දිවිසැරියෙන් සමු ගත් ප්‍රවීණ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

සොබාදහමට පෙම්බැඳි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අප අතරින් සමුගත්තේ ය. හේ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ය. ඔහු පුවත් පත් කලාවට අවතීර්ණ වන්නේ ‘දිනමිණ’ පුවත් පතිනි. ඒ කිරිඇල්ල වාර්තාකරු ලෙසිනි. පසුව ‘ලංකාදීප’ පුවත් පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ විය. ලංකාදීපයෙන් සමු ගත් ඔහු ‘ඉරිදා’ ආරම්භ කරද්දී, එහි විශේෂාංග ලේඛකයෙක් ලෙස එක් වූයේ ය.
ගමන් මල්ලක් කරේ එල්ලා ගත් අසාමාන්‍ය ශරීරයකින් හෙබි මේ තරුණ පුවත් පත් කලාවේදියා බන්දුල පද්මකුමාරගේ කර්තෘත්වයෙන් ඇරැඹි ‘ලක්බිම‘ පුවත් පතේ ගවේෂණාත්මක පුවත් පත් කලාවේදියකු ලෙස ජනතා ප්‍රසාදයට ලක් වූයේ ‘ලක්බිම’ පුවත් පතට ආලෝකයක් එක් කරමිනි.

අංකුර මාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයා වූ ඔහු සැමට ක්‍රිෂ්ණා අයියා වූයේ ය. ‘ලක්බිම’ දිනපතා පුවත් පත ඇරඹෙද්දී ඔහු එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා විය. පළපුරුදු වාර්තාකරුවන් මෙන්ම නවක වාර්තාකරුවන් රැසක් පුවත් පතේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස බඳවා ගත් ක්‍රිෂ්ණා අයියා ඔවුන් සෑම මසකට වරක් කොළඹට කැඳවා ගුරුහරුකම් දුන්නේ ය.

පරිසරයට පෙම්බැඳි ආදරණීය සහෘදයකු වූ ක්‍රිෂ්ණා අයියා තරුණ මාධ්‍යවේදීන් ද ඔහුගේ ගමන්වලට එක්කාසු කර ගත්තේ ය. අපට ද තරුණ මාධ්‍යවේදීන් ලෙස ඔහු සමඟ සතියකට වරක් වනාන්තරවල කාලය ගත කිරීමට හැකි වූයේ ය.

එසේම ගොවියාගේ මිතුරකු වූ ක්‍රිෂ්ණා විජේබණ්ඩාරයන් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් නොබියව පෑන මෙහෙයැවූයේ ය. වී මාෆියාව රටට හෙළි කළ ක්‍රිෂ්ණා අයියා වී මාෆියාවට හසුව වස බී සිය දිවි නසා ගන්නා ගොවීන් ගැන පුවත මුල්වරට ජනගත කළේ ය.
කෘෂි රසායන නිසා රජරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු ගැන සොයන්න ඔහු ගිය ගමන්වලට අපව ද එක්කාසු කර ගත්තේ ය. සැබැවින්ම ඔහු දක්ෂ ඇදුරුතුමෙකි. හොඳ සහෘදයෙකි. ක්‍රිෂ්ණා අයියා යැයි කිව හැකි ළෙන්ගතු සොයුරෙකි.

‘තංගමලේ අබිරහස් රත්තරන් කන්ද’, ‘රන් පොළොව, සාගින්න සහ මරණය’, ‘සද්දන්ත ප්‍රේමය සුන්දරයි’, ‘සමන් වෙහෙර සහ සබරගමු සමන් දේවාලය’, ‘මැණික් පුරේ මැණික් කතා’, ‘දුප්පත් බතට වස’, ‘බිඳුණු ඊළාම් සිහිනයක පනස් තුන් අවුරුද්ද’, ‘චතුදිස රුසිරු දුටුවෙමි ගොඩ පවන් පටුන් මනෝරමේ’ ඔහු අතින් ලියැවුණු කෘතීන් ය. ජනතා සම්මානයෙන් පුද ලද ක්‍රිෂ්ණා අයියාට සුබ ගමන් පතමු.
– ලසන්ත වීරකුලසූරිය ඇතුළු ‘ලංකා’ කර්තෘ මණ්ඩලය

Leave A Reply

Your email address will not be published.

19 + ten =