස්සමහාරාම වැවේ රොන්මඩ ගාණට වැටී ඇත. ඕනෑ එකකුට ඇවිත් ඕනෑ විදිහකට ඕනෑ තරමක් ගොඩ දාගෙන ගෝනිවල පුරවාගෙන යන්නට ඉඩහසර වෙන් වී තිබෙනු දැකගන්නට පුළුවන. ඩොලරයට සාපේක්ෂව රුපියල හොම්බෙන් යන විට ටියුෂන් පන්තියක ටියුට් අච්චු ගහන්නා සේ සල්ලි අච්චු ගහන සෞභාග්‍යවත් ආර්ථිකයක සාඩම්බරය මෙරටට දැන් තිබේ.
වසංගතය ද ජාවාරම්කරුවන්ට වසන්තයක් වෙද්දී, ලක්ෂ ගණන් පුරවැසියෝ එදා වේල නැතුව වසන්නට නොහැකිව සිටිති. ගොවියෝ පෝර ඉල්ලා පාර හරස් කරති. මැරයෝ ඒ ගොවියන්ට පා පහර දී සටන් කලා ප්‍රගුණ කරති. ජනයා ගස්ලබු තම්බාගෙන කන තත්ත්වයට ඇදවැටෙද්දී, ජනතා නියෝජිතයා වෙනුවෙන් නවීනතම අධිසුඛෝපභෝගී රථ සූදානම් ය. බැස යන ආර්ථිකය ගොඩ දාන මැජික්කරුවෝ ද දැන් ගොඩ බැස ඇත.

මේ වගේ වෙලාවට ආණ්ඩුවක් කළ යුත්තේ කුමක් දැයි ජේ. ආර්. ජයවර්ධන කියා දී ඇත. උද්ඝෝෂණ තහනම් ය. සමන්ත විද්‍යාරත්නලා, නාමල් කරුණාරත්නලා, දුමින්ද නාගමුවලා, මහින්ද ජයසිංහලා පිටුපස නිල නොනිල බලඇණි පන්නමින් ඇත. එකා එකා කුදලමින් හිරකූඩුවල ගාල් කරමින් ඇත. මර්දනයට ලක් වන පාර්ශ්ව අතර හොඳම සමඟිය නැති වීම වෙනම කතාවකි. එහෙත්, මර්දනය කුරිරු ඇත්තකි.

මර්දනය ආපසු හැරවිය හැක්කේත්, ජනයා පෙළගැස්විය හැක්කේත් සමඟියෙන් පමණි. ඒ යෝජනාව එසේ තිබිය දී, දැන් අපි අර මුල ප්‍රශ්නයට නැවත එමු. සකලවිධ බලයෙන් සන්නාහ සන්නද්ධ ආණ්ඩුවක්, මේ නිකං සීයට තුනේ කබ්බන්ට ඇයි මෙච්චර බය ? පොදුජන නාඩිය හරියට ඇල්ලුවොත්, පරණ ප්‍රතිශත කඩාගෙන ක්‍රම විරෝධී ජන බලය රළ නඟා ඉහළට එන බව කාටත් වඩා හොඳින් ආණ්ඩුව දන්නා නිසා ය.
– ප්‍රභාත් විජයවර්ධන

Leave A Reply

Your email address will not be published.

18 − five =