දකුණේත් – උතුරේත් වින්දිතයන්ගේ දුක දැරූ හදවත නිසල වෙයි

ශ්‍රී ලංකාව බිහි කළ ප්‍රමුඛ පෙළේ අධිනීතිඥවරියක හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ මනෝරි මුත්තෙට්ටුවේගම සිය අභියෝගාත්මක දිවිසැරිය නිම කළාය. අඩසියවසකට ආසන්න කාලයක් තිස්සේ ලාංකීය සමාජය ප්‍රකම්පණයට පත් කළ දේශපාලන ඝාතන, වධහිංසා හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් සත්‍ය සෙවීම පිණිසත් භීෂණයෙන් තොර ජීවිතයක් සහතික කරන සමාජ ක්‍රමයක් මතු පරපුරට උරුම කර දීම පිණිසත් අප්‍රතිහත ධෛර්යයකින් හා උද්යෝගයකින් කටයුතු කළ ඇය, සිය අරමුණු ඉටු වනු නොදැකම සිය දෙනෙත පියාගත්තාය. මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ක්‍රියාකාරිනියක ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත් කරගත් මනෝරි මුත්තෙට්ටුවේගම, ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සමාජ ක්‍රියාකාරීන්ට ධෛර්යය සැපයූ සංකේතීය චරිතයකි.

ලංකාවේ දශක ගණනක දේශපාලන ඝාතන හා අතුරුදන්වීම්වල වින්දිතයන්ගේ දුක් වේදනාවලට වැඩිපුරම සවන් දී ඇති දෙසවනක් වී නම්, ඒ ඇයගේ බව ඉඳුරාම කිව හැකිය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් පත් කෙරුණු ‘අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිසමේ’ සභාපතිනිය ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල වින්දිතයන් දහස් ගණනක් හමු වෙමින් සාක්ෂි ලබාගත් ඇය, දීර්ඝ කාලයක් හා ශ්‍රමයක් කැප කර සකස් කළ වාර්තාව, එම අපරාධ පිළිබඳ සවිස්තරාත්මකම වාර්තාව ලෙස සැලකේ. යුද්ධය පැවති සමයේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් හා ඝාතන පිළිබඳව සොයාබැලීම පිණිස 2006 දී පත් කෙරුණු කොමිසමෙහි (උදලාගම කොමිසම) ද ඇය සාමාජිකාවකි. 2016 වසරේදී ‘සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධන බලකායේ’ සභාපතිනිය ලෙස ඇය නැවත වරක් උතුරු නැගෙනහිර පළාත්ද ඇතුළුව දිවයින පුරා විවිධ සමාජ ස්ථරවල විපතට පත් වූවන් හමු විය. ‘අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය’ ස්ථාපිත කිරීම, එම කොමිෂන් සභාව ආශ්‍රිත ක්‍රියාදාමයෙහි ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙසද කටයුතු කළ ඇය එම විෂය පිළිබඳ ප්‍රබල මෙහෙවරක් ඉටු කළාය.

මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ දියණිය වන මනෝරි මුත්තෙට්ටුවේගම, කොමියුනිස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සරත් මුත්තෙට්ටුවේගමගේ භාර්යාවයි. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවකද වූ රමණි මුත්තෙට්ටුවේගමගේ ආදරණීය මෑණියන්ය.

ජීවිතයේ අවසන් සමයේ, සිය මුනුබුරු මිනිබිරියන් සමඟ දකුණු පළාතේ මුහුදුබඩ පරිසරයක ආරෝග්‍යමත් හා ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් ගත කළ ඇගේ අවසන් කටයුතු ජූලි 22 වැනිදා බොරැල්ල සුසානභූමියේදී සිදු කෙරිණි.
– ජයසිරි ජයසේකර

Leave A Reply

Your email address will not be published.

11 − four =