“හමුදාවට අධ්‍යාපනය ලබා දීමට තිබෙන තැනත් ආණ්ඩුව විනාශ කරනවා”

හමුදාවට අධ්‍යාපනය ලබා දීමට තිබෙන තැනත් ආණ්ඩුව විනාශ කරන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම සංවිධානය අද (22) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික, ආචාර්ය අනුර කරුණාතිලක යන අය සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.

මෙහිදී අදහස් දැක්වූ  වෛද්‍ය නලින්ද ජයතිස්ස

“ත්‍රිවිධ හමුදාවල ඉන්න කැඩෙට් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ජාතික ජන බලවේගය කිසිම විටෙක විරුද්ධ වෙන්නේ නැහැ.”
“පහුගිය ජූලි 16වැනිදා අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඇතුළත් කරන්න යන සංශෝධන මේ වනවිට රටේ විශාල සංවාදයකට ලක්වී තිබෙනවා. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත ජූලි 08වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර ඡන්ද විමසීම පසුවට කල් දැම්මා. මේ පනතට එරෙහිව රට පුරා මතුවුණු උද්ඝෝෂණ නිසා ඡන්ද විමසීම කල් දැම්මා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ, දේශපාලන පක්‍ෂ, සිවිල් ක්‍රියාකාරිකයන් ඇතුලු විශාල පිරිසක් උද්ඝෝෂණ පැවැත්වූවා. දැනට ආරංචි විදිහට අගෝස්තු 06වැනිදා ඡන්ද විමසීම කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව සමාජ කතිකාව නිසා බෞද්ධ උපදේශක කාරක සභාව කැඳවලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා අදහස් කළේ මේ පනත ගැන වුණාට ඔහු කීවේ, ඔහුගේ මාධ්‍ය අංශය රටට කීවේත් යූ.ජී.සී. පනත සංශෝධනය කරනවා කියලා.

“ජනාධිපතිවරයා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය ඔවුන්ගේ දැනීම අනුව”

“දැන් සංවාදයකට ලක්වී තිබෙන 1978 අංක 16 දරන පනතෙන් පිහිටවූයේ යූ.ජී.සී. එක විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල කුලපතිවරුන්, උපකුලපතිවරුන් පත්කිරීම, ශිෂ්‍ය සංගම් පිහිටුවීම, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල ආදී කොටස් 21ක් මේ පනතෙන් ආවරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ ඒ අතරෙන් කොටස් දෙකක් ආවරණය වීමක් පමණයි. ජනාධිපතිවරයා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය ඔවුන්ගේ දැනීම අනුව ප්‍රකාශ කර තිබෙන්නේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගැන වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ 16වැනිදා හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කර 1978 අංක 16 දරන පනතට යම් සංශෝධනයක් එකතු කරනවා. මේ සංශෝධනය මගින් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අප එල්ල කර තිබෙන විවේචන කිසිවක් මඟහැරෙන්නේ නැහැ. එම පනත හරහා මිලිටරි යාන්ත්‍රණය උපයෝගී කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර වෙනත් යාන්ත්‍රණයක් යෝජනා කර තිබෙනවා. නව සංශෝධනයෙන් ඒ යාන්ත්‍රණය අඩපණ වෙන්නේ නැහැ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන, ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිර්ණායක හදන, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගන්න සහ එහි විෂය පථය තීරණය කරන ආදී සියලු බලය මේ මිලිටරි යාන්ත්‍රණයට ලැබෙනවා. ඒ පාලක මණ්ඩලය නව දෙනෙකුගෙන් සමන්විතයි. එයින් 07 දෙනෙකු ආරක්‍ෂක අංශවලට සම්බන්ධයි. එයින් පස් දෙනෙකු සක්‍රීය හමුදා සේවයේ නිරත වෙන අය.”

“දොන් නම් දොන්, සිමන් නම් සිමන් දෙකක් බැහැ”

“මේ විශ්වවිද්‍යාලය ඇතුළේ අනෙක් විශ්වවිද්‍යාලවල දක්නට නොලැබෙන මූලස්ථානය කියලා ව්‍යුහයක් යෝජනා කර තියෙනවා. විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ මේ මූලස්ථානය මගිනුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළත් වන පනතේ මොන වෙනස්කම් කළත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලන යාන්ත්‍රණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ජනාධිපතිවරයා වැදගත් ප්‍රශ්නයකට මේ රටට උත්තර දෙන්න ඕනෑ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න සූදානම් වන්නේ තවදුරටත් මිලිටරි විශ්වවිද්‍යාලයක් හැටියටද එහෙම නැත්නම් සිවිල් ශිෂ්‍යයින්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ. ආරක්‍ෂක අංශවල අයයි, සිවිල් ශිෂ්‍යයොයි පටලවාගෙන තවත් ජංජාලයක් වෙන්නේ. ත්‍රිවිධ හමුදාවල ඉන්න කැඩෙට් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ජාතික ජන බලවේගය කිසිම විටෙක විරුද්ධ වෙන්නේ නැහැ. ඩිප්ලෝමා, උපාධි, ප්‍රශ්චාත් උපාධි ලබාදීලා විශේෂඥභාවයක් සහිතව ඉදිරියට ගෙනයන්න කිසිවිටකත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් ජනාධිපතිවරයා ඒ මිලිටරි අභිලාෂය සහිතව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය දියුණු කරන්න ඕනෑ. දොන් නම් දොන්, සිමන් නම් සිමන් දෙකක් බැහැ. මේ දෙක පටලවා ගත්තාම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන තැනත් විනාශ කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයත් විනාශ කරනවා. උසස් අධ්‍යාපනයට සම්බන්ධ සංශෝධන කිරීමේදී හිතළු මත, උද්දච්ඡ තීන්දු මත කරන්න බැහැ. එහි ආදීනව වසර ගණනාවකින් අත්විඳින්න සිද්ධ වෙනවා. සහල් ගැසට් එකක් ගහනකොට, රසායනික පොහොර තහනම් කරනකොට අනුගමනය කළ ක්‍රමවේද උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ගන්න ජනාධිපතිවරයාට බැහැ. ඉදිරිපත් කර තිබෙන සංශෝධනය මගින් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට අප එල්ල කරන ලද විවේචනය කිසිසේත්ම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිතිවරයා කළ යුතු වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත වහාම ඉවත් කරගන්න එකයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න අවශ්‍ය නම් එය පුළුල් සංවාදයකින් පසුව කළ යුතුයි.”

 

Leave A Reply

Your email address will not be published.

20 + four =