කළු සල්ලි සුදු කරන්න බැසිල්ගෙන් ලයිසන්!

මූල්‍ය ජාවාරම්කරුවන් නීතියට පටහැනි ලෙස සඟවා ගෙන සිටින මුදල් බදු සහන දී රටින් පිට කිරීම අරමුණු කර ගත් පනතක් සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පත් වී දින කිහිපයකට පසුව ජූලි මස 09 වන දින අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ‘නිශ්චිතව දක්වා ඇති නීති යටතේ දැනටමත් බදු අය කළ හැකි සැපයුම්, ආදායම් හා වත්කම් හෙළිදරව් කරන තැනැත්තන් වෙත සහන ප්‍රදානය කිරීම ’යන සරල අර්ථයෙන් මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ. පනත් කෙටුම්පත මගින් ප්‍රධාන කරුණු දෙකක් යටතේ මෙලෙස විශාල බදු සහනයක් ලබාදීමට ආණ්ඩුව යෝජනා කර ඇත. එනම් ‘ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරිම මත බද්දක් පැනවීම ’සහ ‘ඇතැම් නීති යටතේ හිඟ මුදල් කපා හැරීම සඳහා විධිවිධාන’ යනුවෙනි. ඒ අනුව මෙරට තුළ හෝ විදේශයන්හි වත්කම් මිල දී ගැනීමේ හැකියාව, භාණ්ඩාගාර බිල්පත්වල යෙදවීමේ හැකියාව, බැඳුම්කර මිල දී ගැනීමේ හැකියාව, කොළඹ කොටස් වෙළෙදපොළේ කොටස් මිල දී ගැනීමේ හැකියාව සහ බැංකුවල තැන්පත් කිරීමේ හැකියාව ආදී වශයෙන් ක්ෂේත්‍ර කිහිපයකට මෙම කළු සල්ලි යෙදවීමේ හැකියාව අදාළ පනතින් ලබා දීමට නියමිතය. මෙලෙස යෙදවීමට අවස්ථාව ලබා දෙන්නේ ‘හෙළිදරව් නොකළ බදු අය කළ හැකි සැපයුම්, ආදායම් සහ වත්කම්’ ලෙස නම් කර තිබෙන කළු සල්ලි සඳහාය.

මෙසේ විදේශවලට කළු සල්ලි ගෙන යෑමට උවමනා වී ඇත්තේ කාටද, කුමන අරමුණක් සඳහාද යන්න අපහැදිලිය. රට තුළ ඩොලර් හිගයක් පවතින අවස්ථාවක විදේශ වත්කම් මිලදී ගැනීමට කළු සල්ලි ගෙන යෑමෙන් තව තවත් ඩොලර් අර්බුදයක රට හිරවෙනු ඇති බවට මේ පිළිබඳව විවිධ පාර්ශ්ව දැනටමත් අනතුරු අඟවා තිබේ. කලු සල්ලි ජවාරම්කරුවන්ට මෙලෙස අතිවිශාල බදු සහනයක් දීමට ආණ්ඩුව සුදානම් වන්නේ රජයේ ආදායමෙන් 362% ක් දක්වා රජයේ වියදම් ඉහළ ගොස් තිබෙන පසුබිමකය.

පනත් කෙටුම්පත ප්‍රකාරව 1%ක බද්දක් ගනු ලබන්නේ රජයට අය කර ගත හැකිව තිබූ 10%ක බදු මුදල අහිමි කරගනිමින් බව කෝප් කමිටුවේ හිටපු සභාපති ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති පෙන්වා දී තිබේ. නියමිත පරිදි අදාළ බදු අය කර ගත්තේ නම් රජයට ලැබිය යුතු මුදල ඇති විශාල නමුත් දැන් ඒ වෙනුවට 1% ක කප්පම් මුදලක් රජයට ලබාදී ජාවාරම්කරුවන්ට තමන්ගේ අවශ්‍යතා නිසි ලෙස කරගෙන යෑමට ඉඩකඩ විවෘත කර දී ඇතැයි ද ඔහු චෝදනා නැගීය. මෙම පනතට එරෙහිව අධිකරණය හමුවට යන බවද ඔහු ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.

fifteen − ten =